සතුටින් ඉන්නෙ කොහොමද ?

” ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨී පරමං ධනං ” –  “නීරෝගිකම උතුම්ම ලාභය වන අතර සතුට පරම ධනය වේ “ කියන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සෙගෙ දේශනා වල සඳහන් වෙන අපි කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ ධර්ම කාරණාවක්. 

මේ කියන කාරණාව බොහෝ දුරට ඇත්ත අපි වැඩි දෙනෙක් පිළිගන්නවනෙ. 

ජීවිතේ ඉලක්ක, සමත්වීම්, අසමත්වීම්, නින්දා සහ ප්‍රශංසා රාශියක් එක්කම අපේ අවසාන අරමුණ සහ ඉලක්කය මොකක්ද කියල අපි කල්පනා කරොත් ඒ තමයි සතුටින් සිටීම කියල ටිකක් නැවතිලා කල්පනා කරොත් අපිට තේරුන් ගන්න පුළුවන්. 

ඒ කොහොම වුනත් අද වෙද්දී අහන්න දකින්න ලැබෙන කාරණා වලින් smartlady අපි තේරුම් ගත්ත දෙයක් තමයි සතුට ලබාගන්න කරන කියන දේවල් නිසා අපේ ජීවිත හරි විඩාබර සහ පීඩාකාරි වෙලා තියෙනව කියල.

ටිකෙන් ටික මානසික සහ ශාරිරික යහපැවත්ම අපෙන් ඈත්ව යනව කියල. 

අන්න ඒ නිසයි මේ කාර්‍යබහුල ජීවන රටාව ගත කරන අතරම සතුටින් ඉන්නෙ කොහොමද කියල සරල පුංචි කාරණා ටිකක් ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරේ. 

එහෙනම් මේ විදිහට සතුට හොයල බලමුද ?

ඔබේ සතුට 

ඔබ කවුද කියල හරියටම තේරුන් ගන්න පුළුවන් හොඳම කෙනා ඔබමයි. 

ඔබව සතුටින් තියන්න පුළුවන් මොනවගේ දේවල් වලින්ද කියල එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන්.

සංසන්දනය කරන්න එපා

අනෙක් අය සමඟ ඔබව සංසන්දනය කරන්න යෑමෙන් ඔබට හොඳක් සිද්ධ වෙන්න තියන හැකියාව හරිම අඩුයි.

ඒ වෙනුවට ඒ අයගෙ ජයග්‍රහණ, ඔවුන්ට ලැබෙන ප්‍රශංසා සහ ඔවුන්ගේ සාර්ථකවය හමුවෙ ඔබට අනවශ්‍ය මානසික පීඩනයක්, ආතතියක් වගේම ඊර්ෂ්‍යා සහගත හැඟීම් ඇතිවෙන්න පුළුවන්. 

අනෙක ඔබ කොතරම් දියුණු වුනත් ඔබට වඩා දියුණුවුනු පුද්ගලයන් ඒ සෑම අවස්ථාවකදීම ඔබට මුණගැසෙනවා. 

ඒ නිසා සංසන්දනය කරනවා වෙනුවට අනෙක් අයට නොලැබුනු ඔබට ලැබුණු ජයග්‍රහණ, ප්‍රශංසා සහ අවස්ථා ගැන ත්‍යාගශීලි වෙන්න ඔබට පුළුවන්. 

විනෝදය සඳහාත් වෙලාවක් වෙන් කරන්න

වැඩ කිරීම ජීවිතයම නොවන බවත් වැඩ කිරීම ජීවිතයේ එක් කොටසක් පමණක් බවත් ඔබ තේරුම් ගත යුතුයි. 

ඒ නිසා කාර්‍යබහුල දෛනික ජීවිතයේ ටික වෙලාවක් ඔබ කැමති කටයුත්තක නිරත වෙලා විනෝද වෙන්න අමතක කරන්න එපා.

එළියට ගිහින් කෑම ගන්න, චිත්‍රපටයක් නරඹන්න, විනෝද චාරිකාවක් යන්න, පොතක් කියවන්න වගේම ඔබ කැමති නම් පරිඝනක ක්‍රීඩාවක නිරත වෙන්නත් ඔබට පුළුවන්. 

හරියට කන්න

ඔබේ ආහාර ඔබේ ජීවිතේට ඉතාම වැදගත්. සෞඛ්‍යසම්පන්න පෝෂ්‍යදායි ආහාර ගැනීම ඔබේ මානසික සහ ශාරිරීක යහපැවත්මට ඉතාම වැදගත් වෙනව. 

නමුත් ඔබ පීඩාකාරීව ඉන්න වෙලාවට චොකලට් හෝ චොකලට් බීම වර්ගයක් එහෙමත් නැත්නම් කෝපි කෝප්පයක්, කේක් කෑල්ලක් ආහාරයට ගැනීම ඔබට සැනසුමක් ලබා දෙනවා. 

අලුත් කෑම වට්ටෝරුවක් උත්සහ කරන්න, පවුලේ හැමෝම එකතු වෙලා කෑමක් හදන්නත්,එකට වාඩිවෙලා ආහාර ගන්නත් දවසෙ සුළු වෙලාවක් හෝ වෙන්කර ගැනීම ඉතාම වටිනව. 

දිනකට වතුර ලීටර් දෙකක් පානය කරන හොඳ පුරුද්දත් ඔබ ඇති කරගත යුතුමයි. 

විවේක ගන්න, නිදා ගන්න

දවසෙ සුළු වෙලාවක් හෝ ඔබේ කාර්‍යබහුල ජීවන රටාවෙන් අත්මිඳිලා ඔබේ වටපිටාව සහ ලෝකය ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. 

වැස්ස වෙලාවක, හිමිදිරි උදෑසනක, ඉර පායන විට, ඉර බහින විට පරිසරයේ සුන්දරත්වය විඳින්න, ස්වභාවික ශබ්ද වලට ඇහුම්කන් දෙන්න වගේම නිදහසේ අත් කකුල් දිගහැර එහෙමත් නැත්නම් චලනය කරමින් ඉන්න වෙලාවක් වෙන්කර ගැනීම ඔබ නොදැනුවත්වම ඔබට සතුට ගේන කාරණාවක් වේවී. 

ඔබේ වයසට අනුව අදාල පැය ගණන සුවදායීව නිදාගන්න. එමඟින් දීර්ඝකාලීනව ඇතිවෙන්න පුළුවන් විවිධ බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම අඩු කරල ප්‍රබෝධමත් ජීවිතයක් ඔබට ලබා දෙනව. 

පිරිසිදුව ඉන්න

පිරිසිදුව ඉන්න ලස්සනට අඳින්න ඔබට වැඩි වියදමක් දරන්න අවශ්‍ය නෑ. 

ඔබේ ඇඳුම් පරණ වුනත් පිරිසිදු නම් ඔබ පිළිවෙලට පිරිසිදුව සිටිනව නම් අන් අය ඔබ ගැන ගොඩනඟා ගන්නෙ බොහොම හොඳ හැඟීමක්. ඒ මඟින් යහපත් සම්බන්ධතා පවත්වගන්න ඔබට උදව් වෙනව. 

ඔබ නොදැනුවත්වම ඔබේ මානසික තත්වය වැඩි දියුණු කරගන්නත් මේ ඔස්සේ හැකියාව ලැබෙනව. 

පීඩනය පිටකරන්න

ඔබේ සිතුම් පැතුම් පහසු අපහසුතා හිතේ හංඟගෙන ජීවත් වීම ඔබේ සතුට ඔබෙන් ඈත් කර තබනවා. 

ඔබට විශ්වාසදායක පුද්ගලයෙක් සමඟ ඔබේ සිතුම් පැතුම් බෙදාගන්නත්, මානසික අස්ථාවරත්වයක් දැනෙන අවස්ථා වල වෘත්තීය සහය ලබා ගන්නත් ඔබට පුළුවන්. 

ඔබට විශ්වාසදායක පුද්ගලයෙක් නැත්නම් දිනපොතක එදිනෙදා සිදුවන සිදුවීම් සටහන් කර ගැනීමත් හොඳ විසඳුමක් වගේම මානසික සහනයක් ඔබට ලබාදෙනව. 

උදව් කරන්න

අන් අයට උදව් කිරීම ගොඩක් වෙලාවට අද සමාජෙ බොහෝ දෙනෙක් මඟ හරින්නෙ මුදල් සහ විශ්වාසය සම්බන්ධ ගැටළු නිසයි. 

නමුත්, අන් අයට උදව් කරන්න ඔබට මුදල් අවශ්‍ය වෙන්නෙම නෑ. පාරෙදි මුණගැහෙන කෙනෙක් සමඟ හිනාවෙන්න, කාර්‍යාලයට අලුතින් ආව කෙනෙක්ට උදව්වක් කරන්න, ඔබ හදපු කෑමකින් ටිකක් අසල්වැසියන් එක්ක බෙදාගන්න, ඔබ ලඟ තියෙන මල් පැළයක අලුත් පැළයක් ඔබේ යාළුවෙක් එක්ක බෙදාගන්න, කුරුල්ලෙකුට කෑම ටිකක් දාන්න වගේ පුංචි පුංචි දේවල් වලින් ලොකු සතුටක් ඔබට ලබාගන්න පුළුවන්. 

පුංචි ජයග්‍රහණ සමරන්න

ලෝකෙට පුංචි වුනත් ඔබේ සමහර පොඩි පොඩි ජයග්‍රහණ ඔබ ලබාගත්තෙ අතිවිශාල මහන්සියක්, කැපකිරීමක් කරල වෙන්න පුළුවන්. 

ඒ නිසා කුඩා ඉලක්ක හදාගන්නත් ඒව ඉටුවන විට සතුටු වෙන්නත් ඔබවම අගය කරන්නත් අමතක කරන්න එපා.

කුඩා ඉලක්ක දවසක ඔබේ ලොකු ජයග්‍රහණයක පුංචි පියවරවල් වෙන බව අපිට විශ්වාසයි. 

සතුට ඔබ එක්කම තියෙනව. පොඩ්ඩක් නැවතිලා සතුට සොයා ගැනීමයි ඔබ කරන්න ඕනෙ. 

එහෙනම් ඇයි අපි සතුට හොයන්න සතුටින් ඉන්න තවත් ප්‍රමාද වෙන්නෙ ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles