කලු හම නිසා පීඩා විඳි තරුණියක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ඔයාගෙ ඔය කලුපාට හමට ඔය ඇඳුම මැච් වෙන්නෙ නෑ අනේ. මොකද්ද ඇඳුමක් ගනිද්දි උනත් ගන්නවකො තමන්ගෙ පාටට ගැලපෙන එකක්”

රිශී එහෙම කිව්වෙ තමන්ගෙ අක්ක නිශීට. රිශී එහෙම සුදු කෙල්ලෙක් නම් නෙවෙයි. ඒ උනාට තමන්ගෙ අක්ක පවුලෙ හැමෝටම වඩා කලුයි කියල කට්ටිය කියන නිසා ඊට වඩා පාටෙන් අඩු තමන්ගෙ හම ගැන රිශී ආඩම්බරෙන් ඉඳියෙ. ඒ විතරක් නෙවෙයි පුලුවන් හැම වෙලාවකම ඔය හමේ පාට ගැන කියල නිශීව රිද්දන්නත් රිශී උත්සහ කරා.

ගෙදර මිනිස්සුන්ගෙන්, ඔෆිස් එකේ අයගෙන් වගේම තමන් දන්න කියන ගොඩක් අයගෙන් මේ හමේ කලු පාට කැතයි කියන කතාව අහල අහලම නිශී හිටියෙ සෑහෙන හිතෙන් වැටිල.

“එහෙම අවුලක් නෑ, මොකෝ කලු පාට මිනිස්සු නැතුවද?” කියල හිතේ තියෙන වේදනාව අඩු කරගෙන නිශී එහෙම කිව්වට ඒකට දෙන්නත් උත්තරයක් රිශීට තිබුනා.

“ඔය කලු හම ලස්සනයි අරක මේක කිව්වට කොල්ලෙක් උනත් දෙපාරක් හැරිල බලන්නෙ, ටෝක් කරන්නෙ සුදු කෙල්ලෙක්ට විතරයි හලෝ”

“අනේ මේ මට ඕන නෑ ඔය කොහෙවත් ඉන්න කොල්ලන්ට ටෝක් වෙන්න”

“ඔව් ඉතින් කඩාගන්න බැරි උනාම නරියත් මිදි තිත්තයි කිව්වනෙ” කියාගෙන රිශී එතනින් ගියේ ඔච්චමට හිනාවෙවී.

තමන්ගෙ හමේ පාට තමන්ට ප්‍රශ්නයක් නොවුනට ඒක වටපිටාවෙ ඉන්න හැමෝටම ප්‍රශ්නයක් බව නිශී තේරුම් අරගෙන උන්නා.

මේ ගැන හිතල හිතලම නිශී උන්නෙ මානසිකව සෑහෙන වැටිල. වැඩක් පලක් කරගන්න ගියත්, කෙනෙක් එක්ක කතාකරන්න ගියත් තමන්ගෙ හමේ පාට මේ මනුස්සය දකිනව ඇත්තෙ කොහොමද කියන ප්‍රශ්නෙ නිශීගෙ ඔලුව ඇතුලෙ කැරකි කැරකි තිබුනා.

තමන් මානසිකව තව තවත් වැටෙන්න මේ ප්‍රශ්නය හේතුවක් වෙන්න පුලුවන් බව හිතුණ නිසාමයි නිශී උපදේශන සහය ලබාගන්න මගෙ ලඟට ආවෙ.

“මම දන්නෙ නෑ මගෙ හමේ පාට මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්නයක් උනේ කොහොමද කියල? ඒක අඩුගානෙ මටවත් ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් නෙවෙයි. මම කොච්චර ලස්සනට ඇන්දත්, හොඳට හිනාවෙලා කතා කරත්, මොන තරම් දක්ශ උනත් මිනිස්සුන්ට කවදාවත් ඒව පෙනුනෙ නෑ. එයාලට පෙනුනෙ මගේ හමේ පාට විතරමයි”

නිශී මගෙ ලඟට ඇවිත් කතාව ආරම්භ කලේ ඒ විදියට. ඇත්ත ඇයට තියෙන්නෙ අඳුරු සමක්. ඒ උනාට නිශී හරිම ලස්සන ගෑණු ලමයෙක්. හරිම වැදගත් පෙනුමක් තියෙන, ප්‍රසන්න, අහිංසක චරිතයක්.

හමේ පාටෙන් අපිට කෙනෙක්ව කවදාවත් මනින්න බැරි උනාට අපේ රට වගේ රටවල විශේශයෙන්ම සුදු පැහැ සමට ලොකු ඉඩක් හම්බෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඕනම තැනකදි සුදු හමක් තියෙන ගෑණු ලමයෙක් දිහා බලන්න අපේ මිනිස්සු නැඹුරු වෙලා තියෙනව.

නිශී එක්ක කතා කරද්දි මම තේරුම් ගත්ත දෙයක් තමයි නිශීව මේ විදියට මානසිකව වට්ටන්න ලොකුම බලපෑම කරල තියෙන්නෙ ඇයගෙ පවුලෙ අයම බව.

“අපේ අම්ම පුංචි කාලෙ ඉඳල මාවයි නංගිවයි කම්පෙයාර් කරනව අපේ හමේ පාටෙන්. මම කොච්චර හොඳට ඉගෙන ගත්තත්, කැම්පස් ගියත්, රස්සාවක් කරත් ඒ කිසිම දෙයක් අපේ අම්මට අගය කරන්න හේතුවක් උනේ නෑ. එයා දැක්කෙ මගේ හමේ පාට ඒ හැමදේටම වඩා ලොකු ප්‍රශ්නයක් විදියට.

අපේ නංගිසුදු නෑ. ඒත් එයා මට වඩා තලෙලුයි. ඒ නිසාම එයා හැම තැනකදිම වගේ මාව පල්ලෙහට ඇදල දාලා කතාකරනව. මට ඒවට විරුද්ධ වෙන්න හිතුනත් එයාලා කියන දේවල් ඇත්ත කියල හිතල මම කට වහගෙන ඉන්නව. ඒ උනාට මට දැන් ඒව අහල අහලම එපා වෙලා තියෙන්නෙ”

නිශී ඉතාම දක්ශ තරුණ නීතීඥවරියක්. ඇය ලස්සනට නඩු හසුරවන විදිය ගැන, ඇයගේ රැකියාව හොඳට කරනව. ඒත් ඒ හැමදෙයකින්ම ලබන්න පුලුවන් සතුට සමාජයෙන් ඇයගේ හමේ පැහැයට එල්ල වෙන චෝදනා එක්ක යටපත් වෙනවා.

ඒ නිසාම නිශී නොදැනුවත්වම උනත් උන්නෙ සැහෙන පසුගාමී වෙලා. උපදේශන වාර කිහිපයකට පස්සෙ තමන් අනුන් තමන්ගෙ හම ගැන කියන දේවල් මත යැපෙන්න හෝ හිතන්න ඕන නෑ කියල තේරුම්ගත්ත නිශී වෙනදටත් වඩා හොඳට ජීවත්වෙන්න පටන් ගත්ත. ඒක ලොකු සතුටක්.

ඒත් මෙතනදි අපි මතක් කරන්නම ඕන කාරණාවක් තියෙනව.

ඒ තමයි එකම දේ නිතර නිතර කියද්දි, ඇහෙද්දි ඒ අදාල පුද්ගලය ඒක විශ්වාස කරන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ ඔස්සේ එයාගෙ මානසික තත්ත්වයට වන බලපෑම වැඩියි. නිශීට වෙලා තිබුනෙත් ඒක. ඇය Depression තත්ත්වයකට පත්වෙලා නොතිබුනානට Frustrate වෙලා තිබුනා.

අමතක කරන්න බෑ, කෙනෙක්ව මානසික ඇද දාන කෙනෙක් බාහිරින් කොපමණ ලස්සන කෙනෙක් උනත් එයාගෙ ඇතුලාන්තය ලස්සනයි කියල අපිට කියන්න බෑ.

කෙනෙක් ලස්සන වෙන්නෙ බාහිරින් විතරක්ම නෙවෙයි. සැබෑ ලස්සන කියන්නෙ ඇතුලාන්තයෙන් වගේම බාහිරවත් සුන්දර පුද්ගලයෙක් වීමයි!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles