ලොව පවතින සුපිරි නිවාස


“මගේ නිවන මගේ පැල්පතයි” කියල සෝමතිලක ජයමහ මහත්මයා ගායනා කරන රසවත් ගීතයක් ඔබ අහල ඇති.

සුන්දර නිවසක් කියන්නෙ අපි බොහෝදෙනෙක් දකින සිහිනයක්. අපි එකිනෙකාට අපේම නිවසක් ගොඩනඟා ගන්න හිතද්දී අපිටම අන්න්‍ය වුන සිහින තියෙනව. නිදන කාමර, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය වගේම ගෙවත්ත හැඩ කරන විදිහ ගැනත් අපි සිහින දකිනව. 

අපි ළඟ තියන මුදලට උපරිම වටිනාකමක් දීලා අපේ නිවස අපි ගොඩනඟද්දී ලොව ධනවතුන් කියල පිළිඟන්න අයත් ඔවුන්ගේ වටිනාකම අනුව ඔවුන්ගෙ සිහින නිවහන ඉදිකරගෙන තියෙනව.

ඉතිං අද අපි ඔබට ගේන්නෙ ලෝකයේ පවතින වටිනාකමින් වැඩිම සුපිරිම නිවාස 05 ක්  ගැන බොහොම රසවත් ලිපියක්. බලන්නකෝ මේ නිවාස ගැන ඔබත් දැනන් හිටියද කියල. 

බකින්හැම් මාළිඟය / Buckingham Palace

ස්ථානය – මහා බ්‍රිතාන්‍ය

හිමිකරු – මහා බ්‍රිතාන්‍ය කිරුළ හිමි තුන්වන චාල්ස් රජු (King charles 3)

වටිනාකම – ඩොලර් බිලියන 4.9

මහා බ්‍රිතාන්‍ය රජ පවුලේ නිවහන ලෙස සැලකෙන එක්සත් රාජධානියේ බකින්හැම් මාළිඟාව ලෝකයේ පවතින වටිනාකමින් වැඩිම වගේම විශාලතම නිවහන ලෙස තමයි හඳුන්වන්නේ.

කාමර 775 ක්, කාර්යාල කාමර 19 ක්, කාර්යාල 92 ක්, නාන කාමර 78 ක් සේවකයන් අති විශාල ප්‍රමාණයක් සමඟම ඉතාම අලංකාර ගෙවතු කීපයක්ද බකින්හැම් මාළිඟාවට අයිති වෙනව. 

මීට අමතරව ලෝකයෙන් වසන් කරන රහස් කාමර කීපයක්ද වර්ග මීටර 77 000 ක් පුරා විහිදී ඇති බකින්හැම් මාළිඟාවෙ තියෙන බවත් වාර්තා වෙනව. 

ඇන්ටීලියා / Antilia

ස්ථානය – මුම්බායි, ඉන්දියාව

හිමිකරු – මුකේෂ් අම්බානී (Mukesh Ambani) 

වටිනාකම – ඩොලර් බිලියන 2

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානීගේ නිවහන වෙන මෙය ලොව වටිනාකමින් වැඩිම පුද්ගලික නිවහන ලෙස හඳුන්වනවා. 

ගුවන් අංගන තුනක්, අභ්‍යන්තර පිහිනුම් තටාක, යෝගා මධ්‍යස්ථාන, නැටුම් අංගන, අති සුපෝඛබෝගී නිදන කාමර සහ අමුත්තන්ගේ කාමර, පෞද්ගලික සිනමා ශාලාවක් වගේම ලොව නවතම වාහන සහිත රථ ගාලක්ද මේ නිවසේ අන්තර්ගත වෙලා තියෙන බවයි සඳහන් වෙන්නෙ. 

මීට අමතරව වැඳුම් පිදුම් කිරීම සඳහා පුද්ගලිකව සෑදූ ආගමික ස්ථාන වගේම ඉන්දියාවේ දේශගුණය අනුව හිම වැස්සවීමේ පහසුකමත් ඇතිවයි මේ නිවහන ගොඩනඟා ඇත්තේ. 

මෙය වර්ග අඩි 400 000 ක් පුරා විහිදුන නිවසක් ලෙසයි වාර්තා වෙන්නෙ. 

