fbpx

දික්කසාදය ලැජ්ජාවක් නෙවෙයි.

“ලොකු ළමයා එළියට පහළියට බැහැලා ඉන්නවද? වස ලැජ්ජාවක්නෙ වුණේ”

උදෙන්ම ආපු ලොකු නැන්දා ත්‍රීවිල් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන.මම ගේට්ටුව ඇරලා නැන්දව ඇතුළට ගත්තේ නොකර බැරිකමට.

“තාම අඬනවද පොඩි දුවේ..”

නැන්දා සාරි පොටින් මූණ පිහින ගමන් අහනවා.මම ඔලුව වනලා නෑ කිව්වා.අම්මා සාලෙට ආවේ ඒ වෙලාවෙමයි.නැන්දා හරි දුක්බර මුහුණක් මවාගෙන අම්මාව බදා ගත්තා.

“අනේ බලන්නකො කාංචනා නංගියෙ වෙච්ච දේ. මම දන්නවා දැන් පපුව ගිනි කන්දක් වෙලා ඇත්තේ.”

මට කේන්ති මේවා අක්කට ඇහෙයි කියලා.අක්කා මුළුතැන්ගෙයි බවත් චූටි දූ සිතූට කෑම හදන බවත් මට තේරුණා.අපේ චූටි සිතූ ඇහැරිලා කෙඳිරි ගාන්න ගත්තේ ඒ වෙලාවෙමයි.මම සිතූවත් වඩාගෙන සාලෙ මැද්දෙන් කුස්සියට යන්න ආවා.නැන්දා ඉක්මනින් ඇවිල්ලා දූව අතගාන්න ගත්තේ මුහුණ මළ ගේකට සමාන කරගෙන.

“දෙයිහාමුදුරුවනේ,තාත්තෙක් නැතුව කෙලි පැටියෙක් හැදෙනවා කියනවා මොන අපරාදයක්ද?

එහෙම කියපු නැන්දා ආයෙත් මුහුණ පුදුම තරම් ශෝකයකට හරවා ගත්තා.

“ලොක්කිට ටිකක් ගේ ඇතුළටම වෙලා ඉන්න අරින්න නංගියෙ.පාරකට බහින්නෙවත් කොහොමද ලැජ්ජාවට.ඕවා මිනිස්සුන්ට මාස හතර පහකින් අමතක වෙනවා..ඊටපස්සෙ හරි.නංගිලට තිබ්බා ලොක්කිට ඉවසන්න කියන්න..”

මට නැන්දාට ආපහු යන්න කියන්න තරම් කේන්තියි.එතකොට අක්කා සාලෙට ආවා.නැන්දා දැන් මොනවා කියාවිද? මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තේ අන්න ඒ බයට.

“ලොකු දුවේ, දැන් ඉතිං වෙච්ච දේ උනා.මං මේ අම්මලටත් කිව්වේ උඹල නම් පොඩි කෙල්ලොනෙ.අම්මට තිබ්බා ඉවසීම ගැන ටිකක් කියා දෙන්න..”

නැන්දා එහෙම කියද්දී අක්කා හිනාවෙලා නැන්දා දිහා බැලුවේ කිසිම දුකකින් නෙවෙයි.ඇත්තටම දුක් වෙන්නේ මොකටද කියලා මමත් හිතන්න පටන් ගත්තා.

“නැන්දා කියපුවා මං අහගෙන.ලැජ්ජා වෙන්න ඕන මමයැ.සංකනෙ.වෙන ගෑනියෙක් එක්ක හෝටල් කාමරේක ඉඳලා මගෙ අතටම අහු වුණේ එයානෙ..”

අක්කා එහෙම කියනකොට නැන්දා ආයෙත් ඔසරි පොට අරන් මුහුණ පිහදා ගත්තා. අම්මා විදුලි පංකාව ක්‍රියාත්මක කරේ නැන්දාගේ දාඩියට දුක හිතිලා වෙන්න ඇති.

“ඕවා ඉතිං ගෑනු ඉවසන්න ඕන කාරණා දුවේ.අවලමේ එන ගෑනි එක්ක මිසක් තමන්ගෙ මනුස්සයා එක්ක තරහ වෙන්න නරකයි.දුව පවුල කඩාගෙන ගෙදර ආවා.හොර ගෑනි දිනුවා.මෝඩ වැඩක්නෙ.කරන්න තිබ්බේ දික්කසාදෙ නොදී ඉන්න.දරුවගෙ නම්බුවත් රැකෙනවා..”

සිතූව අපේ අත්උදව්වට ඉන්න කමලා අතට දීලා පැත්තකට අරන් යන කියපු මම නැන්දා ගාවට ආවේ ඒ කතාවට උත්තර දෙන්න හිතාගෙන.

“සංක අයියාට එක එක වෙන සම්බන්දකං තියනවා කියලා දැන දැනම එතන ඉන්න එකනෙ නැන්දේ ලැජ්ජාව.අනික කිසිම හික්මීමක් නැති තාත්තෙක් ඉඳලා දුවට වැඩකුත් නෑනෙ.අක්කා ගත්තේ හරි තීරණේ. “

මම එහෙම කියද්දී නැන්දගේ මුහුණ වෙනස් වුණා.තමන් ගේ අස්සේ හැංගිලා ඉන්නේ නැති බවත් සංක අයියගේ ගෙදරින් ආව දවසේ ඉඳලා රස්සාවට ගිය බවත් අක්කා කියද්දී නැන්දගෙ මුහුණ කළු පාට වෙන්න ගත්තා.

“මං වැරැද්දක් කරලා නෑනේ නැන්දේ.ඒ නිසා මං දඬුවම් විඳින්න ඕන නෑ.මම සංකගේ දහජරා වැඩ ඉවසගෙන දුක් විඳින්න ඕන නෑනේ.අම්මා ඒක පිළිගත්ත එකට මට සතුටුයි.තාත්තා වුණත් ජීවත් වෙලා හිටියනම් මම හරි කියයි..”

නැන්දා යන්න කලින් තව කිහිපපාරක්ම අක්කා වැරදි බව කිව්වා.ඒත් අපි කවුරුත්ම ඒක ගණන් ගත්තේ නැහැ.

අක්කා සංක අයියගේ වෙනස්කම් ගැන කියන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්.දෝණිට මාස පහහයක් කාලේ.අන්තිමට අයියාගේ එක එක සම්බන්ධතා අහු වෙන්න පටන් ගත්තා.

“ඔයා දූ එක්කම ඉන්න නිසා හිස්තැන් පුරවා ගන්නවද දන්නෙත් නෑ පුතේ.ටිකක් ඉවසලා බලමු..”

අම්මා මුලින්ම එහෙම කිව්වා.ඒත් අක්කා බබාගේ වැඩ එක්ක අයියාව අමතක කරපු බිරිඳක් නෙවෙයි.මේ සම්බන්ධය අක්කා විවාහ කරගන්නත් කලින් ඉඳන් තියෙන එකක් කියලා හරියටම හොයා ගත්තු දවසේ අක්කා ගෙදර ආවේ දික්කසාදයකටත් නඩු පවරලා.අපි කවුරුත්ම අක්කාට ආයේ හිතන්න කිව්වේ නැහැ. නැන්දා සහ තව නෑදෑයෝ කිහිප දෙනෙක් ඒ තීරණය වෙනස් කරවන්න කියලා අම්මට බලපෑම් කරාට අම්මා ඇහුවෙත් නැහැ.නැන්දා අද එන්න ඇත්තෙත් දැන්වත් ඒ ගැන අපි දුකින් ද බලන්න.අපේ මෝඩ තීරණ ගැන අපිට තේරුම් කරන්න.හැබැයි අපි ඉන්නේ සතුටින්.අක්කා නරාවලකින් ගොඩ ඒම ගැන සතුටින්.

“ඔය එක එක ගෑනු ආස්සරේ කරලා මොන මොන ලෙඩ හදාගනීද කියලත් අපි දන්නවද?”

අම්මා ඒ තරමට පුළුල්ව හිතුවා.ඒ නිසා ඉවසන්න, දරා ගන්න නොකියා අක්කාට තමන්ගේ තීරණයට යන්න පාර පෙන්වන ශක්තිමත් අම්මා කෙනෙක් අපිට හිටියා.නැන්දා අද දොස් කිව්වේ එහෙම අම්මා කෙනෙකුට.ඒත් අක්කාත් මාත් අපේ අම්මාගේ හරි තීරණ ගැන සතුටු වෙනවා. අපි නිවැරදි ඒත් අමාරු තීරණ ගන්නකොට අපි එක්ක හිටගන්න අම්මා ගැන ආඩම්බර වෙනවා.

“අපේ තාත්තා නැති වෙනකොට මට දහයයි, නංගිට හයයි..අපිට අම්මා තාත්තගේ අඩුව දැනෙන්න තිබ්බද?”

අක්කා කියන්නේ පුංචි දූගේ කොණ්ඩය පීරන ගමන්.මම අම්මා දිහා බැලුවේ ආදරෙන්.තාත්තා කියන යෝධ සෙවණැල්ල මැකී යාම නිසා හිතේ දුක මොනතරම් තිබුණත් අපිට තාත්තා නැති අඩුව දැනුණේම නැහැ.අක්කා හැදුණේ අම්මාගේ ඒ ධෛර්යය දිහා බලාගෙන.

“මගේ දූගේ තාත්තා ජීවත් වෙනවනෙ.සංකට ඕන වෙලාවට බබාව බලන්න පුලුවන්.එයා කැමතිනම්..”

අක්කා ආයෙම කියද්දී අපි ඒ කතාව අනුමත කරා.දූගේ අයිතිය සම්බන්ධයෙන් උසාවිය ලබා දුන් තීරණ ඒ විදියටම පවත්වාගෙන යන්න පුලුවන්.නමුත් දූට තාත්තා කෙනෙක් ඕන කියලා හිතලා අක්කා හැම වැරැද්දම ඉවසා ගත්තානම් දුව හැදෙන්නේ රණ්ඩු සහ කදුළ පිරුණු ගෙදරක.ඒක එයාගේ වර්ධනයට මොනතරම් බාධාවක් ද?

අක්කාට තාම තිස් එකයි.ඕනෑනම් ආයේ කසාදයක් කරගන්න වුණත් බැරිකමක් නෑ.හැම පිරිමියාම සංක අයියා වගේ නෑ කියලා අක්කා හෙමින් වටහා ගනියි.හැමදෙයක්ම කාලය තීරණය කරයි.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“අක්කේ, අපිට ඔයා ගැන ලැජ්ජා නෑ හොඳේ.ඔයා ඉවසීමෙන් බලා හිටපු හැටි අපිට මතකයි.ඔයා කොන්ද කෙළින් තියාගෙන ඔයායි දුවයි වෙනුවෙන් ගත්තු තීරණයට ඊට වඩා සතුටුයි.අම්මායි මමයි ඔයා එක්ක හැමදාම ඉන්නවා..”

මම අක්කා බදාගත්තේ එහෙම කියන ගමන්.

හැම වැරැද්දක්ම ඉවසාගෙන දුක් නොවිඳ තමන්ගේ ජීවිතය අඳුරු අගාධවලින් ගලවා ගන්න හැම කාන්තාවකටම පුලුවන් වෙන්න ඕනෑ.ඒ වගේම ඒ තීරණ ගැන දුක් නොවී වද නොවී ඉන්න හයිය තියෙන්නත් ඕනෑ.

ගෑනුකම කියන්නේ අන්න ඒකට.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x