ආදරයට නොගැළපීම ජයගත හැකිද?

ආදරය කියන්නෙ යුග ගණනාවක් පුරා කවියන්, කලාකරුවන් සහ දාර්ශනිකයින්ට අලුතෙන් දේවල් හිතන්න, කරන්න ඉඩක් දුන්න බලවේගයක්. මිනිස්සු මේ ආදරේ සමරන්නෙ වඩාත්ම ප්‍රභල හැඟීමක් විදියට. සීමා මායිම් ඉක්මවා යන්න, හිඩැස් නැති කරන්න, බාධක ජය ගන්න මේ ආදරේට බලය තියෙනවා.

ඒත් සමහර විට පුද්ගලයන් අතර ඇතිවෙන සහජ අසමගිය, නොගැලපීම ජය ගන්න ආදරයට  ඇත්තටම පුලුවන් ද කියන එක අපි හැමෝම අපෙන්ම අහන ප්‍රශ්නයක්. ගැලපීම කියන්නෙ වටිනකම්, විශ්වාසයන්, රුචිකත්වයක් සහ ජීවන රටාවන් එක්ක එක පාරක යන දෙයක්.

සබඳතාවයක් පටන්ගනිද්දි ඒ සබඳතාවය පටන්ගන්නෙ ආකර්ශනයකින්නෙ. දෙන්නෙක් ගැලපෙද්දි ඒ දෙන්න බොහෝ විට සමාන අරමුණු බෙදාහදා ගන්නවා, එකිනෙකාගේ  සමාගම අගය කරනවා, සහ අභියෝග එකට ජයගන්න උත්සහ කරනවා. මේ වගේ තැන්වලදි වෙන පුංචි පුංචි ප්‍රශ්න අපි ආදරේ හන්දම මග හැරගත්තට සැලකිය යුතු වෙනස්කම්, ගැටුම් ඇති වෙද්දි ඒ මතුවෙන නොගැලපීම් සමහර වෙලාවට අපිට දරාගන්න මග හැරගන්න අමාරු වෙනවා.

ඒ නොගැලපීම් නිසා ඇතිවෙන ගැටුම්, වැරදි වැටහීම් සම්බන්ධතාවය විසුරුවා හරින්න හේතුවක් වෙනවා.

බැලු බැල්මට පෙනෙන්නේ ආදරයට පමණක් නොගැලපීම නැති කරන්න බෑ කියන එක. ඇත්තටම ගත්තොත්, ආදරය සහ චිත්තවේගීය බැඳීම් මේ වගේ නොගැලපීම් ගලපගන්නෙ, වෙනස් කරගන්නෙ, ඒවට මූන දෙන්නෙ කොහොමද කියන එක අපි නිතරම හිතනවා.

ඒකට හේතුව තමයි මේ ආදරය කියන රසායනයට පුලුවන් අපේ ආකල්ප, හැසිරීම් වෙනස් කරලා, එහෙම නැත්තම් නැවත හැඩගස්සලා නොගැලපීම් ගලපගන්න, එහෙමත් නැත්තම් අවම කරගන්න. 100% අපිට සමාන අදහස් තියෙන මනුස්සයෙක්වම අපිට ආදරේ කරන්න හම්බුවෙන්නෙ නෑනෙ. පොඩ්ඩක් හරි නොගැලපෙන අදහස් තියෙනවා. හැබැයි 100% ගැලපෙන, එක වගේම හිතන, වැඩ කරන කෙනෙක් එක්ක ඉන්නවට වඩා පොඩ්ඩක් හරි වෙනස් කෙනෙක් එක්ක ඉන්න ජීවිතේ අමුතු රහක් තියෙන්න පුලුවන් නේද?

සමහර නොගැලපීම් තියෙනව අපිට ඇත්තටම ඒ නොගැලපීම් එක්ක සබඳතාවය ඉස්සරහට අරගෙන යන්න බැරි. ඒත් සමහර නොගැලපීම් අපිට ඇත්තටම ගලපගන්න පුලුවන්. හැබැයි “මේ නොගැලපීම් ගලපගන්න පුලුවන් ද, එහෙම කරලා ඉස්සරහට යන්න අපි දෙන්නටම පුලුවන්ද?” කියල සබඳතාවයේ ඉන්න දෙදෙනාම හිතනවනම් විතරයි.

සමහර වෙලාවට ඇත්තටම සබඳතාවයට ලොකු බලපෑමක් නැති, ඇත්තටම ගණන් ගන්නවත් ඕන නැති පුංචි ප්‍රශ්න ලොකු දේවල් කරගෙන රණ්ඩු වෙන මිනිස්සු ඉන්නව නේද?

“අපි දෙන්න ගැලපෙන්නෙ නෑ, ඔයා මට වඩා ගොඩාක් උසයි, එහෙම නැත්තම් ඔයා බත් එක්ක කිරි හොදි කන්න ආස නෑ. ඒක තමයි මම කන්න ආසම” වගේ කිසිම පදනමක් නැති නොගැලපීම් ගැන කෙනෙක් කියනවනම්. තේරුම්ගන්න එයා හොයන්නෙ එයාට මේ සබඳතාවයෙන් ඉවත් වෙන පාරක්.

එහෙම නැතුව ආදරේ ඉස්සරහට පවත්වගෙන යන්න පාරක් නෙවෙයි. එහෙම කෙනෙක් එක්ක ඒ නොගැලපීම් දරාගෙන, ඒව හදාගෙන, සරලවම කිව්වොත් “බත් එක්ක කිරි හොදි කන්න” පුරුදුවෙලා ඉන්නවට වඩා ඔයාගෙ මානසික සුවතාවයට සහ සතුටට හේතුවක් වෙනව එයාට යන්න දෙන එක.

මෙහෙම ලියද්දි මට එක සිදුවීමක් මතක් වෙනවා. මට දැන් ඒක මතක් වෙද්දි හිනා යනව.

මම දන්න ගෑණු ලමේක්ගෙ පිරිමි ලමය එයා එක්ක බ්‍රේක් අප් වෙන්න හේතුවක් කරගත්තෙ බෝයිගෙ අම්මා වෙජිටේරියන් කියන එක.

“අපේ අම්මා වෙජිටේරියන්, ඔයා මස් කන එක එයාට ප්‍රශ්නයක් වෙයි අපි බැන්දොත්”

“ඉතින් මම ගෙදරදි මස් නොකා ඉන්නම්” කියල ගෑණු ළමය කිව්වත් සමබන්ධෙ නවත්තනව ඇරෙන්න වෙන කිසිම විසඳුමක් ඒ කොල්ල දැක්කෙ නෑ. දැන් තමා තේරෙන්නෙ ඒ මනුස්සය හොයල තියෙන්නෙ එලියට පනින්න පාරක් බව.

ආදරේ තියෙන නොගැලපීම් ජයගන්න පුලුවන් හොඳම විදියක් තමා පිළිගන්න එක සහ අවබෝධ කාරගන්න එක. දෙන්නෙක් එකිනෙකාට ඇත්තටම ආදරය කරධ්ඩි, එයාලගෙ හොඳ ගතිගුන විතරක් නෙවෙයි, එක එක මනුස්සයගෙ වෙනස්කම් වලටත් ගරු කරන්න පුරුදුවෙන්න ඕන. නොගැලපීම බාධකයක් විදියට දකිනව වෙනුවට ඒක වර්ධනය වෙන්න, සබඳතාවය පරිණත කරගන්න හේතුවක් කරගන්නත් අපිට ඕන නම් පුලුවන්.

විවෘත සන්නිවේදනය සහ සංවේදනය ඔස්සේ එකිනෙකාගෙ ඉස්සරහ බලාපොරොත්තු. අත්දැකීම් වගේ දේවල් අවබෝධ කරගෙන, එකිනෙකාට ගරු කරගෙන, එකිනෙකාව අගය කරගෙන සම්බන්ධය ස්තාවර කරගන්න අපිට පුලුවන් වෙන්න ඕන.

ඒ විතරක් නොවෙයි වෙනස් වෙන්න, එහෙම නැත්තම් ආනුවර්තනය වෙන්න කෙනෙක්ව උනන්දු කරන්න මේ ආදරේට පුලුවන්. ඕනම සබඳතාවයකඩි සමගියෙන් ඉන්න දෙන්නම කැමතිවෙන්න ඕනනෙ. ආදරය කරන කෙනාගෙ සතුට, සැනසීමට ප්‍රමුඛත්වය දෙන්න කෙනෙක්ව පොළඹවන්න ආදරයට පුලුවන්.අපි ආදරය කරන කෙනා බලාපොරොත්තු වෙන විදියට වෙනස් වෙන්න උත්සහ කරනවා. කතා බස් කිරීමෙන්, එහෙම නැතිනම් Effective Communication තුළින් අපිට පුලුවන් කම ලැබෙනව අපි නොගැලපීම් කියල හිතාගෙන ඉන්න දේවල් ලොකු ප්‍රශ්න වෙන්න කලින් විසඳගන්න.

ඒ වගේම නොගැලපීමට හැකියාව තියෙනව සහයෝගය ඇති කරන්න. නොගැලපීම නිසා ඇතිවෙන අභියෝග වලල එකතුවෙලා මූණ දෙද්දි, ආදරේ වැඩිවෙනව වගේම විරුද්ධවාදීන් ට එරෙහිව කටයුතු කරන්න අපි එකතුවෙනවා. තමන් දෙන්නම ඉන්නෙ එකම කන්ඩායමේ එකම පැත්තෙ බව අපි තේරුම් ගන්නවා. ඒ හැඟීම අපිට ඉඩ දෙනව ඉදිරියට යන්න.

සෞඛ්‍ය සම්පන්න ආදර සබඳතාවයක් ඉස්සරහට අරගෙන යන්න අපි අපේම සතුට සහ යහපැවැත්ම, කැපකිරීම අතර වෙනස අඳුරගන්න ඕන. ආදරය කිසිම වෙලාවක හිරිහැර කරන එක, අපයෝජනය කරන එක, නොසලකා හරින එක,ඉවසන් ඉන්න එක සාධාරණීකරණය කරන හැඟීමක් නොවෙන්නයි ඕන.

කෙනෙක්ගෙ සාරධර්ම, නිදහස, අභිමානයට පහරක් එල්ල නොකරන හැඟීමක් වෙන්න ඕන.Effective Communication වගේම සීමාවන් දැනගෙන ඉන්න එක වගේම අවශ්‍ය වෙලාවක උපදේශනය ලබා ගන්න එකත් ආදරයක් සාර්තකව ඉදිරියට අරගෙන යන්න හේතුවක් වෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕනල් නොගැලපීම් සම්බන්ධතාවයකට අභියෝග එක්ක කරන්න පුලුවන්. හැබැයි වෙනස්කම් ජයගන්න පුලුවන් බලයක් ආදරේට තියෙනව.

ඒත් ඒ බලය පාවිච්චි කරනවද නැද්ද කියන Choice එක ගන්න ඕන ඔයාල දෙන්නම තමයි!

Related Articles

Don't Miss


Latest Articles