ආදරෙයි කියන්න කලින් මේ දේවල් හිතන්න

බොහෝ ආදර සබඳතාවල මුල් කාලය හරිම සුන්දර වගේම ආදරණීය මුහුණුවරක් ගන්නවා.

නමුත් ටික කාලයක් ගතවෙද්දි ඇතිවෙන විවිධ ගැටළු නිසා පීඩාවට පත්වන බොහෝ පාර්ශව ගැන සමාජ මාධ්‍ය වල නිතර නිතර කතාබහට ලක්වෙන නිසා ඒ ගැන කතා කරන්න අපි අද බලාපොරොත්තු වෙනවා.

සිතුම් පැතුම් වලින් වෙනස්, විවිධ පරිසර වල හැදී වැඩුණු සහ විවිධ ජීවන රටාවන් ගත කරන දෙදෙනෙක් එක්ව ගමනක් යන්න ගන්න තීරණය කිසිම අවස්ථාවක සරල සුන්දර වෙන්නෙ නෑ.

අන්න ඒ නිසාමයි, ආදරයේ සුන්දර විනෝදකාමි හැඟීම් විදින අතරම මේ දේවලුත් හොඳින් මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙන්නෙ. 

එහෙමනම්, ආදර සබඳතාවක් අරඹන්න කලින් එහෙමත් නැත්නම් කෙනෙක්ට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් මේ දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න කියල අපි ඔබෙන් ආදරෙන් ඉල්ල සිටිනවා.

මුණගැහෙන්නෙ කොහෙද?

ඔබ දෙදෙනා එකිනෙකා හැඳින ගන්නෙ කොහොම වුනත් කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් ඔබ මුණ ගැසී කතාබහ කිරීම නම් අනිවාර්‍යයි.

බොහෝවිට ඔබ දෙදෙනා මුණගැසෙන්නෙ නිදහස් සුන්දර වටපිටාවක් ඇති උද්‍යානයක, වෙරළ තීරයක හෝ අවන්හලක වෙන්න පුළුවන්.

එහි වරදක් නෑ.

නමුත් උපදේශකවරුන් පෙන්වා දෙන පරිදි එවැනි සුන්දර ස්ථානවල වගේම ටිකක් වෙනස් පරිසර වලත් ඔබ මුණ ගැසිය යුතුමයි. 

ඒ නිසා පොදු ප්‍රවාහන සේවයක, උදෑසන ව්‍යායාම කරන අතරතුර, ඔබේ සහ ඔහුගේ යහළු මිත්‍රයන් සිටින ස්ථානයක වගේ විවිධ ස්ථානවල හමුවීම් යොදාගත්තොත් ඒ ඒ අවස්ථා වල ඔවුන්ගේ හැසිරීම, ඔබ ගැන දක්වන සැළකිල්ල සහ අවධානය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඔබට පුළුවන්.

ඉස්සර වෙන්න එපා

ඔබේ පාසල් ජීවිතය ගැන, පවුලේ සාමාජිකයන් ගැන, සේවා ස්ථානයේ විස්තර ගැන සහ ඔබේ අනාගත බලාපොරොත්තු ගැන ඕනෑම හඳුනා ගැනීමක මුල් අදීරයේදී අපි විස්තර බෙදාගැනීම සිදුකරනවනේ.

නමුත් උපදේශකවරුන් පෙන්වල දෙන්නෙ මේ දේවල් වලට ඉක්මන් වෙන්න එපා කියලයි.

සෑම විටම කෙටි පණිවිඩ යවන, දුරකථන ඇමතුම් ලබාදෙන, පවුලේ සහ රැකියාවේ විස්තර සහ පෞද්ගලික විස්තර හෙළිදරව් කරන මුල්ම කෙනා වීම යහපත් ලක්ෂණයක් නම් නෙමෙයි. 

ඔබ වගේම ඒ පිළිබඳව ඔවුනුත් උනන්දුවක් පෙන්නන්නම ඕනෑ. නැත්නම් අවසානයේ  ඒක පාර්ශ්වීයව කරන මේ සොයා බැලීම් අවසානයේ ඔබ විඩාවට පත්වෙනව වගේම අනෙක් පාර්ශවය ඔබ ගැන හොඳින්ම දන්න ඔබ ඒ පාර්ශවය පිළිබඳ මොකුත්ම නොදන්න කෙනෙක් බවටත් පත්වෙනව.

ඒ නිසා අනෙත් පාර්ශවයත් ඔබ ගැන ඔබ වගේම අවධානයක් දෙනවද කියල ඔබ මඳක් නැවතී බලන්නම අවශ්‍යයි. 

ජීවිතේම ආදරේද?

ඔබ අනිවාර්‍යයෙන්ම ඔබේ නිදහස සහ ස්වාධීනත්වය භුක්ති විඳිය යුතුමයි. ඔබේ යහළුවන්, ඔබේ පවුල, ඔබේ රැකියාව සහ ඔබේ විනෝදාංශ වලට අනවශ්‍ය ලෙස බලපෑම් නොකරන ඔබ නිදහස, ස්වාධීනත්වය සහ තීරණ ගැනීමේ හැකියාවට ගරුකරන සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීම නම් අනිවාර්‍යයි.

බාහිර පරිසරයේ ඔබ සතුටු වෙන දේවල් සියල්ලෙන්ම ඈත් වෙලා ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ මුළු ලෝකෙම කරගත්තොත් ඔබට අති විශාල පීඩනයකට මුහුණ දෙන්න වෙනව වගේම ඔබේ මානසික සහ ශාරීරික යහපැවැත්මටත් එය ලොකු බලපෑමක් වෙනව.

ඒ නිසා එවැනි හැසිරීම් ගැන අවධානයෙන් ඉන්න ඕනැ වගේම එවැනි හැසිරීම් නිරික්ෂණය කරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම තීරණයක් ගැනීම අනිවාර්‍යයි.  

ශාරීරික සබඳතා ගැන කතා කරන්න

ඔබට ඔබේ සහකරුවා සමඟ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ඔබේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන්න අපහසු නම් ඔබ තවමත් ලිංගිකව ඇතිවෙන සබඳතා සඳහා සූදානම් නැති බවයි උපදේශකවරු පවසන්නෙ.

දරුවන් සෑදීම, උපත් පාලනය, ලිංගික සෞඛ්‍ය ගැන ඔවුන්ගෙ අදහස් ආදර සම්බන්ධයක් අරඹන්න කලින් හෝ විවාහයට කලින් දැනගැනීම ඉදිරියේදී ඇතිවෙන ගැටළු වළක්වා ගැනීම සඳහා අනිවාර්‍ය වෙනවා.

එනපොට හොඳ නැද්ද?

ඔබ එකිනෙකා ලඟින් ඇසුරු කිරීමේදී දකින්න ලැබෙන red flags එහෙමත් නැත්නම් රතු කොඩි නම් නොසලකා හරින්න එපා. අනවශ්‍ය සැක කිරීම්, බොරු කීම්, ඔබව නොසලකා හැරීම්, වෙනත් සබඳතා, ශාරීරික හිංසන, අන් අයට වැරදි ලෙස සැළකීම් සහ විවිධ ඇබ්බැහිවීම් වගේ විවිධ ගැටළු ඔවුන් කොපමණ සඟවන්න උත්සහ කලත් ඔබ සැළකිලිමත් වුනොත් ඔබට අඳුරගන්නම පුළුවන්.

ඒ නිසා එවැනි පුද්ගලයන් සමඟ සබඳතා ආරම්භ කිරීමේදී ඔබ සැළකිලිමත් විය යුතුමයි. මොකද අවසානයේ එවැනි ගැටළු අවසනාවන්ත මරණ වලින් පවා කෙළවර වෙන අවස්ථා අපිට අහන්න දකින නිසයි.

කෙනෙක්ගේ හොඳ පමණක්ම හැඳින ගැනීමට වඩා ඔවුන් ගැන සියල්ලම හැඳින ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ.

ඒ නිසා ආදරය, ආකර්ෂණය සහ කැමැත්ත නිසා ඔබ ඔවුන් දිහා බලන පාට කණ්ණාඩි ගලවල ඇත්ත දකින්නම ඔබට සිද්ධ වෙනව.

මුලින්ම පුංචි දේවල් කතා කරන්න

ඔබේ අතිශය පෞද්ගලික තොරතුරු, ඔබ පමණක්ම දන්න රහස්, ඔබේ ආයෝජන සහ ඔබේ ශාරීරික සබඳතා වල රුචි අරුචිකම් වගේ දේවල් මුලින්ම කතා කරන්න එපා කියලයි උපදේශකවරු පෙන්වා දෙන්නෙ.

ඒ වෙනුවට කෑම ගැන කතා කරන්න අලුත් විනෝදාංශ වල නිරත වෙන්න වගේ සාමාන්‍ය දේවල් කරන්න ඔබට පුළුවන්.

ඔබට ගරු කරන්න

ඔබව හැඳින ගැනීම, ඔබ ඔබම වීම සහ ඔබට ආදරය කිරීමේ කිසිම වරදක් නැතිබව ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. 

ඒ නිසා ඔබට ගරු නොකරන තැනක රැඳී නොසින්න වගේම ඔබ අකමැති ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නත් ඔබ කැමති දේවල් වලට කැමැත්ත ප්‍රකාශ කරන්නත් පසුබට වෙන්න එපා. 

ඒ වගේම ඔබ ආදරය කරන පුද්ගලයාට තිබිය යුතු ශරීර ලක්ෂණ, රැකියාව සහ අධ්‍යාපන මට්ටම ගැන තීරණය කරන අයිතියත් ඔබට තියෙනව. එය වරදක් යැයි සිතන්න අවශ්‍ය නෑ. 

ඒ නිසා ඔබවම රවට්ට ගන්න උත්සහ කිරීම හරිම නිෂ්ඵල ක්‍රියාවක්.

ඇත්ත කියන්න

සබඳතාවයකදී අවංක වීම ඉතාම වටින කාරණයක්.

ඔබව රැකියාවෙන් ඉවත් කළා නම්, ඔබේ කලින් සබඳතාවයේදී ඔබ රැවටීමකට ලක්වුණා නම් එහෙමත් නැත්නම් ඔබේ ඔබේ කලින් සහකරුව රැවටීමට ලක් කරානම් වගේ කාරණා ඔබ කුමන හේතුවක් නිසාවත් සැඟවිය යුතු නැහැ.

ඔහු හෝ ඇය ඔබව ප්‍රතික්ෂේප කරාවි යැයි සිතා ඔබ නොකියන බොහෝ දේ ඔවුන් වෙනත් පාර්ශවයකින් හෝ ඔබේ සම්බන්ධය තවත් දුරගිය විට දැනගතහොත් එයින් ඔබට සහ ඔවුන්ට ඇතිවන මානසික පීඩනය සුළුපටු නැහැ.

ඒ නිසා සුදුසු වෙලාවක් බලල ඒ සියල්ල පවසන්න ඔබට පුළුවන්. රහස් සඟවාගෙන අරඹන සබඳතා රැක ගැනීමට ඔබ වැඩි වෙහෙසක් දැරිය යුතු වෙනවා.

හැමෝම 100% ක් නිවැරදි නැහැ. ඒ නිසා සත්‍ය පැවසීම ඉතාම වැදගත්.

ශාරීරික සබඳතා වලට ඉක්මන් වෙන්න එපා

දෙපාර්ශවයම ශාරීරික සබඳතා සඳහා 100% ක් සූදානම් අවස්ථාව ශාරීරික සබඳතා ඇති කරගන්න හොඳම කාලය කියලයි උපදේශකවරුන් පවසන්නෙ. 

ඒ කොහොම වුනත් උපත් පාලන ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සහ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න වගකීම අනිවාර්‍යයෙන් ඔබට තිබිය යුතුයි.

සන්නිවේදනය ඉතාම වැදගත්

ඔබට කියන්න අවශ්‍ය දේ කෙළින්ම කතා කරන්න පසුබට වෙන්න එපා. ඔබේ සහකරුවාට සහ සහකාරියට අවශ්‍ය ගෞරවය ලබාදෙන්න වගේම අපහාස, නින්දා, පහත හෙළීම්, බැන වැදීම්, හිංසා කිරීම් සහ පහරදීම් කිරීම ඉතාම වැරදිසහගත ක්‍රියාවන් වෙනවා. 

ඔබේ දෙමාපියන්, ඔබේ පාසල් මිතුරන්, කාර්‍යාලයේ මිතුරන් ඔබව කුඩා කළ සිට හෝ ටික කාලයක සිට හෝ දැන හැඳින ගෙන ඉන්න පිරිසක්. ඒ නිසා ඔබේ රුචි අරුචිකම් ඔවුන් හොඳින් දන්නවා. ඔබේ සහකරුවන් ඔබව ඉතාම මෑතකදී හඳුනාගත් පිරිසක්. ඒ නිසා ඔවුන්ට එතරම් ඉක්මණින් ඔබව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමේ හැකියාවක් නෑ.

ඒ නිසා ඔවුන්ට ඔබේ හිත කියවන්න ටික කාලයක් ගතවීම අතිශය ස්වභාවිකයි. ඔබටත් එසේමයි. ඒ නිසා ඉවසීමෙන් අවශ්‍ය කාලය ගන්න. අවශ්‍ය කාලය දෙන්නත් අමතක කරන්න එපා.

ඉතිං මේ වගේ හැඳින ගැනීම් එක්කම අරඹන ආදර සබඳතා සාර්ථක වීමේ ඉඩකඩ බොහොම වැඩියි.

ඒ නිසා හිත ගිය තැන මාළිඟාව හදන්න කලින් මේ දේවලුත් හිතලම ඇත්තටම ආදරෙයි නම්, ඇත්තම ආදරයට, ආදරෙයි කියමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles