ජීවිතේ වැදගත්ම දේ සල්ලිද ?

සල්ලි ඔබේ ජීවිතේට කොයිතරම් වැදගත්ද? 

මන් ඔබෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ උත්තරේ මොනවගේ වේවිද?

සල්ලි එහෙමත් නැත්නම් මුදල් කියන්නෙ අපි කාගෙත් ජීවිත වල ඉතාම වැදගත් ස්ථානයක් හිමිකර ගන්න දෙයක්. ඇත්තටම කීවොත් ඔක්සිජන් සහ ජලය තරම්ම නැතත්  අද ලෝකයේ ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය සාධකයක් බවට සල්ලි පත්වෙලා තියෙනව කියන කාරණාව අපි කවුරුත් අවිවාදයෙන්ම පිළිගන්නවනේ. 

ඒත් සල්ලි කියන්නෙ ජීවතේ වැදගත්ම දේ කියල ඔබ හිතනව නම්, ඔන්න අද අපේ ලිපිය ඔබ වෙනුවෙන්මයි. සල්ලි ජීවිතේ වැදගත්ම දේ කරගෙන ඔබ මේ යන ගමනෙදි ඔබට මඟෑරුණු කරුණු කාරණා කීපයක් ඔබට මතක් කරල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් අපි බලමුකො මොනවද ඒ කියල?

ඔබ සල්ලි හොයන්නෙ කොහොමද?

සල්ලි හොයන්න ඔබ ඔබේම ව්‍යාපාරයක් හෝ රැකියාවක් වගේ විවිධ ක්‍රම අනුගමනය කරනව ඇති. එයින් ලැබෙන ලාභය හෝ වැටුප ඔබව සතුටට පත්කරනවනේ.

ටිකෙන් ටික අපිට සල්ලි ලැබෙන්න පටන් ගද්දි ඕනෑම දේකට වගේම සල්ලි ගැනත් අපිට ස්වභාවයෙන් ආසාවක් සහ කැමැත්තක් ඇතිවෙන්න පටන් ගන්නව.

තවත් සල්ලි ඉපැයීමේ අදහස එන්නෙ ඒ විදිහටයි. මේ සඳහා අපි අපේ ව්‍යාපාර පුළුල් කරන්න එහෙමත් නැත්නම් වැඩි වැටුපක් ලබන රැකියාවක් තෝරාගැනීම වගේ තීරණ ගන්නවා. කිසිම ගැටළුවක් නැහැ.

නමුත් මේ අතරම ඉක්මණින් සහ පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැනත් ඔබට දැනගන්න ලැබීමේ වැඩි ඉඩකඩක් තියෙනව. ඒ නිසා නීති විරෝධී සහ හානිකර ව්‍යාපාර හෝ රැකියාවල නිරත වීමෙන් වැළකීමට ඔබ මතක තබා ගන්නම ඕන. 

මොකද? ඔබට ඉක්මණින් පහසුවෙන් වැඩි මුදලක් ලැබෙනවා වගේම ඔබේ මානසික නිදහස අහිමිවී බිය තැතිගැන්ම හා පසුතැවීම ඒ හානිකර නීතිවිරෝධී ව්‍යාපාර නිසා ඔබට ලැබෙන්න තියෙන්න හැකියාව වැඩි නිසයි.

ඒ නිසා ඔබේ රැකියාවට, ඔබේ ව්‍යාපාරයේ ගණුදෙණුකරුවන්ට අවංක වෙන්නත්, සාධාරණ වෙන්නත්, නීතිවිරෝධී සහ සමාජයට හානිකර රැකියා හෝ ව්‍යාපාර වලින් ඈත්වෙන්නත් ඔබ කල්පනාකාරී විය යුතුයි. 

ඔබව නැතිකර ගන්න එපා

මුදල් ඉපැයීමම අරමුණ සහ ඉලක්කය කරගත් බොහෝදෙනෙක් ඒ අරමුණ ඔස්සේ ඉදිරියට යද්දි නොදැනීම, තමන්ගෙ මානසික නිදහස සහ ශාරිරික සුවය අහිමි කර ගැනීම වගේම තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් වෙන්කරන කාලය, ආදරය සහ රැකවරණය ටිකෙන් ටික අඩු කිරීමත් සිදු කරනවා. 

බොහෝදෙනෙක් විශ්වාස කරන්නෙ තව කෙනෙක් වෙනුවෙන් ඔවුන්ට වැයකළ හැකි වටිනාම දේ මුදල් බවයි. 

නමුත්, එය එසේ නොවන බව ඔබ මතක තබාගත යුතුම කාරණයක්. ඔබේ වයස අවුරුදු දෙකක තුනක සිඟිත්තියට ඔබ කාමරයක් පිරෙන්නෙ සෙල්ලම් බඩු ගෙනත් දුන්නත් කෙතරම් වටිනා ඇඳුම් පැළඳුම් මිලදී ගත්තත් ඒ සියල්ලටම වඩා ඔබ ඔවුන් සමඟ ගතකරන පුංචි විනාඩි පහ වටින බව ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතු කාරණයක්. 

ඒ වගේම, අපි අතර තියෙන තවත් වැරදි පුරුද්දක් තමයි, සල්ලි හොයන්න මහන්සි වෙද්දී අපි අපි ගැන සොයා බැලීම අමතක කර දැමීම. 

අපි කැමති විනෝදාංශ වල නිරත වීම, හොඳ නින්දක් සහ විවේකයක් ලැබීම, ව්‍යායාම වල නිරත වීම සඳහා ඔබේ කාර්‍යබහුල ජීවන රටාවෙන් සුළු වේලාවක් වෙන්කර ගන්න අමතක කරන්න එපා. 

ඒ වගේම ඔබ සතුව තිබූ යහපත් මානුෂීය ගුණාංග අමතක කරන්නත් එපා. 

ඒ නිසා, මුදල් ඉපැයීම වෙනුවෙන්ම මහන්සි වෙද්දී ඔබ වෙනුවෙන් වගේම, ඔබට ආදරය, කරුණාව දැක්වූ, ඔබ වෙනුවෙන් මඟබලන් ඉන්න ඔබේ යහපත ප්‍රාර්ථනා කරන ඔබේ ආදරණීයන් වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගැනීම ඉතාම වැදගත්. 

සල්ලි තිබ්බට ගන්න පුළුවන්ද?

සල්ලි තිබ්බම ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවද? ඔබට ඕනෑ ඕනෑම දෙයක්. ඔව්. ඔබ එහෙම මිලදී ගත්ත වෙන්න පුළුවන්. 

හැබැයි අපි පොඩ්ඩක් නැවතිලා කල්පනා කරල බලමුද?

ඔබ මුදල් වියදම් කරල ඔබේ සිහින නිවස මිලදී ගත්ත වෙන්න පුළුවන් නැත්නම් ගොඩනැඟුව වෙන්න පුළුවන්. නමුත් ඒ නිවස ගෙදරක් කරන්න ඔබේ මුදල් වලට නම් හැකියාවක් නෑ. ඔබේ නිවස කියන ගොඩනැගිල්ල ගෙදරක් කිරීමේ හැකියාව තියන්නෙ එහි ජීවත් වන ආදරණීය සතුට, රැකවරණය පිරුණු දුකේදී වගේම සැපේදිත් ලඟ ඉන්න පවුලකට විතරමයි. 

ප්‍රදර්ශනාගාරයක තියෙන සුවපහසුම විශාලම ඇඳ මිලදී ගන්න ඔබේ මුදල් වලට පුළුවන්. 

ඒත් මානසික සුවයෙන් යුත් සුවදායී නින්දක් ඔබට ලබාදෙන්න නම් ඔබේ සල්ලි වලට හැකියාවක් නෑ. 

ඒ වගේම ඔබට හොඳම ප්‍රමිතියකින් යුතු ඔරලෝසුවක් මිලදී ගන්න පුළුවන්. ඒත් කොතරම් මුදලක් වැයකරල වුනත් ගෙවිල ඉවර වුණ තත්පරයක කාලයවත් මිලදී ගන්න ඔබට කිසිම හැකියාවක් නෑ.

පොත් පත්, අධ්‍යාපන උපකරන කොතරම් මිලදී ගන්න ඔබට හැකියාව තිබ්බත් බුද්ධිය, තැනට සුදුසු නුවණ, දැනුම, හැකියාව සහ අත්දැකීම් මිලදී ගන්න ඔබට බෑ. 

ඔබට මුදල් වියදම් කරල සමාජයේ යම් තනතුරක් මිලදී ගන්න පුළුවන් වුනත් ඔබට මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවය, අවංකභාවය, විශ්වාසය සහ ආදරය මිලදී ගැනීමේ හැකියාවක් නෑ. 

ඔබට මුදල් වියදම් කරල කෙනෙක්ගෙන් රුධිරය, කාච, වකුගඩු මිලදී ගන්න පුළුවන් වෙන්න පුළුවන් ඒත් ජීවිතය මිලදී ගන්න ඔබට කිසිදු හැකියාවක් නැහැ. 

ඒ නිසා මුදල් වියදම් කළ පමණින් මිලදී ගත නොහැකි දේවල් මේ ලෝකයේ ඕනෑ තරම් තිබෙන බව ඔබ හොඳින්ම මතක තබාගත යුතුයි. 

ඔබට තරම් මිල මුදල් නොමැති නමුත් ඔබට වඩා සතුටින්, සැහැල්ලුවෙන් සිටින පුද්ගලයන් ඕනෑතරම් ඔබ දැක ඇති. ඒ අය ලඟ මුදල් වලට මිලදීගත නොහැකි දේවල් තිබීම ඊට හේතුව වෙන්න පුළුවන්. 

ඔබ ජීවිත කාලය පුරාවට මුදල් එකතු කරත් ඒ මුදල් වියදම් කරන්න ඔබට කාලයක් නැත්නම් ඔබ මහළු වියට එළඹිලා නම්, ඔබ රෝගී වෙලා නම්, ඔබ දුර්වල වෙලා නම් එයින් ඵලක් නොමැති බව ඔබට දැන් වැටහෙනව ඇති.

ඒ නිසා ඔබ සල්ලි හොයන්න, සල්ලි වියදම් කරන්න, කොටසක් එකතු කරන්න, අළුත් ආදායම් මාර්ග හොයාගන්න, ඔබේ ආදරණීයන් සමඟ එක්වෙලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න අමතක කරන්න එපා. 

ඉතිං තවමත් සල්ලි කියන්නෙ ජීවිතේ වැදගත්ම දේ කියල ඔබට හිතෙනවද?

කමක් නෑ.

සල්ලි කියන්නෙ ජීවිතේ එකම දේ නොවෙන බව විතරක් ඔබ තේරුන් ගැනීමයි වඩා වැදගත්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles