ගෙදරදීම නත්තල් පාටියක් දාමුද ?

අපේ ජීවිත සාර්ථක කරගන්න බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩකරපු අවුරුද්දක නිමාවට තියන්නෙ තව දවස් කීපයයිනෙ.

ලඟ ලඟම නත්තලත් එන නිසා පවුලෙ අයට යාළුවන්ට පොඩි සංග්‍රහයක් කරමුද? 

ඔබේ මානසික සහනය නැති කරගන්නෙ නැතුව හරිම ලේසියෙන් නත්තල් සාදයක් ලෑස්ති කරන්න ඔබට කියල දෙන්න අපි සූදානම්.

බලන්නකෝ කොච්චර ලේසිද කියල? 

කලින් හිතන්න

නත්තල් සාදය සංවිධානය කරන්න කලින් ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ දේවල් හිතන්න සහ සටහන් කර ගන්නම ඕනෙ.

නත්තල් සාදය ඔබ සූදානම් කරන්නෙ කොහෙද? 

ඒ ඔබේ නිවසේ එහෙමත් නැත්නම් අවන්හලක්, එළිමහන් ස්ථානයක් වගේ තැනක වෙන්නත් පුළුවන්. 

ඔබ ආරාධනා කරන්නෙ කාටද?

පවුලේ අයට, ඔබේ යහළුවන්ට, අසල්වැසියන්ට එහෙමත් නැත්නම් කාර්‍යාලයේ මිතුරන්ට ආරාධනා කරන්න ඔබ බලාපොරොත්තු වෙනව ඇති. ඔවුන්ගෙ නම් දළ වශයෙන් සටහන් කරගන්න.

සාදය පවත්වන දිනය සහ වෙලාව

ඔබේ අමුත්තන් ලැයිස්තුවට ගැළපෙන දිනයක් සහ වේලාවක් යොදාගන්න පුළුවන්. 

ඔබ කෑම හදනවද? නැත්නම් මිලදී ගන්නවද?

ඔබට කෑම හදන්න හෝ කේටරින් සේවාවක් මඟින් පිසගත් කෑම මිලදී ගන්න පුළුවන්. මේ ඔබට තිබෙන කාලය, ඔබට වියදම් කළ හැකි මුදල සහ ඔබේ කැමැත්ත අනුව ගන්න තීරණයක්.

සාමාන්‍යයෙන් ඔබ ආරාධනා කරන අමුත්තන් ගණනට වඩා ටිකක් වැඩිපුර ආහාර සහ පානයන් සූදානම් කරල තබා ගැනීම වටිනව. 

එන අමුත්තන්ට තෑගි දෙනවද? 

ඔබ අමුත්තන්ට තෑගි දෙනව නම් secret santa හෝ white elephant ක්‍රමයට තෑගි දෙන්න සූදානම් කරන්න පුළුවන්. 

Secret santa ක්‍රමයේදී ඔබ අමුත්‍තන් ලැයිස්තුව හුවමාරු කරගෙන එක් එක් අයෙකුට ගැළපෙන තෑගි සහ ඒ සඳහා වියදම් වන මුදල් වල සීමාවක් කරන්න පුළුවන්. 

White elephant ක්‍රමයේදී සාමාන්‍යයෙන් සෑම අමුත්තෙක්ම කුමක් හෝ තෑග්ගක් ගෙනවිත් පොදුවේ නත්තල් ගස හෝ වෙනත් ස්ථානයක තබා ඒව බෙදාගැනීම කරනවා. 

ඔබට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය 

ඔබේ අමුත්තන් ගණනට අනුව ආහාර සහ ඔබ ඇල්කොහොල් අඩංගු පාන වර්ග දෙනව නම් ඒවාට වියදම් වන මුදල, සැරසිලි සඳහා වියදම් වන මුදල වගේ ඔබට වැයවෙන මුදල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අනිවාර්යයි. 

ඒ මුදල සහ අවශ්‍ය වුවොත් ප්‍රයෝජනයට ගන්න සුළු මුදලක් වැඩිපුර ඔබට යොදවන්න පුළුවන් ද කියල ඔබ සලකල බලන්න ඕන.

එහෙම නැත්නම් ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන විදිහට සාදයක් සංවිධානය කරන්නත් පුළුවන්. 

කලින් ආරාධනා කරන්න

අවුරුද්දක් අවසානයේ වුනත් විවිධ වැඩ කටයුතු ගමන් බිමන් නිසා ඔබේ අමුත්තො කාර්‍යබහුල වෙන්න පුළුවන්. 

ඒ නිසා හැකි තරම් කලින් ඔවුන්ට ආරාධනා කරන්නත් ඔවුන්ගේ පැමිණීම හෝ නොපැමිණීම දන්වන්න ඔවුන්ට කාලයක් දෙන්නත් අමතක කරන්න එපා.

තේමාවක් තෝරගන්න

නත්තල කියන්නෙ හරිම විචිත්‍රවත් කාලයක්නෙ. ඒ නිසා ඔබ කැමති නම් වර්ණ හෝ විවිධ චරිත යොදාගෙන ඔබෙ සාදයට තේමාවක් තෝරගන්න. 

කලින් සූදානම් වෙන්න

ආහාර සහ සැරසිලි සහ වෙනත් අවශ්‍ය දේවල් ලැයිස්‍තුවක් පිළියෙල කරගෙන අවශ්‍ය තැන් වලින් ඒව මිලදී ගෙන හැකි තරම් කලින්ම ලෑස්ති වෙන්න ඔබට පුළුවන්. 

අඩුම දවස් දෙකකට කලින්වත් ගෙදර සැරසිලි කරල අවසන් කරන්න පුළුවන් නම් වඩා හොඳයි.

නාන කාමරය අමතක කරන්න එපා

නාන කාමරය හොඳින් පිරිසිදු කිරීමත් අවශ්‍ය සබන්, තුවා ඇතුළු අනෙක් සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙනල්ල තැබීමත් ඉතාම වැදගත්.

කසල බඳුන් පේන්න තියන්න

කුස්සියෙ විතරක් නෙමෙයි වෙනත් ස්ථාන දෙක තුනක කසළ භාජන පේන විදිහට තැබීම ඔබේ අමුත්තන්ට උදව්වක්.

අත සෝදන්න, අත වියළා ගන්න, ඉතිරි කෑම විසිකරන්න සහ පිඟන් තියන්න පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක් තෝරා ගැනීම පහසුයි. 

ආහාර පිළිඟන්වන උපකරණ සූදානම් කරල තියන්න

අමුත්තන් ගණන අනුව අවශ්‍ය වෙන පිඟන්, කෝප්ප, වීදුරු, හැඳි, ගෑරුප්පු හොයල හොඳින් සෝදල වතුර ඉවත් වෙන්න වෙනම ස්ථානයක තියන්න. 

සාදය පවත්වන දවසෙ අමුත්තන් එන්න කලින් මේසය සූදානම් කරන්න ඔබට පුළුවන්. කෑම ගන්න අවස්ථාවෙදී උණුසුම් ආහාර මේසය මතින් ගෙනවිත් තබන්න පුළුවන්. 

කලින් දවසෙත් උයන්න පුළුවන්

කලින් දවසෙ උයල ශීතකරණයේ තියල පසුදාට උණුසුම් කරල පිළිඟන්වන්න පුළුවන් මස්, මාළු බැඳුම්, පුඩිං, වටලප්පම් වගේ අතුරුපස වර්ග උයල තියාගන්නත්, උයන්න වැඩි වෙලාවක් ගතවෙන සාදය පැවැත්වෙන දවසෙ මුලින්ම උයන්නත් පටන් ගන්න.

ඔබව අමතක වෙන්න දෙන්න එපා

සාදය සඳහා ඔබ සහ ඔබේ පවුලෙ අය අඳින ඇඳුම් සූදානම් කරල තියාගන්න. 

උයන පිහින වැඩ කටයුතු ඉවර කරල කුස්සිය පිරිසිදු කරල ඔබත් හොඳින් පිරිසිදු වෙලා සරල මේකප් එකක් දාගෙන අමුත්තන් පිළිඟන්න අමතක කරන්න එපා.

හැමෝටම වෙලාවක්

නිවසට ආව හැම අමුත්තෙක් ලඟටම ගිහින් පොඩි වෙලාවක් හරි ඔවුන් එක්ක සුහඳව කතාබහ කරන්න. 

එකිනෙකා නොදන්න අමුත්තන් ඉන්නව නම් ඔවුන්ව එකිනෙකාට අඳුන්වල දෙන්නත් අමතක කරන්න එපා. 

ඔබේ සාදයට එන කිසිම අමුත්තෙක්ට වෙනස්ව සළකන්න එපා. 

කල්පනාවෙන් ඉන්න

සාදයට ඇල්කොහොල් පානයන් එකතු කරගෙන තියෙනව නම් ඔබ පොඩි ප්‍රමාණයකින් ඒවා පානය කිරීම හෝ පානය නොකරම සිටීම වඩා හොඳයි.

ඇතිවෙන විවිධ ගැටළු සහ අපහසුතා මඟහැර ගන්න එය වඩා ප්‍රයෝජනවත් වෙනව. 

පිළිවෙලට පිළිඟන්වන්න

අමුත්තන්ට පිළිඟැනීමේ පානයක් ලබාදෙනව නම් එය මුලින්මත් ඔබ ඇල්කොහොල් පිළිඟන්ව නම් ඒව දෙවනුත් ඒ සමඟම finger bites වර්ගත්, සාදයේ මැදදී ප්‍රධාන ආහාර වේලත් පිළිඟන්වන්න ඔබට පුළුවන්. 

සෞම්‍ය සංගීතය

අසල්වැසියන්ට සහ සාදය සිටින අයගේ කතාබහට බාධාවක් නොවෙන විදිහට ශබ්දය අඩුවෙන් ලස්සන ගීත හෝ සංගීතය යොදාගන්න පුළුවන්.

දරුවො ගැන බලන්න

සාදයට දරුවො එනව නම් ඔවුන්ට සෙල්ලම් කරන්න වෙනම ස්ථානයක්, දරුවන්ට නිදාගන්න කාමරයක්, ඇඳක් කලින්ම සූදානම් කරල තියන එක වඩා යහපත්. 

දරුවොන්ගේ ආරක්ෂාව ගැන නිරතුරුවම අවදානයෙන් ඉන්න අමතක කරන්න එපා.

සතුටින් සමුදෙන්න

අමුත්තො ආවම පිළිඟන්න හොඳ හිතින්ම ඔවුන්ට සමුදෙන්නත් පැමිණීම වෙනුවෙන් ස්තූති කරන්නත් ඔබෙන් අඩුපාඩු සිදුවූයේ නම් ඒ සඳහා සමාව ඉල්ලන්නත් අමතක කරන්න එපා. 

පිරිසුදු කරන්න

ඔබට වෙහෙසක් නැත්නම් අඩුම තරමේ ආහාර වගේ නරක් වෙන්න පුළුවන් කසළ තිබෙනවා නම් ඒවා හෝ සාදය අවසානයේදී නිසි පරිදි බැහැර කර භාජන සෝදා තබන්න ඔබට පුළුවන්.

සාදයක් අවසානයේ දිනක් හෝ දෙකක් ඇතුළත නිවස ඉතාම හොඳින් පිරිසිදු කිරීම් කරල පාවිච්චි කරපු භාජන ඒ ඒ තැන්වල තබන්න අවසන් කරන්න එපා.

මේ කාරණත් මතක තියාගෙන එහෙනම් ඔබට එපා නොවෙන නත්තල් සාදයකට ලෑස්ති වෙමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles