නිපුනි සිරීවර්ධන කියන්නේ සෝෂල් මීඩියාවල හැමෝම නියම බිරිඳක් කියලා උදාහරණයට ගන්න චරිතයක්. “නිපුනි වගේ ගෑනියෙක් තමයි ඕන පිරිමියෙක්ට ලැබෙන්න ඕන” කියලා නිපුනිගෙ හස්බන්ඩ් වෙච්ච තරුන්ගෙ යාලුවො එහෙමත් සෙට් වුනාම කතාකරනවා.
මොකෝ නිපුනි ඒ තරං හස්බන්ඩ්ට සපෝර්ටිව්, මාරම විදියට ආදරේ කරන ගෑනියෙක්.
මහත්තයා යාළුවෝ එක්ක ට්‍රිප් යන්න ඇහුවත් අනේ යන්න පැටියෝ කියනවා, එයා කැමති නැති ෆිල්ම් එකක් බලන්න හැදුවත් ඔයා ආස නම් එච්චරයි කියලා හිනාවෙලා බලනවා.
මහත්තයා ගෙදර හැඩි කරලා තිබ්බත් වචනයක් නොකියා ඒක අස් කරනවා. නිපුනි වගේ කෙල්ලෙක් බඳින්න පින් කරන්න ඕනේ කියලා තමයි හැමෝම කිව්වේ. නිපුනිත් හිතුවේ තමන් කරන්නේ ලොකු කැපකිරීමක්, ඒක තමයි ආදරේ කියලා.
හැබැයි දන්නවාද? අවුරුදු දෙකක් යද්දී නිපුනිට තමන්වම එපා වුණා. එයාට හිතුණේ එයා නිකන්ම නිකන් රොබෝ කෙනෙක් විතරයි කියලා.
ඔය නිපුනිට වුණු දේම ඔයාගෙ සම්බන්ධෙ ඇතුලෙත් ඔයාට වෙලා තියෙනවාද?
ආදරේ නාමයෙන් පාට්නර්ව සතුටු කරන්න ගිහින් “ඕනෑම දේකට හා” කියන්න පුරුදු වෙලා, අන්තිමට ඔයාගේම නිදහස, ඔයාගේ ආසාවන්, ඔයාගේ යාළුවෝ මේ හැමදේම එයා වෙනුවෙන් අයින් කරලාද ඉන්නේ?
එහෙනම් මතක තියාගන්න, ඕකට කියන්නෙ ආදරේ නෙවෙයි. ඕක තමන්වම නැති කරගන්න විදියෙ දෙයක්.
ගොඩක් දෙනෙක් හිතන්නේ සම්බන්ධතාවයකට ආවාම තමන්ගේ පුද්ගලික සීමාවන් කියන ඒවා අකුලාගෙන වහලා දාන්න ඕනේ කියලා.
“අපි දