තමන්ව තමන් විදියට පිළිගන්න පුරුදු වෙන්නේ මෙහෙමයි ..

සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි…!!!

සසඳන්න , සැසඳෙන්න එපා.

අපි ජීවිතේ අනවශ්‍ය ආතතියක් ගොඩ නඟා ගන්න ප්‍රධානම හේතුවක් තමයි අනෙක් අය එක්ක සසඳලා අපිව පහත් කරගන්න එක. “එයා මට වඩා ලස්සනයි”, “එයාට මට වඩා සල්ලි තියෙනවා” ” එයා දක්ශයි” වගේ නේක විධ කාරණා ඉස්සර කරගෙන අපේ ළඟින්ම ඉන්න මිනිස්සු එක්ක පවා සැසඳීම් හදාගන්න අපි සමහර වෙලාවලට කටයුතු කරනවා.  ඊට පස්සේ කරන්නේ තමන්ව අත් හැරලා දාලා, අනෙක් කෙනා වගේ වෙන්න යන එක. අපි එකිනෙකා ට අනන්‍යතාවයක් එක්ක පවතින හැසිරීම්, ගති පැවතුම් ඒ විදියට වෙනස් කරගන්න යන එක ලේසි වෙන්නේ නැහැ වගේම එතනදී ඔබට ඔබව අහිමි වෙන්න ගන්නවා.අන්තිමේදී ඉතුරු වෙන්නේ හුස්ම ගන්න සිරුරක්.

පොඩි පොඩි දේවල් ගැන පවා ආඩම්බර වෙන්න.

ඔබට, මට , අපට , එකිනෙකාට අනන්‍ය වුණ යම් යම් දේවල් අපේ ජීවිත වල තියෙනවා. ඒ දේවල් හඳුනාගෙන, ඔපමට්ටම් කරලා වටිනාකමක් හදාගන්න එක ඔබේ වගකීම. ඔබට කේක් එකක් හදන්න පුළුවන් නම්, ඔබට ඔබේ මේක් අප් එක දාගන්න පුළුවන් නම් , ඔබට තනියෙන් සාරියක් ඇඳගන්න පුළුවන් නම්, කවියක් ලියන්න පුළුවන් නම් , අනෙක් අය අතරේ නායකත්වය විහිදවන්න පුළුවන් නම්,… මේ හැමදේම සතුටු වෙන්න පුළුවන් කාරණා. අනෙක් අයටත් මේවා පුළුවන් කියලා හිතලා ඔබව පහලට දාගන්නවා වෙනුවට ඔබේ හැකියාවන් විදියට ඒ දේවල් හඳුනගෙන පිළිගන්න එක තමයි වැදගත්. ඒ වගේම ඒ දේවල් ඔබේ අභ්‍යන්තර ශක්‍යතාවයන් විදියට පිළිඅරගෙන ඔබ ඔබ විදියට පෙනී ඉන්න එක වැදගත්.

තමන්ගේ හැකියාවන් විශ්වාස කරන්න. 

ඔබට නිතරම සිද්ද වෙනවා ඔබව විශ්වාස කරන්න. ඔබට තියෙන හැකියාවන් එක්ක වැඩ කරන්න. ඒක එක පාරින්ම කරන්න පහසු නොවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට වෙහෙසිලා වැඩ කරන්න වෙනවා. හැකියාවක් මුදල් උපයන මාර්ගයක් කරගන්න නම් වැරදීම් අවම කරගන්න වෙනවා. ඔබේ හැකියාවන් වෙනුවෙන් ඉඩ දීලා ඔබ ඔබ විදියට පෙනී සිටින්න ගත්තාම ඔබට අනෙක් අය එක්ක සැසඳෙන්න උවමනා වෙන්නේ නැහැ. 

ඔබටම ස්තූතිවන්ත වෙන්න, ආදරය කරන්න.

ඔබ මේ වෙනකල්  ජීවත් වීම ගැන , අත්පත් කරගත්ත දේවල් ගැන ඔබ ස්තූතිවන්ත වෙන්න ඕනි ඔබටමයි. ලෝකයට හෝ තව කෙනෙක්ට ආදරය කරන්නට කලින් ඔබ ආදරය කල යුත්තේත් ඔබටමයි. ඔබේ දියුණුව වෙනුවෙන් , මානසික සතුට වෙනුවෙන් ඔබ හැකි හැම වෙලාවෙම වෙලාව වෙන් කරගන්න එක තුළ ඔබව ඔබ ලෙසින් පිලිගන්න ඉඩ හැදෙනවා. 

බිඳෙන, බිඳුණ තැන් වලින් ඉගෙනගන්න.

අපිට සමහර වෙලාවට ජීවිතේ තිත්ත වෙලා යන තරමේ නරක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම වෙලාවට අපි කවුද කියලා අපිට අමතක වෙනවා. අපි සතු ශක්තීන් අමතක වෙලා යනවා. ඒත් හැම වෙලාවේම උත්සාහ කරන්න, බිඳෙන තැන් වලින් ඉගෙනගන්න.   එහෙම බිඳීම් අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න. මිනිස්සු ජීවිතේ යම් යම් අවස්ථාවල අනිවාර්යයෙන් බිඳීම් වලට නතුවෙන බව විශ්වාස කරන්න. 

ඔයාට දැනෙන ඍණාත්මක සිතුවිලි ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න උත්සාහ කරන්න.

තමන්ව තමන් විදියට පිළිගන්න ඔබ අපොහොසත් නම්, ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඔබේ මනසේ තියෙන  ඍණාත්මක සිතුවිලි. ඍණාත්මක සිතුවිලි වලින් කරන්නෙ ඔබව පහලට ඇදලා දාන එක. ඔබේ සැබෑ ස්වභාවය ගැන ඔබට සෑහීමට අත් වෙන්න නොදෙන එක. ඒ නිස ඍණාත්මක සිතුවිලි අවම කරගන්න යම් උපදේශන සේවයකට යොමු වෙන්න පුළුවන් නම්, ඔබට  අනිවාර්යයෙන් යහපතක් වෙනවා. 

ඔයාට වෙනස් කරන්න බැරි දේවල් පිළිගන්න, අත් හරින්න.

සමහර වෙලාවට අපි අදාල නැති වෙනස්කිරීම් වෙනුවෙන් උත්සාහ කරලා, අපි ගැන අවතක්සේරුවක් හදාගන්නවා. උදාහරණයක් විදියට,  අපේ හිත පවා අපිට  අවනත නැති  බව දැන දැනම අපි උත්සාහ කරනවා අපිව හැර යන ඇතැම් මිනිස්සු ජීවිතේ තියාගන්න. ඔවුන්ගේ ආදරය , අවධානය වෙනුවෙන් උත්සාහ කරලා ඔවුන් නවතාගන්න අපි වෙර දරනවා. ඒ උත්සාහයක් ව්‍යර්ථ වෙලා  ගියහම අපි කරන්නේ අපිව පහලට දා ගන්න එක. “මම ලස්සන නැති නිසා, මම දක්ශ නැති නිසා එය මාව දාල ගියා” වගේ හිතලු හදාගෙන ඔබේ ස්වභාවය අවතක්සේරුවට ලක් කරගන්නවා. 

ඔයාගේ යහපත වෙනුවෙන් වෙනස් වෙන්න අවශ්‍ය තැන් වල වෙනස් වෙන්න.

ඔබට අවශ්‍ය වෙන හැම තැනකම යහපත් වෙනසක් වෙනුවෙන් වෙනස් වෙන්න පැකිලෙන්න එපා. ඔබේ ජීවිතය දවසින් දවස දියුණු වෙන පාරකට යන්න නම් අනිවාර්යයෙන් වෙනස් වීම් වෙන්න ඕනි. එහෙම වෙනස් වෙනකොට ඔබට දැනෙන ආත්ම විශ්වාසය ඔබ පිළිගන්න ඕනි.

ඉතින්, මේ විදියට ඔබ ඔබ විදියට පිළිඅරගන්න උත්සාහ කරන්න.  මාස කිහිපයක් , අවුරුද්දක් යනකොට ඔබටම වෙනස දැනේවි.

| අපේක්ෂා ගුණරත්න | 

Related Articles

Don't Miss


Latest Articles