(අ)හිමි සිහින -5

හමුදා නිලධාරීන්ට ආදරය කරපු බොහෝ ආදරවන්තියන් පෙම් සටන ජය ගත්තා හෝ නොගත්තා මම ලියන මේ සටහන කියවන බවට මම දන්නවා.ඔබත් මමත් හොඳටම දන්න කාරණාවක් සමහර කාලවලදී පෙම්වතාගෙන් කිසිම ආරංචියක් නැතුව යනවා.

ඒ යුද්ධයේ හැටි! අපේ රට ඒ වගේ අඳුරු කාලයක් පසු කළා.අනිත් අය තමන්ගේ ජීවිතය ගැන බයෙන් ඉන්නකොට හමුදාවේ නිලධාරීන්ගේ පෙම්වතියන් සහ බිරින්දෑවරුන් තමන්ගේ ප්‍රාණසරි පෙම්වතා ගැන බයෙන් ජීවත් වුණා. සුධාරකගෙන් කිසිම ආරංචියක් නැති සමහර දවස්වල මම හිතා ගන්නවා ඔහු යුද්ධයෙන් මිය ගිහින් කියලා.ඒ වගේ අසීරු දවස් මම ආදරේ වෙනුවෙන් පහු කරල තියෙනවා.

ලියුම් වලින් සහ ඉඳහිට දුරකථන ඇමතුම් වලින් මොන තරම් ආදරය කළත් ඔහු දකින්න සහ වැළඳගන්න මට ඉඩක් තිබුණේ නැහැ.පළවෙනි කාරණාව මට එහෙම එළියට බහින්න බෑ.අනිත් කාරණාව යුද්දෙ ඒ තරම් බිහිසුණු කාලයක ඔහුට එහෙම ලේසියෙන් ගෙදර එන්න බෑ.ඒ උනාට ඔහුගේ එකම එක වැළඳ ගැනීමක් හරි ලබන්නේ මට තිබුණේ පුදුමාකාර ආසාවක්.තමන්ගේ ලාබාල පෙම්වතියට එකම එක හාදුවක් හරි දෙන්න ඔහුටත් ආසාව තියෙන්න ඇති.

“මැණිකේ මම ලබන සතියේ කොළඹ එනවා..”

ඇමතුමක් දුන්න මොහොතක ඔහු එහෙම කිව්වා.ඒ ඔහු යාපනය කඳවුරට යන ගමනක් අතරතුර.ඒ ආරංචි ඔහු මට දෙන්නෙ මුණගැහෙන්න එන්න පුලුවන්ද අහන්න වුණත් ඇත්තටම ඉතිං මට එළියට බැහැගන්න බෑ.ඒ උනාට ආදරය කරන පොඩි කෙල්ලන්ට හොඳ හොඳ නසරානි අදහස් පහළ වෙනවා.

“මට කොහෙවත් එන්න බැරි උනාට ඔයාට අපේ ගෙදර එන්න බැරි කමක් නෑනේ.රෑ වෙලා ගෙදර ජනේලෙ ලඟට එන්න..”

ඒ වගේ වයසකදී එහෙම කිව්වා මිසක් දැනුම් තේරුම් වයසක හිටපු කෙල්ලක් කෙල්ලක් වුණානම් මම කීයටවත් එහෙම කියන එකක් නෑ.බොළඳ ආදරේ ඒ තරම්ම බොළඳයි.ඒ වුණාට ලස්සනයි.

මගේ ගම මහරගම.මහරගම ගෙදරකට එහෙම රෑට එන්න කොහොමද කියලා සැකෙන් බලන්න එපා.ඒ කාලෙ මහරගම ජනාකීර්ණ ප්‍රදේශයක් නෙමෙයි.මේ වගේ රාත්‍රියක් සැණකෙළි ස්වරූපයක් ගන්නේ නැහැ.කොටින්ම කිව්වොත් ඒ කාලේ මහරගම පට්ට කැලේ!

