රණ්ඩු සරුවල් මැද සිතේ සැනසීම බිඳගත් පෙම් යුවලක්

0
4400

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න?’

“මම ඇයි හැමතිස්සෙම ඔයා ආස දේවල් කරන්නෙ? ඔයාට ඇයි බැරි මම ආස දේවල් කරන්න”

 පවනියි සුධාරයි යාලුවෙලා දැන් අවුරුදු 4ක්. ඒත් ඉතින් මේ අවුරුදු 4 ඇතුලෙ දෙන්න සන්තෝසෙන් හිටියට වඩා රණ්ඩු වෙච්ච මාස ගාණ වැඩියි.

පවනියි සුදාරයි දෙන්න කැම්පස් යන කාලෙ ඉඳලම දන්නව. දෙන්නගෙ රණ්ඩු ගැන ඒ දවස්වල කැම්පස් එකෙත් බැච් එකේ හැමෝම වගේ දන්නවා. ඒ උනාට කොච්චර රණ්ඩු උනත්, දෙන්නට දෙන්න නැතුව ඉන්න විදියක් නෑ. මොනතරම් රණ්ඩුවක් උනත් දෙන්න ආයෙම කතා බහ කරල යාලු වෙනව. ආයෙ රණ්ඩු වෙනව. ඔහොම තමයි ජීවිතේ ගෙවුණෙ.

අවුරුදු හතරකට පස්සෙ දෙන්න කසාද බැන්දනම් හොඳයි කියල හිතල අම්මල මගුල් කතාකරාට මොකො දෙන්න රණ්ඩු වෙන විදිය දැක්කම දෙන්නව බන්දනවට කලින් කරන්න දෙයක් තියෙනව කියල. එහෙම තමයි මේ දෙන්න මගෙ ළඟට ආවෙ.

“අපි දෙන්න ඇත්තටම දෙන්නට පුදුම ආදරෙයි. අපි දෙන්නට දෙන්න හරියට කෙයා කරනවා. ඒත් කොච්චර ආදරේ උනත් රණ්ඩු නොවී ඉන්න පුලුවන් කමක් නෑ.

සමහර වෙලාවට මට ඇත්තටම සුධාර එක්ක පුදුම කේන්තියක් එන්නෙ. මම මොන දේ කිව්වත් එයා කරන්නෙ එයාට ඕන දේ. මම කියන විදියට ඉන්න එයා කැමතිම නෑ. මම එයාට වරදක් කරන්න දෙයක් කියන්නෙ නෑනෙ. ඒත් එයා හිතන්නෙ මම එයාගෙ නිදහස නැති කරනව කියල.

ඕක ගැන ඉතින් කතාකරන්න ගිහිල්ල අන්තිමේ නතරවෙන්නෙ රණ්ඩුවක් වෙලා තමයි. අම්මල කසාද බඳින්න කිව්වමත් අපි හරියට සතුටු උනා. ඒත් වෙඩින් එකේ වැඩවලදිත් අපි දෙන්නගෙ පුදුම රණ්ඩු තියෙන්නෙ. රණ්ඩු වෙලා හරි ඉක්මනට අපි යාලු වෙනවා. ඒත් ඉතින් ගෙවිච්ච අවුරුදු ගාන ඇතුලෙ අපි දෙන්න හොඳින් ඉඳියට වඩා කරල තියෙන්නෙ රණ්ඩු වෙන එක”

පවනි එහෙම කතාව කියාගෙන යද්දි සුධාර කිව්වෙත් ඒ වගේම කතාවක්.

“පවනි හැමතිස්සෙම හිතන්නෙ මම ඉන්න ඕන එයාට ඕන විදියට කියල. මනුස්සයෙක්ට හැම දෙයක්ම තව කෙනෙක්ට ඕන විදියට කරන්න පුලුවන්ද? මට කියල නිදහසක් නැද්ද අඳින්නෙ පලඳින්නෙ, කන්නෙ බොන්නෙ ඔක්කොම කරන්න ඕන එයාට ඕන විදියට.

මම ඔන්න හදිසියේ හරි වෙන විදියක් කිව්වොත් ඔන්න යකා නැගල තද වෙලා රණ්ඩු වෙනව. ඇත්ත මට බෑ ඒ වෙලාවට සද්ද නැතුව ඉන්න. කාටද කියන්න තරහ යන්නෙ නැත්තෙ? ඒ උනාට මම එයාට ආදරේ නැතුව නෙවෙයි. මම හරිම ආදරෙයි. ඒත් මට දරාගන්න අමරුයි. මට හරි ඉක්මනට තරහ යනව. පවනිත් ඒක දන්නව.

ඒත් අපි දෙන්නට ඒව අමතකයි රණ්ඩු වෙන්න ගියාම. රණ්ඩු වෙලා ආයෙම ඉක්මනට යාලු වෙන එක ඇත්ත. ඒත් මේ අවූරුදු ගාණක් තිස්සෙ රණ්ඩු වෙලා ඇත්තටම මට දැන් මාරම ස්ට්‍රෙස්.

දැන් මේ පවනි අන්තිමට රණ්ඩු උනෙත් වෙඩින් එකේ පොඩි දේකට. වෙඩින් කේක් දාන බොක්ස් එක වෙනුවට බෑග් එකක් දෙමුද කියල අහපු එකට තමයි රණ්ඩුව පටන් ගත්තෙ”

“දැන් ඔය දෙන්න කොයිතරම් රණ්ඩු උනත් දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයිනෙ. ඉතින් ඇයි ප්‍රශ්නයක් උනාම කතා කරල විසඳගන්න බැරි?”

මම ඒ විදියට අහද්දි පවනිට වගේම සුධාරට කියන්න දෙයක් තිබුනෙ නෑ.

රණ්ඩු වෙන එක ඇරෙන්න එයාලගෙ රණ්ඩු වලට දෙන්න පුලුවන් වෙන හොඳ විසඳුමක් ගැන තමන් කවදාවත් හිතුවෙ නෑ නේද කියල පවනිට වගේම සුධාරට මතක් උනා.

මේ වගේ තත්ත්වයන් අපිට ජීවිතේ ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා. රණ්ඩු සරුවල් වීම ඕනම ආදර සහ විවාහ සබඳතාවයක් තුල අපිට දකින්න ලැබෙනව. ඒක පොදු ලක්ෂණයක් කිව්වොතින් හරි. ඒත් මේ වගේ රණ්ඩු සරුවල් වෙන වෙලාවල් වලදි එක පාර්ශ්වයක් හෝ ඒ වගේ රණ්ඩු සරුවල් වීමක් ඉතාම තදින් හිත රිදවන හෝ මනසට නරක විදියට බලපෑම් කිරිම වලක්වා ගන්න අපට හැකියාව තියෙනව.

අපි ආදරය කරන කෙනා අපි එක්ක රණ්ඩුවට එන්න හදද්දි, එහෙමත් නැත්තම් හිත රිදන විදියට කතා කරද්දි අනෙක් පාර්ශ්වයට පුලුවන් නම් ඒ ආදරයම හේතුවක් කරගෙන ඒ මොහොතේ පොඩ්ඩක් නිහඬව ඉන්න, වෙන වැඩක යෙදෙන්න, සරලවම කිව්වොතින් රණ්ඩු වීම හැකිතාක් අඩුකරගන්න වගේම, අනෙක් පාර්ශ්වයේ කෙනාගෙ කෝපය නිවුනට පස්සෙ එයා එක්ක කතා බහ කරන්න ඒ ඔස්සේ විසඳුමක් සොයා ගන්න, සබඳතාවයක් ඇත්තටම මනසට සුවබර දෙයක් කරගන්න එක අපට අපහසු නෑ.

ඒත් ඒ වගේ විසඳුමකට අපි යොමුවෙන්නෙ ඉතාම අඩුවෙන්.

අන්න ඒ වගේ මොහොතක තමයි උපදේශන සේවයේ වැදගත්කම සහ අවශ්‍යතාවය මතුවෙන්නෙ.

ගොඩක් තරුණ පෙම් යුවලවල් තමන්ගෙ ආදර සබඳතාවය ඇතුලෙ තියෙන ප්‍රශ්න බෙදා හදාගන්නෙ ඒවට විසඳුම් හොයන්නකතා කරන්නෙ තමන්ගෙ යහලුවන්ටනෙ.

තමන්ගෙ ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන නොඉඳ තව කෙනෙක් එක්ක බෙදාගන්න එක ඇත්තටම හොඳයි. ඒත් අපි නිරතුරුවම සැලකිලිමත් විය යුතුයි අපි අපේ මනසට බලපාන ගැටලුවක් බෙදා හදාගන්නෙ සහ ඒකට විසඳුම් සොයා බලන්නෙ කාත් එක්කද කියන එක.

මේ වගේ ගැටලුවකදි පාර්ශ්වයකන් දෙකම වෙන වෙනම තමන්ගෙ යහලුවන් සමග තමන්ගෙ ප්‍රශ්න බෙදා ගැනීමෙන් විසඳුම් ලබාගන්න පුලුවන්. ඒත් කතාව අහන පුද්ගලයා දන්නෙ කතාවෙ එක කොටසක් විතරයි. එතකොට ලැබෙන උත්තරේ එහෙම නැතිනම් විසඳුම සම්පූර්ණ විසඳුමක් නෙවෙයි.

ඉතින් නිරතුරුවම මතක තියාගන්න උපදේශන සහය ලබා ගැනීමේදි ඇත්තටම ඔබට විශ්වාසය තැබිය හැකි, ඒ වගේම දෙපාර්ශ්වයේම කතාව අසා බලා විසඳුම් ලබා දෙන කෙනෙක් සමග ගැටලුව බෙදාගන්න.

ඒ වගේම අමතක කරන්න එපා.

ආදර සබඳතාවයක් කියන්නෙ මොන රණ්ඩුව උනත් ඉවසගෙන ඉස්සරහට ගෙනියන්න ඕන දෙයක් නෙවෙයි.

ආදරේ කියන්නෙ තමන් විසින් අනෙකාගේ හිතේ සැනසීමත්, අනෙකා විසින් තමන්ගේ හිතේ සැනසීමත් වැදගත් කර සලකන සුන්දර බැඳීමක්.

ඉතින් ඒ හිතේ සැනසීම රැඳෙන තුරා ආදරය සහ සබඳතාවය සුරක්ෂිත බව අමතක කරන්න එපා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here