විලා ලෙවොපොල්ඩා / Villa Leopolda

ස්ථානය – ප්‍රංශය

හිමිකරු – ලිලී සෆ්‍රා (Lily Safra) 

වටිනාකම – ඩොලර් මිලියන 750

බෙල්ජියමේ දෙවන ලෙවොපොල්ඩා රජුට හිමිව තිබූ මේ මාළිඟාව අයිතිකරුවන් රාශියකගෙන් පසුව ලෙබනන් සහ බ්‍රසීල සම්භයක් තිබූ බැංකු හිමිකරුවෙකු වූ එඩ්වඩ් සෆ්‍රාට හිමිවූ අතර ඔහු මියගිය පසු ඔහුගේ බිරිඳ ලිලී සෆ්‍රාට අයිති දේපළක් බවට පත්වුනා. 

මේ නිවහන යුරෝපයේ වටිනාකමින් වැඩිම පුද්ගලික නිවහන ලෙසයි හඳුන්වන්නෙ.

වර්ග අඩි 80 000 ක් පුරා විහිදුන මේ අති සුඛෝපබෝගී නිවහන යුරෝපයේ ඉතාම රමණීය භූමි භාග දෙකක් වෙන මොනාකෝ සහ නයිස් ප්‍රදේශ අතර පිහිටා තිබෙනවා. 

විලා ලෙස් සෙද්‍රස් / Villa Les Cèdres

ස්ථානය – ප්‍රංශය

හිමිකරු – රිනට් අක්මිතෝ (Rinat Akhmetov)

වටිනාකම – ඩොලර් මිලියන 450 

දකුණු දිග ප්‍රංශයේ අක්කර 32 ක දූපතක පිහිටා ඇති වර්ග අඩි 18 000 ක මෙම නිවහන වර්ෂ 1830 පමණ ගොඩනඟා අති බවයි විශ්වාස කරන්නේ.

එක් කාල සීමාවක බෙල්ජියමේ දෙවන ලෙවොපොල්ඩා රජුටත් හිමිව තිබූ මේ නිවහන රජ කෙනෙක්ට වුනත් ගැළපෙන විදිහට ගොඩ නැඟුනු ඉතාම පෞරාණික වටිනාකමක් තිබෙන නිවසක් ලෙසයි හඳුන්වන්නේ. 

නාට්‍යාගාරයක්, විශාල පිහිනුම් තටාකයක්, සුඛෝපබෝගී නිදන කාමර වලින් සැඳුම්ලත් මේ නිවහනේ විශේෂත්වය වන්නේ එහි ලොව වටා ඇති මල් වර්ග සහ පැලෑටි 

15 000 කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත හරිතාගාර 20 ක් පමණ දකින්න ලැබීමයි. 

ලෙ පැලැයි බියුල්ස් / Les Palais Bulles

ස්ථානය – ප්‍රංශය

හිමිකරු – පියර් කාඩාන් (Pierre Cardin)

වටිනාකම – ඩොලර් මිලියන 420

සාමාන්‍ය සුඛෝපබෝගී නිවහනකට වඩා පෙනුමෙන් වෙනස් මේ නිවහන ප්‍රධාන වශයෙන්ම හන්ගේරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නැගුණු නිවසක් වෙනව.

බුබුළු (bubble) හැඩැති සහ කුරුල්ලෙක්ගේ ඇස් මෙන් පෙනෙන විවර රාශියක් දකින්න ලැබෙන කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත මේ නිවහනේ ඇතුලතත් දකින්න ලැබෙන්නෙ රවුම් සහ සිලින්ඩරාකාර හැඩැති ඇඳන්, බිත්ති සැරසිලි සහ පිහිනුම් තටාක වීම විශේෂත්වයක්. 

ඒ වගේම පිටත කඳු මුඳුන් සහ මුහුද පෙනෙන සේ සාදන ලද ආසන 500 කින් යුක්ත එළිමහන් ප්‍රදේශයක් ද මෙම නිවහනට අයිතියි. 

මෙම නිවහන වර්තමානයේ කුලී පදනම මත වෙන් කරගන්න හැකියාව තිබුනත් තවමත් මහජනයාට නැරඹීමට විවෘත කර නැහැ. 

මෙවැනිම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

Related Articles

Don't Miss


Latest Articles