ගෙදර ඉඳන්ම සල්ලි හොයන්න වෙනස් ක්‍රම 07 ක්

බඩු මිල අහස උසට නේද ? 

සල්ලි කොච්චර තිබුණත් මදි නේද ?

මේ දවස්වල ශ්‍රී ලාංකාවෙ ඇති දරුණු ආර්ථික ගැටළු වලට සෘජුව මුහුණ දෙන්න නිවසේ ශෘහණිය විදිහට ඔබට සිද්ධ වෙනව.

ගෘහණියන්ට විතරක් නෙමෙයි ඔබ අධ්‍යාපන ලබන එහෙමත් නැත්නම් රැකියාවක නිරත වෙන කෙනෙක් වුනත් මේ ගැටළුවට පොදුවෙ මුහුණදෙනව ඇති.

ඒ නිසා ඔබට අතිරේක ආදායම් මාර්ගයක් සොයාගෙන නිවසේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් නම් එය ඉතාම වටිනව වගේම ඔබේ මානසික තෘප්තිය ඇති කරන්නත් හේතුවෙනවා. 

නමුත් අද වෙද්දි විවිධ කුඩා ව්‍යාපාර පටන් අරන් සාර්ථක ගමනක් යන අධිෂ්ඨානශීලී කාන්තාවන් බොහෝදෙනෙක් නිතරම සමාජ මාධ්‍ය ජාල වලින් අපිට මුණගැසෙනවා. 

ඇඳුම් මැසීමේ ව්‍යාපාර, කෑම සෑදීමේ ව්‍යාපාර, ඉටිපන්දම් සහ පාපිසි නිර්මාණය, තෑගි සහ කේක් නිර්මාණය වගේම ආනයනය කළ නිෂ්පාදන අලෙවි කිරීම වගේ ව්‍යාපාර ඒ අතරින් ප්‍රමුඛයි.

බොහෝදෙනෙක් එකම ව්‍යාපාරය කරද්දි ඒ සඳහා වන ඉල්ලුම ටිකක් අඩුවීම සාමාන්‍ය කාරණාවක්. අන්න ඒ නිසයි තාමත් ශ්‍රී ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති පූර්ණ කාලීනව (full time) වගේම අර්ධ කාලීනව (part time) කරන්නත් පුළුවන් රැකියා කීපයක් ගැන විස්තර ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ. 

ඒනම් බලන්නකෝ ඔබටත් පුළුවන් නේද කියල මේ ව්‍යාපාරික අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න ? 

කණ්ණාඩි පින්තාරු කිරීම

නිවාස, අවන්හල් වගේම කාර්‍යාල අලංකරණය කිරීමට කණ්ණාඩි භාවිතයට ගැනීමේ ඉහළ ප්‍රමුඛතාවයක් අද දකින්න ලැබෙනවා. 

ඔබ චිත්‍ර ශිල්පයට දක්ෂ කෙනෙක් නම්, ඔබේ දක්ෂතාවය අනුව විවිධ අයුරින් කණ්ණාඩි පින්තාරු කර අලෙවි කරන්න ඔබට පුළුවන්. 

ඔබට වැඩිය චිත්‍ර අඳින්න බැරිනම්, අන්තර්ජාලයේ තිබෙන පින්තූර වල උදව්වෙන් වුනත් පින්තාරු කිරීම් කරන්න බැරි කමක් නෑ. 

නමුත් ප්‍රවාහනයේදී ඉතාම ප්‍රවේශම්සහගත වෙන්න නම් ඔබ වඟබලාගත යුතුමයි. 

නිවාස පිරිසිදු කිරීම

උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේ කාර්‍යබහුල සාමාජිකයන් සිටින නිවාස වල පිරිසිදු කිරීමේ කටයුතු කරන්න යන්න ඔබට පුළුවන්.

උයන භාජන සේදීම, නිවාස පිරිසිදු කිරීම සහ නිසි පරිදි කුණු බැහැර කිරීම වගේ සේවා ඔබට මෙහිදී සපයන්න පුළුවන්. ඔබේ මහන්සියට සාධාරණ මිලක් නියම කර ගැනීම, එක් ප්‍රදේශයක ගෙවල් කීපයක් සඳහා එකම දවසක පිරිසිදු කිරීම් කටයුතු යොදා ගැනීම, ඔබේ සහ නිවසේ බඩු භාණ්ඩ වල ආරක්ෂාව පිළිබඳ කලින් කතා කරගත් එකඟතාවයකට පැමිණෙන්නත් අමතක කරන්න එපා. 

සතුන් බලාගැනීම

ඔබ සත්තුන්ට ආදරය කරන කෙනෙක් නම්, ඔබට මේ රැකියාව ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. 

නිවැසියන්ට දින දෙකකට හෝ තුනකට නිවසෙන් බැහැර වී සිටින්න සිදුවෙන සෑම අවස්ථාවකම ඔවුන්ගෙ සුරතලුන් රැගෙන යාම අපහසු වෙන්න පුළුවන්. 

ඔබේ නිවසේ ඉඩකඩ තිබෙනවා නම් ඒ සුරතලුන් රඳවා ගැනීමට ස්ථානයක් සකසන්න ඔබට පුළුවන්. එහෙමත් නැත්නම් නිවෙස් වලට ගොස් නිසි වෙලාවට ඔවුන්ට ආහාර දෙන්න, නාවන්න, ඇවිදින්න එක්කන් යන්න වගේ සේවාවන් ලබාදීමත් ඔබට කළ හැකියි. 

සතුන් නිසි පරිදි එන්නත් කර තිබෙනවාද සහ ඔවුන්ගේ රුචි අරුචිකම් ලෙඩ රෝග පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙන බවත් සඳහන් කළ යුතුමයි. 

පරණ ඇඳුම් විකිණීම

භාවිත කර ඉවත්කරන ලද හොඳ තත්වයේ පවතින ඇඳුම් මිලදී ගන්න ඔබට පුළුවන්. 

ඔබේම ප්‍රදර්ශනාගාරයක් විවෘත කර හෝ අන්තර්ජාලය හරහා හොඳින් පිරිසිදු කරගත් එම ඇඳුම් සාධාරණ මිලකට අලෙවි කරන්න ඔබට පුළුවන්. 

එහෙමත් නැත්නම් ඒ ඇඳුම් වෙනත් විවිධ මල් මෝස්තර වැනි ක්‍රම යොදා අලංකාර කර සාධාරණ මිලකට අලෙවි කිරීමත් හොඳ ව්‍යාපාරයක්.

ඇඳුම්,පාවහන්, මාල වළලු වැනි විවිධ පළඳනා වුනත් ඔබේ එකතුවට එක්කර ගන්න පුළුවන්. 

තවමත් අපේ රටේ වැඩිය ජනප්‍රිය නොවුනත් මේ thrift stores සංකල්පය විදේශ රටවල් වල ඉතා ජනප්‍රියයි. 

පෞද්ගලික ආහාර සැපයුම්කරුවෙක් වීම

සමහර ගෘහණියන් ඉතාම කාර්‍යබහුල නිසා නිවසේදී ආහාර පිළියෙල කිරීමට ඔවුන්ට අපහසු වෙනවා. තවත් සමහර ගෘහණියන් ආහාර පිසීමට අකමැත්තක් දක්වනවා.

නමුත් ඔවුන් අවන්හල් වලින් හෝ පිටතින් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නෙත් නෑ. 

මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඔබට පුළුවන්. නිවෙස් වලටම ගොස් රාත්‍රී හෝ උදේ දවල් ආහාර පිළියෙළ කරදෙන්න ඔබට හැකියාව තිබෙනවා. 

අලුත් ආහාර වර්ග, ආහාර කල්තබා ගැනීමේ ක්‍රම, අරපිරිමැස්මෙන් යුතුව ආහාර පිළියෙල කරන්න, ගැළපෙන ව්‍යාංජන වර්ග තෝරගන්න වගේ පුංචි පුංචි දේවල් ගැන ඔබේ අවධානය සහ නිරන්තරයෙන් අලුත් වන දැනුමක් තිබීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. 

නිවෙස් වල පවතින උත්සව, සාද හෝ දානමාන කටයුතු සඳහා ඉවුම් පිහුම් වලින් උදව් සපයන්නෙක් වෙන්නත් ඔබට පුළුවන්. 

පෞද්ගලික සාප්පු සවාරි යන්නෙක් වීම

නිවෙස් වලට අවශ්‍ය විවිධ බඩු භාණ්ඩ මිළ අඩු ප්‍රදේශ වලින් රැගෙනවිත් සාධාරණ මිලකට නැවත අලෙවි කරන්න ඔබට පුළුවන්. 

වර්තමානයේ අන්තර්ජාලය හරහා ජායාරූප යැවීම ඉතාම පහසු නිසා තවත් කෙනෙක් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් වගේ දේවල් මිලට ගැනීම වුනත් කරන්න පුළුවන්. 

විලාසිතා ගැන ඔබට හොඳ දැනීමක් තියෙනව නම්, විලාසිතා තෝරගැනීමට උපදෙස් දෙන්න වගේම සාප්පු සවාරි යාම සඳහා අත් උදව්කරුවෙක් විදිහට කටයුතු කරන්නත් ඔබට හැකියාව තියෙනවා. 

ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කරගැනීම, අලුත් සාප්පු සංකීර්ණ වගේම මිල අඩුවෙන් භාණ්ඩ මිලදී ගන්න තියෙන ස්ථාන ගැන ඔබේ දැනුම යාවත්කාලීන කරගැනීම මේ සේවාව සපයද්දි ඉතාම වැදගත්. 

රෙදි සේදීමේ ව්‍යාපාරය

කාර්‍යබහුල නිවෙස් හිමියන්ගෙ රෙදි සෝදා නියමිත දවසට වේලා මැද දෙන්න ඔබට පුළුවන්. 

ඇඳුම් වල පාට සහ පෙනුම ආරක්ෂා වෙන පරිදි රෙදි සෝදන්න, නිසි පරිදි හොඳින් වේලා මැද නිවෙස් වලටම ගෙනිහින් දෙන්න වගේ සේවාවන් සපයන්න ඔබට අවස්ථාව තියෙනව. 

මේ දේවල් වලට විදුලිය වැයවෙන නිසා ඒ සඳහාත් ගැළපෙන පරිදි සාධාරණ මිලක් අයකරන්න ඔබට පුළුවන්. 

මේ මොන ව්‍යාපාරය කලත් හොඳ ප්‍රමිතියකුන් පාරිභෝකයා ඔබෙන් බලාපොරොත්තු වෙන විශ්වාසය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්න අමතක කරන්න එපා. 

මේ වගේම තවත් අපි නොසිතන විදිහට ඉල්ලුමක් ඇති ව්‍යාපාර තියෙන්න පුළුවන් ? ඒ ගැන ඔබට හිතෙන්නෙ කෝමද ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles