මුදල් නිවැරැදිව කළමනාකරණයට උදව් දෙන Money Saving Smart Budget Apps

ජීවිතේ කියන්නෙ සල්ලි ම නොවන බව ඇත්ත. එහෙත් ජීවත් වෙන්න සල්ලි අත්‍යාවශ්‍යයි. මුදල් උපයන පමණින් සැපවත් ජීවිතයක් ගතකරන්නට බැහැ. උපයන මුදල් කළමනාකරණය කරගන්නට ම ඕනේ. සැබැවින් ම, ඔබේ සාර්ථකත්වය පවතින්නේ උපයන මුදල්වල ප්‍රමාණය මත නොව ඔබ එක නිවැරදි ව කළමනාකරණය කරගන්නා ආකාරය තුළයි. ආර්ථික විශේෂඥයින් ඔබට පවසන්නේ සියලු අයවැය කරුණු සටහන් කරගන්නා ලෙසටයි. ඒත් ඔබේ කාර්‍යබහුල ජීවන රටාව නිසා පොත් පත් පෑන් එක්ක මේ ගනුදෙනු කරන්නට යෑමෙන් මේ කටයුතු තරමක් පසුගාමී වෙන්නට පුලුවන්. දැන් තාක්ෂණය දියුණු නිසා මුදල් කළමනාකරණයට ම වෙන් වුණු ඇප්ස් සිය ගණනක් ඔබට ඉතා පහසුවෙන් ලබා ගන්නට පුලුවන්. නිතරම ඔබේ අතේ තිබෙන ජංගම දුරකථනයට ලේසියෙන් ම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේ වාසි සියල්ල අත් විඳින්නට හැකියාව තිබෙනවා. අපි අද ඔබට ගෙන එන්නේ ලෝකයේ ජනප්‍රිය ම මුදල් කළමනාකරණයට සහය වන ඇප්ස් කීපයක්.

mint

අපි මුලින් ම ratings වැඩි ම ප්‍රමාණයක් ඇති ඇප් එකක් වෙන මින්ට් ඇප් එක ගැන කතා කරමු. මෙය apple සහ android යන මෙහෙයුම් පද්ධති දෙකෙහි ම ඔබට ලබා ගත හැකියි. දැනට ඇති ඇප්ස්වලින් අනෙත් ඇප්ස්වලට වඩා වැඩි reviews ප්‍රමාණයක් ද හිමි කරගෙන ඇත්තේ mint app එකයි. මෙය සම්පූර්ණයෙන් නොමිලේ (free app) වේ.

මේ app එකේදී සාමාන්‍ය අයවැය වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් ඔබේ අය වැය ස්වයංක්‍රීයව ම (automatically) කාණ්ඩ (categories)වලට යොමු කෙරේ. ඔබට එම කාණ්ඩ පෞද්ගලික කැමැත්ත අනුව (manually) ද සකස් කර ගන්නටත් හැකියාව තිබෙනවා. ඔබට එක් එක් කාණ්ඩයට සීමා (limits) සකස් කරන්නටත් මේ ඇප් එකෙන් පුළුවන්. එමෙන් ම ඔබ එම සීමාවන්ගෙන් ඔබ්බට වියදම් කරන විට ඇප් එකෙන් ඔබට ඒ ගැන දැනුවත් කරනවා.ඒ හැරුණු කොට, ණය පාලනය කරමින් ගෙවන්නටත්, මුදල් වැඩිවශයෙන් ඉතුරු කරන්නටත් ඔබේ අරමුණු හඹා යන්නටත් උපකාරී වෙනවා. මෙම ඇප් එකෙන් ඔබට ඇතිවිය හැකි ගැටලු සලකා බලා සවිස්තරාත්මක FAQ ප්‍රමාණයක් සහ “Known issues” විශේෂාංගයක් ලබා දී තිබෙනවා.

Apple store rating: 4.8

Google Play rating: 4.5

Zeta

Zeta ඇප් එක අපගේ ලැයිස්තුවට තෝරා ගැනීමට හේතුව වන්නේ free download කළ හැකි ඇප්ස්වලින් යුවලවල්(couples) සඳහා භාවිතා කළ හැකි ඇප් එකක් වීමයි.

මේ ඇප් එක ඔබට ඔබේ සියලු ගිණුම් (sync) කරදෙන්නට උපකාරී වෙනවා. එමෙන් ම ඔබට ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග මේවා බෙදාගන්නට manually දත්ත ලබා දිය හැකි වෙනවා. මෙයින් ඔබට අයවැය සකස් කරන්නට, වියදම් බලාගන්නට, යුගල අරමුණු (couple goals) සකස් කරන්නට සහ බිල්පත් කළමනාකරණය කරගන්නට සහයෝගය ලබා ගන්නට පුලුවන්. එමෙන් ම බිල්පත් සිහිකැඳවුම් (Bill reminders) සකස් කරන්නට හැකි වීම සුවිශේෂීයි. Zeta ඔබට ඔබේ මූල්‍ය අරමුණුවල අවධානය තබා ගැනීමට මෙන් ම ඒ සඳහා ළඟා වීම්ටත් උපකාරී වෙනවා.

Personal Capital

Personal Capital මූලික ව ම ආයෝජන (investment) සඳහා සැකසුණු ඇප් එකක් වුවත් අයවැය කළමනාකරණය සඳහාත් සැකසුණු අංග මෙහි තිබෙනවා. නොමිලේ භාවිත කළ හැකි ඇප් අතර ඉහළින් ම ඇති ඇප් එකක් ලෙස මෙය අපට හඳුනාගත හැකියි.

මේ ඇප් එකේදී ඔබට ණයපත් පිළිබඳ තොරතුරු සටහන් කරන්නට, සියලු ගිණුම්වල තොරතුරු සටහන් කරන්නට මෙන් ම උකස් සහ ණය තොරතුරු පවා සටහන් කරගන්නට හැකියාව තිබෙනවා. එමෙන්ම ඔබ වියදම් කරන ප්‍රමාණය කාණ්ඩ (categories) වශයෙන් ගණන් ගනිමින් මාසය අවසානයේ ප්‍රතිශත ලෙස ඉදිරිපත් කරන්නටත් Personal Capital ඇප් එකෙන් ඔබට හැකියාව ලැබෙනවා.

Apple store rating: 4.7

Google Play rating: 4.4

ඔබ මුදල් කළමනාකරණය සඳහා ඇප් එකක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. මූලික ව ම ඔබේ අවශ්‍යතාව ආයෝජනයක් කිරීම ද එදිනෙදා අයවැය සටහන් කිරීම ද වැනි විශේෂ වූ අවශ්‍යතාවය සොයා ගන්නට වුවමනායි. ඉන්පසු එක් එක් ඇප් එකෙහි විශේෂාංග ගැන සලකා බලන්නට පුලුවන්. ස්මාට් ටිප් එකක් අපි ඔබට ලබා දෙනවා. ඔබේ ඇප් එකෙහි මූලික ස්වභාවය විය යුත්තේ අනාගත මූල්‍යමය තීරණවලට බලපෑමක් සිදු කළ හැකි වීම මිස නිකරුණේ පැරණි ආදායම් වියදම් සටහන් කර දීම නොවේ.

අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතමු. අලුතින් පටන් ගනිමු. උපයන ප්‍රමාණයට වඩා වැදගත් ඔබ මහන්සියෙන් උපයන ආදායම නිවැරැදිව කළමනාකරණය බව සිහි තබා ගනිමු.

Related Articles

Don't Miss


Latest Articles