ආතුරයන් මැද ආදරෙන් 19

වර්ණාසි තරහ වෙලා බිම බලාගෙන ඉන්නකොට ජාදු ට මතක් උනේ පරන සිද්ධියක් . ආපහු සැරයක් යාළු කරගන්නත් ඕන හින්දා ඔන්න ඔහේ කියල දැම්මා.

“බේබි ට  කියන්න …
අපිත් එක්ක හිරේ උන්නා කුලතුංග කියල මිටි මිනිහෙක්….ඌ ඇවිල්ල තිබුනේ කාටදෝ  මන්නා පාරක් දීලා වැඩේ ක්ලෝස්ම කරලයි. එදා බත් පෝලිමේදී මිනිහව තල්ලු කරලා සුදුවා කියන නසරානියා පෝලිමේ ඉස්සරහටම ආවා.කුලයට අසාධාරණය පෙන්නන්න බෑ. සුදුවා එක්ක  ඌ මරාගන්න ගියා. හොඳ උස මහත ජේලරයෙක් හිටිය රණතුංග කියල.
ඌ ඇවිල්ලා කුලයගෙ බෙල්ලෙන් අල්ලලා ඇදලා ගත්තා.
අර නසරාණියට රණතුංග ජේලර් සපෝට්. ඒ ජේලර්කාරයා අලියෙක්   වගේ. ඌට කුලයාව උස්සලා පොලේ ගහන්න පුළුවන් තරමයි…අල්ලලා ඇදලා අරන්, පල පස්සට කියලා කුලයට කිව්වා.
කුලයා ජේලරය දිහා මාර බැලිල්ලක් බැලුවා.
ඇයි තොට කෑව මදිද.. තවත් ඕනෙද..
කියලා ජේලර් කාරය කුලයගේ බඩෙන් අල්ලලා ඇහුවා.කුලයා ජේලර්ගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ජේලරයා බිම බලනවා වගේ තමයි කුලයා දිහා බැලුවේ.. කුලයා ඒ තරම් මිටි…කුලයා හරිම හෙමින් ඒ උනාට මාර ස්ථිර කටහඬකින් ජේලරයට කිව්වා..

මගේ නඩුව තාම ඔප්පු වෙලා නෑ..ඔප්පු වෙන්න සාක්කි මම ඉතුරු කළෙත් නෑ…මං කවද හරි එළියට යනවා.මට ආපහු මේකට එන්න හිතුනොත් එනවා…මට නැතිවෙන්න දෙයක් නෑ. ඒ හින්දා මම බයත් නෑ. හැබැයි ඔහෙට නැතිවෙන්න හුඟක් දේවල් තියෙනවා..කියලා කිව්වා.හයේ හතරේ ජේලරයා කුලයාගේ කතාවට වීසි වෙලා ගියා.ටික වෙලාවක් කුලය දිහා බලාගෙන හිටපු ජේලරයා
ඕව මොනවද බං …වරෙන් යන්න කියලා.. කුලයගේ අතින් අල්ලගෙන පෝලිමේ ඉස්සරහටම ගියා .බේබි ඕකෙන් මං ඉගෙන ගත්තේ මිනිහෙක්ගෙ උස මහතට  වඩා ආත්ම විශ්වාසයට අනෙක් මිනිස්සු බයයි කියන එක.”…

වර්ණාසි  ඇඳගෙන හිටපු කළු ලිහිල් කපු කලිසමට සුදු කපු හැට්ටේ හරිම ලස්සනට ගැලපුනා.ලිහිල්ව ගොතලා දාලා තිබුණු තඹ පාට කොණ්ඩය හුළඟට නැළවුණා.

“මටත් හිරේ යන්න ආසයි…”

වර්ණාසි කිව්වේ මූණ හිනාවක් නැතුව…

“හිරේ කියන්නෙත් ඉස්කෝලයක් වගේ තමයි බේබි.”..

ඒ කවියෙ මුතු අකුරු
ගුලි කරන් පපු කැවුතු
කදුලු බර මහ රෑලු
නිදි නොමැති ඇස් ඇරුනු
පොද වැස්සටත් වැටුනු
කිනිත්තෙන් මල් ඇරුනු
නටු කෑලි දලු දාපු
ලස්සනම ඒ තැන්ලු…

බන්ධනාගාරයේ අපේ වාට්ටුවේ කෙලවර ටොයිලට් දොරේ මොකෙක් හරි ටූත්පේස්ට් වලින්  ලියපු කවියක් මට කටපාඩම් බේබි..
සුගුනම් නං  ඒක දැකපු දවසේ ඉඳන් හිනා උනා  දත් මදින්න දීපු ටූත් පේස්ට් එකෙන් කවි ලියලා ගූ වලින් දත් මැද්ද පිස්සෙක් කියලා ..

වර්නාසි හයියෙන් හිනා වුණා.රූපවාහිනියක් ගුවන් විදුලියක් ජංගම දුරකථනයක් කියන  නාමයක් වත් නොතිබුන රික්තයක් වගේ තිබිච්ච ඒ ගේ ඇතුලේ කියවන්න ගෙනාපු පොතුත් සේරම කියවලා ඉවර වෙලා තියෙනකොට ජාදුගෙ විස්තර ඉස්තරං වගේ දැනුනා ..

“ඇත්තටම ජාදු ..දැන් දවස් කීයක් ගියාද..මේ ගෙදරින් එළියේ මොකද වෙන්නේ කියන එක අපි දෙන්නම දන්නෙ නෑ..හදිසියේ  තාත්තිට මොකක් හරි කරදරයක් වෙලා නම්…. අපි ඒ දන්නෙත් නෑ..මගේ ඔලුව නිකං කැරකෙනවා වගේ..”

බේබි කියන කතාව නම් ඇත්ත තමයි.. ඒ මොනවා කරන්නත් තව දවස් දෙකයි නේ ඉතුරු..අපි ඒ දෙකත් ඉවසමු..ලොකු සර් එනවා කියපු දවසට ආවෙ නැති වුනොත් අපි යමු…අපි ඊට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා..

අපි අගය කරන වටිනාකමක් දෙන හැමදේම හිස්…
Things we value are empty !

“ඒකට කියන්නේ ජාදු ..
ශුන්‍යතා මූලධර්මය  කියලා ..ඒක ටිකක් තේරුම් ගන්න බැරි අමාරු දෙයක්.හැබැයි ගැඹුරින් හිතල බැලුවොත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේත් ඒකම තමයි.

” වූ ඉන් ” කියලා  ජපන් බාසාවෙන් කියනවා.චීන බාසාවෙන් “කූ” කියලා කියනවා. සංස්කෘත වලින් “ශුන්‍යතා” කියලා කියනවා.
මහායාන දර්මයේ  හෘදය සූත්‍රය පටං ගන්නෙත් ..
  අවසානයේ සියලු සංසිද්ධි ශුන්‍යතාව ප්‍රකට කරන අතර ,කිසිවක වෙනස් නො වන සාරයක් නැතැ යි කියලයි.
      මොනම දෙයක්වත් පවතින්නේ නෑ කියන එක  ශුන්‍යතා කියලා කියන්නේ නෑ.. ඒකෙන් අදහස් කරන්නේ ඕනම දෙයක් තනියම තියෙන්නේ නැහැයි කියලයි..ඒ කියන්නේ ඕනම දෙයක් හැමතිස්සෙම වෙනස් වෙන්න පුළුවන් කියන එකයි.
       හිස් බව කියලා කියන්නෙ පැවැත්ම හා නොපැවැත්ම අතර මැද තත්ත්වය යි.කුඩා ම තාරකා හා ග්‍රහ ලෝක මැදත්  විශාල හිස් බවක් තියෙනවා .
         සියලු සත්ත්වයෝ ශුන්‍යතාවෙන් මතු ව නැවත නැවතත් ශුන්‍යතාව ටම එනවා . ඒක තවත් පැහැදිලි කරලා කියනවා නම් අපි හැමෝම ජීවත් වෙන්නේ තවත් කෙනෙක්ගෙ මත..එයා නැතිවුනහම අපි ආපහු අපේ ජීවිතය පවත්වගන්න තව කෙනෙක්ව හොයාගන්නවා.
ජාදු ට තේරෙනවද මන්ද මම කියපු එක… මම එහිදී උපාධියට ඕකෙ කොටසක් ඉගෙන ගත්තා.ජෙරම්  තමයි මට ඔය කොටස් පැහැදිලි කරලා දුන්නේ ..
අපි දෙන්නා වුණත් තාත්තා එනකං කියලා තාත්තා මත යැපිලා ජීවත් වෙනවා.තාත්තා ආවේ නැති උනොත්… අපි ආපහු ජීවත් වෙන තවත් දෙයක් හොයාගන්නව..

වර්ණාසි  කතා කරන්නේ ලොකු කලකිරීමකින් කියන එක නම් ජාදු ට තේරුණා.

“…දැන් බේබි මේ බත් එක කන්න.දැන් ගොඩක් රෑ වෙලා.වහින හින්ද කෑම සීතල වෙයි.. බත් එක කෑවොත් තව ලස්සන කතාවක් කියනවා..”.

වර්ණාසිට ජාදු ගැන දුක හිතුනා. උයනව පිහනවා විතරක් නෙමෙයි බත් එකක් බෙදලා අතටම දෙනව.කනකං කතන්දර කියන ආදරණීය පිරිමි ඉන්නේ රොමැන්ටික් කතා පොත් වල විතරයි කියලයි වර්නාසි හිතං උන්නේ…

ම්ම්..කන්න නම් බැහැ.ඒත් ජාදු  ලස්සන කතාවක් කියනවා නම්  කනවා..

ජාදු එයාගෙ ලස්සන නලු හිනාව දැම්මා ..

බේබි වගේ අහිංසක  කෙල්ලෙක්ට අනල බත් කවලා කතන්දර කියලා  නිදිකරවන්න මං කොච්චර ආසයිද.. කියලා කියන්න හිතුනත් කටට එන හැමදේම කියන්න හොඳ නෑ කියලා ජාදු දැනගෙන හිටියා.

රෑ කෑමට අල හොදි එක්ක සෝයා තෙල් දාලා  උයපු ජාදු  අන්තිම පිපිඤ්ඤ ගෙඩිය වර්ණාසි වෙනුවෙන් සළාදයක් හදලා තිබුණා.වර්ණාසි බොහොම සතුටින් පිපිඤ්ඤා සලාදය කන ගමන් ජාදු ගෙ කතාව  අහන්න පටන් ගත්තා.

“මං එක සැරයක් ඇතුළෙ හිටියා ලොකු සර්ට ගේම ඉල්ලපු පත්තර කොල්ලෙක්ව පැහැරගෙන ගිහින් බය කළා කියන චෝදනාවකට ..බය කළා කියන්නේ ඉතින් වෙස් මුහුණක් දාලා නෙමෙයි. …
මොනාද ඉතින් උඩට යවනවා කියලා තමයි….ඒ වෙලාවේ අපිත් එක්ක උන්නා ජග්මන් කියලා හාදයෙක්.ඌ රජ ගේම්  දීපු එකෙක්…වීරරත්න ඇමතිවයි කණ්ඩම්බි ඇමතිවයි හාන්සි කරෝලා තිබුණෙත් ඌ තමා.ජීවිතාන්තය දක්වාම හිරේට නියම වෙලා හිටියේ.. ජග්මන්ට ගෙදරක් නෑ …ගෑනියක් නෑ.. පවුලක් නෑ.. නෑයෙක් නෑ…
ඌට ඌ විතරයි… ඌ කරපු දේවල් ගැන කවදාවත් අපි එක්ක කතා කළෙත් නෑ. අපි ඇහුවෙත් නැහැ. ඌ පසුතැවෙනවා කියලා පෙනුනෙත් නෑ …දවසක්
ඔන්න මොකක්දෝ එන්ජීඕ එකක කෙල්ලෙක් ආවා. දරුණු ගනයේ අපරාධකාරයෙක් ගැන වාර්තාවක් ලියන්න ඕනේ කියාගෙන..

ජග්මන්ව තමයි බන්ධනාගාරයෙන් මේ කෙල්ලට වාර්තාව ලියන්න අල්ලලා දුන්නේ..
ඒ කෙල්ල සතියට දවස් දෙක තුනක්ම මේ වාර්තාව ලියන්න ආවා. ආවහම ඉතින් පැය හතරක් පහක් ඌත් එක්ක කතා කර කර විස්තර ගන්නවා. ලියා ගන්නවා.මුලින මුලින් නම් ජග්මන් කාරයා මේ වැඩේට බෑම කියලා කිව්වා.පස්සේ ජග්මන්කාරයා මග බලාගෙන ඉන්න ගත්තා මේ කෙල්ල එනකං.

“අනේ… මාරයි නේ”

වර්ණාසි කිව්වේ ඉංග්‍රීසියෙන්..

“එහෙම තමයි බේබි ..මනුස්ස හිත ගැන කාටද කියන්න පුළුවන්.සමහර වෙලාවට අපි දන්නෙත් නෑ.. අපි තව කෙනෙකුට ඕනවටත් වඩා බැඳිලා ඉවරයි.සදාකාලික කටුවක් තමයි ඉතින්.ඇඬෙනවා ඇනෙනවා..අයින් කරගන්න හැදුවට කොහොමවත් ඉතින් ඕව සනීප වෙන තුවාල නෙමෙයිනේ..”

වර්ණාසි ගේ රවුම් ඇස් දිලිසුනා ..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles