අවුරුදු 11ක වයස් පරතරය නිසා විවාහය එපා වූ බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මේ සම්බන්දෙ තියාගෙන යන එකෙන් අපි දෙන්නටම තේරුමක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ අශේන්”

ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ජොබ් එකක් කර කර උන්න අශේන් සහ නාලිකා බැඳල දැන් අවුරුද්දක් වගේ. හරිම මනුස්සකම් තියෙන කපල් එකක් විදියට හැමෝම දැනගෙන උන්නු අශේන් සහ නාලිකා අතර වයස් පරතරේ අවුරුදු 11ක්

සල්ලි හොඳට තියෙන හොඳට ඉගෙනගත්ත, හොඳ මිනිස්සු දෙන්නෙක් උනාට අශේන් සහ නාලිකාගේ විවාහ ජීවිතේ ගෙවුණෙ ඒ තරමටම හොඳින්ද කියන ප්‍රශ්නෙ නොතිබුණා නෙවි.

“ඇයි එහෙම කිව්වෙ එකපාරටම?”

“ඔයයි මමයි එක ගෙදර ඉන්නෙ කොච්චර ඈත් වෙලාද?

අනික ඔයාට මතකද ඔයා මට අන්තිමටම ආදරෙන් කතාකරපු දවස. හැමදාම ඔයා මට සලකන්නෙ මේ පොඩි ළමයෙක්ට වගේ. මට එපා වෙලා අශේන් තියෙන්නෙ

මට මේ ගෙදර කිසිම තීරණයක් ගන්න ඉඩක් තියෙනවද?

කිසිම දෙයක් ප්ලෑන් කරන්න ඉඩක් තියෙනවද?

හැමදේම වෙන්නෙ ඔයාට ඕන විදියට නම් මම ඉන්නෙ මොකටද? මගෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද?”

“බබා මම එහෙම කරන්නෙ ඔයාට ලේසි වෙන්න, ඔයාට ආදරේ නිසා”

“ආදරේ නම් ඔයා මට සලකන්න ඕන ඔයාගෙ දරුවෙක්ට නංගි කෙනෙක්ට වගේ නෙවෙයි අශේන් ඔයාගෙ ගෑණිට වගේ. හැමදාම හැමතැනකදිම ඔයා කතාකරන්නෙයි හැසිරෙන්නෙයි නිකන් මම මේ මෙලෝ දෙයක් දන්නෙ නැති තොත්ත බබෙක් ගාණට දාලා.

ඔයාට මතකද අන්තිමට මම කිව්ව විදියට දෙයක් මේ ගෙදර වුණා? නෑ නේද ? මොකද එහෙම දෙයක් උනේ නැති හන්දා. ප්ලිස් අශේන් මට බැ තවත් මේක දරාගෙන ඉන්න. ඔයා මහ රෑ තිස්සෙ වැඩ කරල ගෙදර එනව. ඒ ඇවිල්ල මට කොහොමද කියලවත් අහන්නෙ නැතුව නිදාගන්නවා. ගෙදර ඉන්න වෙලාවටත් ඔයා මේ මාර ලොකු මිනිහෙක් වගේ මම කියන ඒවට විහිලු කර කර ඉන්නව. ප්ලීස් අපි ඩිවෝස් වෙමු මට බෑ තවත් මෙහෙම ජීවත් වෙන්න”

එක කඳුලු බිංදුවක් වත් බිම වට්ටන්නෙ නැතුව නාලිකා එහෙම කියද්දි අශේන්ට තේරුණා මේ ප්‍රශ්නෙ යන්න ඕන උපරිම දුර ගිහින් ඉවර බව.

ඒ විදියට තමයි ඒ දෙන්න මගෙ ළඟට ආවෙ. ඒ වෙද්දිත් තීරණයක් අරගෙන ඉවර නිසා උපදේශන සෙවාවෙන් දෙන්නගෙ පවුල් ජීවිතේ තවදුරටත් පවත්වාගෙන යන්න කියන උත්තරේ දෙන්න බැරි උනාට මේ සිදුවීම් එක්ක ජීවිතේ වුණ හැල හැප්පීම් නිසා මනසට වෙලා තිබුණ බලපෑම අඩු කරන්න මට පුලුවන් උනා.

“අශේන් මොකද හිතන්නෙ මේ වුණ දේවල් ගැන”

මම කතාව ඇහුවෙ නාලිකාගෙන් විතරක්ම නෙවෙයි. අශේන්ටත් කියන්න දෙයක් තිබුණා මේ කතාව ඇතුලෙ.

“මම පිළිගන්නව මට නාලිකාව සැහෙන මිස් උනා කියල. කොටින්ම අපි දෙන්න එකට තුරුල් වෙලා නිදාගත්ත දවසක් මේ මෑත කාලෙක නොතිබ්බ තරම්. මගෙ රස්සාව සෑහෙන අමාරුයි. සෑහෙන ස්ට්‍රෙස් එකක් දරන්න වෙනව. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා මම එන්නෙ බාගෙට මැරිල වගේ. ඒ වගේ වෙලාවල මට නාලිකාව් අගොඩක් මිස් උනා. ඒක හරි කියල මම කියන්නෙ නෑ. මම දන්නව මගෙ පැත්තෙන් මගෙ අතින් වරදක් වෙලා තියෙන බව. අනිත් එක නාලිකා මට වඩා අවුරුදු 11ක් බාල නිසාද මන්දා මට හැමදාම හිතුනෙ එයා සොසයිටි එක ගැන දන්නෙ අඩුවෙන් කියල. ඒ නිසා එයා ගන්න හැම තීරණයක්ම මම වෙනස් කරන්න ගියා. මම ඒ වගේ වෙලාවලදි එයාගෙ අදහසක් ඇහුවෙවත් නෑ. මම ඒක පිළිගන්නවා”

මේ ලෝකෙ ගොඩක් මිනිස්සු තමන්ට හොඳ සහකරුවෙක් නොලැබීමේ වේදනාව නිසා සබඳතා ඇතුලෙ දුක් විඳින අවස්තා අපිට මොන තරම් නම් හම්බුවෙනවද?

එහෙම ලෝකෙක නාලිකා සහ අශේන් කියන්නෙ මට හමුවුණ ඇත්තටම මානුෂීය අදහස් තිබුණ දෙන්නෙක්. එහෙම දෙන්නෙක් තමන්ගෙ අවුරුද්දක විවාහය ඇතුලෙ අවසානයට වෙන් වෙන්න ගත්ත තීරණය අපිටත් විශාල වේදනාවක්.

ඒත් සමහර දේවල්වලට සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න පමා වෙද්දි ඒ ප්‍රශ්න දුර දිග ගිහින් අවසාන වෙන්නෙ අපි හිතන්නෙවත් නැති විදියට, හිතන්නෙවත් නැති තැනකින්.

නාලිකා සහ අශේන්ට වුණෙත් ඒක.

වයස් පරතරය අවුරුදු 11ක් කියන්නෙ විශාල කාලයක්. ඒ කාලෙ ඇතුලෙ නාලිකා සහ අශේන් එකම මට්ටමේ ආර්තික සමාජ තත්ත්වල වල හිටියත්, අශේන් සමාජය ඇතුලෙ නාලිකාට වඩා ලබාගත්ත අවුරුදු 11ක අත්දැකීම් සහ පරිචය එක්ක නාලිකාව දැක්කෙ පොඩි ළමයෙක් වගේ. සමාජය ගැන තමා තරම් නොදන්න, අත්දැකීම් අඩු කෙනෙක් වගේ. ඒ හේතුව නිසාම “නාලිකා ගන්න තීරණ වැරදි මම ගන්න තීරණ හරි” කියන අදහස අශේන්ට දැනිල තිබුණා.

දෙදෙනාට වෙන් වෙන්න ලොකුම හේතුවක් වෙලා තිබුණේ ඒක.

වයස් පරතරය විශාල වුණත් නැතත් විවාහ ජීවිතයක් ඇතුලෙ ආදරයකින් හෝ යෝජනාවකින් එක්වෙන්නෙ එකිනෙකාට වෙනස් දෙදෙනෙක්. විවාහ ජීවිතයේ තියෙන බැරෑරුම්ම ඒත් සුන්දරම දේ වෙන්නෙත් ඒ එකිනෙකට වෙනස් දෙදෙනා එකිනෙකාව ගලපගෙන ඉදිරියට යෑම.

සමහර අවස්තා එනවා ඒ වගේ එකිනෙකාව ගලපගන්න අපට අපහසු වෙන.

ඒ වගේ මොහොතක දෙදෙනා අතරෙ ඒ පිළිබඳව වන කතාබහ තරම්ම වෘත්තිය සහය ලබා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා සහ උපකාරී වෙනවා. දෙදෙනා කතා බහ කරද්දි සමහරවිට පිළිගන්නෙ තමාගෙ පැත්තෙන් කියවෙන කතාව විතරක් වෙන්න පුලුවන්. ඒත් වෘත්තිය සහය සමග දෙපැත්තෙම තියන හොඳ නරක තේරුම් අරගත්ත ගමනක් යන්න ඉඩකඩ සැලසෙනවා.

නාලිකා සහ අශේන් වුණත් තමන්ගෙ සබඳතාවයේ යම් තැනක අඩුපාඩුවක් තියන බව හඳුනාගත් මොහොතේ උපදේශන සේවයට ආවා නම් වෙන් වීමකින් තොරව මේ ගැටලුව සුන්දරව විසඳාගන්න හැකියාව තිබුණා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,

විවාහය යනු ඔබ වඩාත් කැමති පුද්ගලයා සමඟ සදහටම රැඳී සිටීමට සහ ඔබේ ජීවිතය එකට බෙදා ගැනීමට තීරණය කරන හැඟීමක්. එය හරියට ඔබේ හොඳම මිතුරා සොයාගෙන සදාකාලිකව මිතුරන් වීමට තීරණය කිරීම හා සමානයි.

ආදරය සහ විවාහය පුදුමාකාරයි, නමුත් ප්‍රශ්න ඇතිවන අවස්තා නැතුවම නොවෙයි.

අපට වෘත්තීය උපදේශන සහාය අවශ්‍ය වන්නේ එවිටය. එය හරියට අපට විශාල ප්‍රහේලිකාවක් ඇති වූ විට, සහ සියලුම කෑලි එකට ගැලපෙන්නේ කෙසේදැයි අපට හරියටම සොයාගත නොහැකි මොහොතක තවත් අයෙකුගේ උපකාරය ඉල්ලීමක් වගේ.

 අපගේ හැඟීම්, සිතුවිලි තේරුම් ගැනීමට සහ සන්නිවේදනය කිරීමට වඩා හොඳ මාර්ග සොයා ගැනීමට උපදේශන සේවය අපට උපකාර කරනවා.

එය වැදගත් වන්නේ සමහර විට, අපි එකිනෙකාට සැබවින්ම ආදරය කළත්, අප විසින්ම ගැටලු විසඳා ගන්නේ කෙසේදැයි අපි නොදන්න නිසා.

ඉතින් අවශ්‍යතාව ඇති මොහොතක උපදේශන සේවය ලබාගන්න.

අමතක කරන්න එපා ආදරයෙන් ඇරඹි ගමනක් ආදරයෙන්ම අවසන් වීම, වේදනාවකින් අවසන් වීමට වඩා සුන්දර බව!

Related Articles

Don't Miss


Latest Articles