“අපේ ගෙදරට එන්න ඕන අහවල් පාරේ ඇවිල්ලා අහවල් ලේන් එකේ අහවල් ගේට්ටුවෙන් ඇතුලට එන්න.ගේ වටෙන් එන්න.මේ ජනේලෙ පහු කරලා ඊළඟ ජනේලෙ ලඟට එන්න මගේ කාමරේට තමයි ඒ..”

මහරගම නගර ආශ්‍රිතව සද්ද හොයන්න බැරි මේ කාලේ වගේ නෙමෙයි ඒ කාලේ.ඉතින් මම නියම කර ගත්තු දවසේ කන දීගෙන අහගෙන ඉන්නවා.ඔරලෝසුවේ කටු කැරකෙන කොට ඒ වේගයෙන්ම මගේ හදවතත් ගැහෙනවා.ආදරය වෙනුවෙන් මග බැලීම ඒ තරමට අමාරු වගේම ආදරණීය දෙයක් කියලා මම ඉගෙන ගත්තේ එදා.වාහනයක් නැවතෙන සද්දේ ඇහුණා.මම පුදුම ආසාවකින් බලාගෙන හිටියා.

අනේ දෙයියනේ! මේ යස්සයා ගිහිල්ලා තට්ටු කරේ අපේ අම්මගේ ජනේලෙට.තාත්තා මහ හයියෙන් අම්මට කතා කරන සද්දේ මට ඇහුණා.සේරම චක බ්ලාස් වුණාම බලාපොරොත්තු තියාගෙන මොනව කරන්නද?මම හොඳට හොඳට පොරවාගෙන නිදාගත්තා.යුද්ධය වෙනුවෙන් හොඳ සැලසුම් හදන ඒවට අනුව ක්‍රියාත්මක වෙන හමුදා නිලධාරියෙක් වුණාට මගෙ ආදරවන්තයා පෙම් සටනෙදි එහෙම පිස්සු විකාර වැඩත් කළා.

ඒ වුණාට එහෙම එකපාරකින් පරදින්න බෑ නේ.අපි තවත් දවසක් ඒ සැලසුම ක්‍රියාත්මක කළා.එදා මුල් පියවර සේරම සාර්ථකයි.සුධාරක හරි ජනේලෙ ළඟට ආවා.දීඝ ගාමිණීගෙ පුරුදු ලංකාවේ හැම කොල්ලගෙ ම නැති වෙන්න විදියක් නෑ කියලා මට හිතුණේ ඒ වෙලාවේ.එක්ටැම් ගෙයක් නැති වුණත් මටත් දැනුණේ උන්මාද චිත්‍රාමය හැඟීමක්. ජනේලය ඇරලා අපි දෙන්න කතා කර කර ඉන්න පටන් ගත්තා.ඒත් එහෙම කතා කර කර ඉන්නකොට අපි දෙන්නටම එකිනෙකාට ලං වෙන්න ආස හිතුණා.

“අනේ පොඩ්ඩක් එළියට එන්නකෝ..”

සුධාරක ඉල්ලා හිටින්න පටන් ගත්තා.මටත් ඒ ඉල්ලීම අහක දාන්න හිතුණේ නෑ.මම එළියට යන මෙහෙයුම පටන් ගත්තා.අම්මගෙ කාමරේ පහු කරගෙන එලියට යන්න තිබුණත් මම ගියා.හින්දි චිත්‍රපටි නිළියක් වගේ එළියට දුවලා ගිය මම ඔහුගේ බෙල්ලේ එල්ලුණු හැටි මට මතකයි.ඇනිවසරි එකක් විදියට බලනවා නම් ඔන්න එදා තමයි මම ඔහු මුලින්ම වැළඳ ගත්ත දවස.ආදරය වෙනුවෙන් සොබාදහම ආශිර්වාද කරනවා කියනවා නේ.හීන් හිරිපොද වැස්සක් අපි මතට ඇද හැලෙමින් තිබුණා.

සොබාදහම ආශිර්වාද කලා ට දෛවය ඒ තරම් සුන්දර නැහැ.බාල්දිය පෙරළුණේ ඉන්පස්සෙ.ඒ ගැන හෙට කියන්නම්!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles