හදවතින්ම ලස්සන වෙන්නෙ කොහොමද?

ශ්‍රේෂ්ඨ ආත්මයන් මධ්‍යස්ථ මනසකින් ප්‍රචණ්ඩව පැමිණෙන විරෝධයන් සඳහා මුහුණ දී ඇත” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ විදිහට ජීවිතයට පැමිණෙන විවිධ බාධක කම්කටුළු වලට මුහුණදෙන්න ඔබේ ශරීරය වගේම ඔබේ මනස ගොඩනගා ගැනිමේ හැකියාවත් ඔබට තිබෙනවා. 

හැකිතරම් සතුටින් ඉන්න, සාමකාමීව සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හදවතින්ම ලස්සන වෙන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපේ අද මේ සූදානම.

ඉතිං, බලමුද ඒ කොහොමද කියල?

සෑමවිටම කෘතඥවෙන්න

ඔබේ ජීවිතයේ ඔබට බොහෝ දේ හිමිව තිබෙනව. ඔබ ඔබේ කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් බොහෝ දේ ලබාගෙන තිබෙනව. ඔබ සතු දේවල් ලෝකයට මොනතරම් කුඩා සහ නොවටිනා දේවල් වුණත් කිසිවිටකත් ඒ ජයග්‍රහණ ලබාගැනීමට ඔබ කළ කැපවීම, නිදි වර්ජිතව ගත කළ රාත්‍රීන් සහ මඟහැරගත් විනෝදබර අවස්ථා අමතක කරන්න එපා. ඔබට සතුටක් ගෙනදුන් ජයග්‍රහණ වලටත්, ඔබට පාඩමක් ඉගැන්වූ පරාජයන් වලටත් ඒ ජයග්‍රහණ සහ පරාජයන් වලදී ඔබත් සමඟ සිටි, ඔබව විශ්වාස කළ සහ ඔබ වෙනුවෙන් කැපවීම් කළ සියල්ලන්ටත් සෑමවිටම ස්තූතිවන්ත වෙන්න. 

ලස්සන දැනෙන්න, ලස්සනට ඉන්න

ඔබේ පෙනුම ගැන පොඩි හරි අවධානයක් යොමු කරන්නම ඔබට සිද්ධ වෙනව. ඔබට ගැළපෙන අලුත් වර්ණවල සහ විවිධ විලාසිතා ඇඳුම් පැළඳුම් අත්හදා බලන්න, කොණ්ඩ මෝස්තරයේ පුංචි වෙනසක් කරන්න, ගෙදරදිම හොයාගන්න පුළුවන් දේවල් වලින් මූණට සත්කාරයක් කරන්න, නිය ආලේපන ගල්වන්න, සරල රූපලාවන්‍ය නිෂ්පාදන අත්හදා බලන්න ඔබට පුළුවන්. 

මේ දේවල් කරන ගමන් ඔබේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන හිතල පිරිසිදුව ඉන්නත් අමතක කරන්න එපා. 

ඉතිං, සාප්පු සවාරියක් යමුද?

ඔබ ගැන විශ්වාස කරන්න

ඔබේ අදහසක් යම් කෙනෙක්ට හෝ පිරිසකට ඉදිරිපත් කරන්න කලින් ඒ අදහස ගැන ඔබට හැකිතරම් දැනුමෙන් ඔබ සන්නද්ධ විය යුතුයි. 

ඒ වගේම ඔබේ අදහස්, හැකියාවන් සහ දක්ෂතා ගැන විශ්වාස කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඔබ නිශ්ශබ්දව ඔබ වෙනුවෙන් පෙනී නොසිටින තාක් කල් මිනිසුන් ඔබව රිදවන්න කරන උත්සහයන් වැඩිබව ඔබ සිහියේ තබාගන්න අවශ්‍යයි. ඒ වගේම එසේ නොසිටින ඔබෙන් ප්‍රයෝජන ගන්න, ඔබට චෝදනා කරන්න සහ වැරදිකරුවා කරන්න ගන්න උත්සහයන්ද වැඩියි. 

ඒ නිසා නිශ්ශබ්දතාවය සෑමවිටම හොඳ දෙයක් නොවෙයි. අවශ්‍ය වෙලාවේදී ඔබ වෙනුවෙන් ඔබ පෙනී සිටිය යුතුයි. ඔබ ඔබට ලබාදෙන ආත්ම ගෞරවය එයයි. 

සිනහ වෙන්න 

සුන්දර සිනහවක් කියන්නෙ හරිම ආකර්ෂණීය දෙයක්. ඇත්තටම හිනාවෙන්න කලින් බොරුවට හිනාවෙන්න කියල කට වහරේ එන කතාවක් තියෙන්නෙ ඒකයි. ඔබට යම් අපහසුවක්, විශ්වාසය අඩුබවක් හෝ පීඩාකාරී බවක් දැනෙනව නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔබටම හිනාවෙන්න. ඒ සිනහව ඔබේ මනස ප්‍රබෝධමත් කරන අතරෙම ඇත්තටම සිනහවෙන්න ඔබේ හිතට අවශ්‍ය ශක්තියත් ලබාදෙනව. 

පිරිසක් ඉදිරියේ ඔබ ගැන ධනාත්මක හැඟීමක් සහ විශ්වාසයක් ඇතිකරන්න සිනහවට පුළුවන් නිසා සිනාවෙන්න පුරුදුවෙන්න. 

නීරෝගි වෙන්න

පෝෂ්‍යදායී ආහාර ගන්න, ව්‍යායාම වල නිරත වෙන්න, පුද්ගලික සනීපාරක්ෂාවට මුල්තැන දෙන්න වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නත් අමතක කරන්න එපා.

මොකද නීරෝගි ශරීරය ඔබ කොතරම් සතුටින් ඉන්නවද කියල ඔබටම කියල දෙන හොඳ කැඩපතක්. 

ඔබ කැමති දේ කරන්න

ඔබ වටා සිටින පිරිස සතුටු කරන අරමුණෙන් ඔවුන් කැමති දේ පමණක් නොකර ඔබව සතුටු කළ හැකි මාර්ග ඔබ විසින්ම තෝරගත යුතුවෙනව.

වරක්, බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට දේශනා කලේ “ඔබටත් අනුන්ටත් හානියක් සිදු නොවන ක්‍රියා පමණක් කරන්න.”

කිසිවෙකුට මානසිකව හෝ ශාරීරිකව හිංසාවක් සහ පීඩාවක් ගෙන දෙන ක්‍රියා සහ කතා වලින් වැළකී ඔබට සතුටක් ගෙනදෙන පොඩි හරි දෙයක් ඔබ වෙනුවෙන් කරන්න අමතක කරන්න එපා. හරියට කෑමක් හදන්න, අලුත් ඇඳුමක් හෝ පොතක් ගන්න, සතෙකුට කෑම ටිකක් දෙන්න වගේ.

ඔබට ආදරේ කරන්න

ධනාත්මක මිනිසුන් ඇසුරු කරන්න, කියවන්න, විමසා බලන්න, ඔබෙන්ම ප්‍රශ්න කරන්න එතුළින් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඔබට පුළුවන්.

ලස්සනට ඉන්න. ඔබව ප්‍රතික්ෂේප කරන, පහළට ඇඳ දමන සහ ඔබව නොවටිනා තැන් වලින් ඉවත්වෙන්න. මොකද, ඔබට හිමිවිය යුතු ගෞරවය මුලින්ම ලබාදිය යුතු තැනැත්තා ඔබයි. 

එහෙනම්, මේ ලිපිය හදවතින්ම සුන්දර ඔබව නිර්මාණය කරන්න උදව්වක් වේ යැයි අපි විශ්වාස කරනවා. 

සතුටින් ඉන්න ! 

ඒ ඔබට ඇති විශාලම ධනයයි.

Related Articles

Don't Miss


Latest Articles