මට කිසිවෙකු ගේ වාරුවක් වූයේ නැත. මම එලෙසම බිම හිඳගත්තෙමි. නැන්දා මට අන්දවා තිබු සැහැල්ලු ටී ශර්ටය ගතෙන් ගලවා දමන්නට උත්සාහ කලෙමි
” නිර්මලි දෙයියනේ මේ දරුවා…”
තාත්තා නැත පණ්ඩිතරත්න මහතා එලෙස පවසනු මට ඇසුණි. මම වේගවත් හුස්ම ගත්තෙමි. කිසිවෙකු හුස්ම තද කරමින් මා තුළට පිවිසෙන වගක් මට දැනුණි
” අසේකා…. අසේකා.. වස්තුව …”
මහේල අරන්දර කොහෙන්දො මතුවූයේය. ඔහු සියලු දෙනාටම කෑ ගසමින් කුමක් වීදැයි විමසනු ඇසුණි. මා වේගයෙන් ගැසෙන්නට ගනිද්දී මහේල ඔසවන්නට උත්සාහ නොකරම මා එහෙමම පොලවේ වැතිරෙව්වේය. ටී ශර්ටය තදින් අල්ලා උන් දෑත් අරන්දර ගේ දෑත් අතරට සිරවිය.
” අල්ලගන්න අංකල් මෙහෙම…”
ඔහුගේ අණ ඇසුණි. මා වටා වූ සියල්ල අඳුරු විය.
” අසේකා … අසේකා .. බලන්න මගේ දිහා … අයිම් හියර් අසේකා… ඔයා ඔහොම හිතුවක්කාර වෙන්නෙපා අසේකා …ප්ලීස්ස්…. මේ බලන්න…”
එහෙත් මට දෑස් හැරගන්නට හැකි වූයේ නැත. සිතල යමක් වත පුරා දැවටුණි. මම ඇස් ඇරියෙමි.
” පැටියෝ … ඔයාට මාව පේනවා නේද ?..”
මහේල මගේ කොපුල් පිරිමදිමින් ඇසුවේය. මම හිස සැලුවෙමි. මට ඉතා දිගු හුස්ම ගැනීමට අවැසි විය. එහෙත් හුස්ම බිඳුණි. තාත්තා , නැත යලි පැටලුණි. පණ්ඩිතරත්න මහතා මගේ දෑත් අත් හැරියේය. මහේල මා ඔහුට වාරු කරවාගෙන හිඳුව ගත්තේය.
මේ කිසිවක් මගේ නොවන බව දන්නා නමුදු ඒ මොහොතේ මට කරගන්නට කිසිව්ද්ක් වූයේ නැත. කොපුල් පෙඟෙන්නට තරමේ කඳුළු වැල් ගලමින් තිබුණි.
” අසේකා … දැන් ඔක්කොම හරි … ඔයා මා එක්ක හුස්ම ගන්න ඕනි… ලොකු හුස්ම ..හරිද ? බලන්න මගේ දිහා.. ඉස්සරත් මං කියන්නේ ඔයාට… ෆොකස් ඔන් මී අසේකා… දැන් හරි … අපි හුස්ම ගමු… ලොකු හුස්මක්…. හරි… දැන් හෙමින් අතාරින්න හුස්ම …. හොඳ කෙල්ල.. ආයෙම …. හරි …හෙමින්…. හරි …. ආයේ… මගේ දිහා බලාගෙන … අන්න එහෙම අසේකා..නියමයි …. හරි…”
මහේල මගේ කොපුල් පිරිමැද්දේය. පසුව මා ඔසවා යහන මත තැබුවේය. අපිලිවෙල හිස කේ සැකසුවේය.
” .. මෙයාට රස්නෙන් මුකුත් දෙමුද..?
තිදෙනාම කාමරයෙන් පිටව යන්නට තරමේ වන හඬකින් එලෙසද ඇසුවේය. මහේල අරන්දර ට ද ඊළඟට යන්නට සිදුවේ. මේ කිසිවෙක් මගේ ජීවිතය තුළ අයිතිවාසිකම් ඇති අය නොවේය
ඔබ මා අසා සිටි නිසා මේ මොහොතේ මට ඔබ හො සිටී. ඔබත් නොසිටියා නම් මම මේ මොහොත කෙලෙසින් පසුකරන්නදැයි මම දන්නේ නැත.
මහේල මගේ හිස පිරිමැද්දේය. ඉන් පසුව මට නැගිටගන්නට කිවේය. ඇඳෙන් බසිනට කිවේය.
” අඩි දෙකක් ඇවිදින්න බලන්න අසේකා… ඔයා හොඳින්ද ..?”
මම හොඳින් නොවන නමුත් මම අඩි දෙක ඇවිද්දෙමි. මහේල විත් මා අල්ලා ගත්තේය්.
” මේ ෆර්ස්ට් ටයිම්ද අසේකා..?”
මට වැටහුණේ නැත.
” මෙහෙම පැනික් ඇටෑක් එකක් ආවේ ?”
මම නැතැයි කියන්නට හිස සැලුවෙමි. මෙහෙම වීමට කියන නම එය බව නොදන්නා නමුදු, මහේල මා හැට ගිය මුල් දිනවල පැය ගණන් වල හැඬිම් වලට පසු මෙලෙස වූ වග මතකය.
” එහෙනම් ?”
“ඉස්සර .. ඔයා ගිය දවස් වල .. මෙහෙම වෙනවා..ඇඬුවම …”
” එතකොට ? කවුද දන්නේ ඒක ? මොකද කලේ ඔයා ?”
“මුකුත් නැ… ඔහේ හාන්සි වෙලා හුස්ම ගන්නවා… කවුරුත් නෑ දන්නේ …”
මහේල මගේ හුස්ම හිරකරමින් මා වැලඳගන්නට උත්සාහ කලේය. මම පසෙකට වන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහු මා වැලඳගත්තේය.
” ඔක්කොම හරි.. දැන් මම ඉන්නවනේ..”
“යන්න සර් .. ඔයාගේ ඈශ් ළඟට යන්න … ඔයත් යන්න ..”
මහේලගේ හද ගැස්ම කෝපයෙන් වේගවත්ව යනු දැනුණි. හද ගැස්මේ කෝපය දැනෙන්නේ කෙලෙසදැයි ඔබ දැන් මගෙන් අසන බව දනිමි. මේ හිත් වේදනා අස්සේ මම ඔබට මෙහෙන යෝජනාවක් කරමි. ඔබටවඩා හුරු හද ගැස්මක් ඇති අයෙකු කෝප ගන්වන්න. ඉන් පසුව ඒ හද ගැස්ම අසා සිටින්න. එවිට මා පැවසූ තාලය ඔබද හඳුනාගනු ඇත.
” කට වහගෙන ඉන්න …”
මහේල මා ඔසවාගෙන ඇඳෙහි තැබුවේය. රස්නෙන් ගෙන ආ යමක් බොන්නට ලැබුණි. මට නින්ද එමින් යමින් තියෙන්නට ගත්තේය.
” මොකක් ද අංකල් උනේ ?”
මහේල එලෙස විමසනු ඇසුණි. නිර්මලී නැන්දා ඉකිබිඳිණු ඇසුණි. ඇය ට වරදක් කීමට නොහැක. ඇය තාත්තා ට සැබැවින්ම ප්‍රේම කරන්නට ඇත. නැතිනම් මට ඇගෙන් එතරම් උණුසුමක් ලැබෙන්නේ නැත.
~ ~ ~ අතීතයට ~ ~ ~
අයියා මගේ ජංගම දුරකතනය මට පේන මානයේ මේසය මත තමා කාමරයෙන් පිට වූයේ ඔහුට හදිසි ඇමතුමක් පැමිණි නිසා වූ කලබලයෙනි. මම වහා ඇඳෙන් බැස්සෙමි.
මහේල අමතා මේ සියල්ල පැවසීම පලමු සහ එකම විසඳුම බව මට නොවැටහුණා නොවේ. මම වහා මහේලට ඇමතුමක් ගත්තෙමි.
පලමු නාද වීම පසුවත්ම දුරකතනය ට පිළිතුරු ලැබුණි. මා නවාතැනේ නැති වග වැටහුණ පසු ඔහු කෙතරම් කලබල වූ ඇතිදැයි සිතා ගත හැක.
” ම.. මහේල …. අහන්න .. අහන්නකෝ … මම හොඳින්.. ඒත් දැනට ඉන්නේ කොහෙද දන්නේ නෑ .. මට ඉන්න තැන කියන්න තේරෙන්නේ නෑ… අයියායි , අම්මා යි මාව ගෙනාවේ … ඒ නිසා මට කරදරයක් කරන එකක් නෑ…”
එතෙක් කියන්නට පමණක් ඉඩ ලැබුණි. ඇසුණේ වියරු සිනහවකි. මම යළි ජංගම දුරකතන තිරය දෙස බැලුවෙමි. එහි වූයේ මහේලගේ නමය.
අයියා මහේල ට යම් අනතුරක් කරන්නට සූදානම් කර ඇතිදැයි පමණක් සිතුණි.
මම යළි ඇමතුම ට සම්බන්ධ වුයෙමි.
” හෙලෝ…”
පිළිතුරු ලැබුනේ කාමරය තුළිනි. අයියා කාමරයේ දොර විවෘත කරගෙන ඇතුලට ආවේය.
” මං දැනගත්තා පෙම්වතාට ඔත්තුව දෙන බව… මම උගේ නමට මගේ නම්බර් එක රීප්ලේස් කරලා ඒක කන්ෆර්ම් කරගත්තා… උඹ නම් මගේ නංගී වෙන්න්න් බෑ අසේකා…”
” එතකොට .. එතකොට ඔයා කරන්නේ මගේ අයියා කරන වැඩද අයියේ .. එහෙම ද ?”
මම ජංගම දුරකතනය ඇඳ මතට විසි කලෙමි. අයියා ගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තෙමි.
හැකි ඉක්මනින් මෙතැනින් පිටව යා යුතුය යන්න පමණක් සිතුණේ අයියා ගේ වියරු දෑස් මා අසලින් පෙනෙද්දී ය.
| අපේක්ෂා ගුණරත්න |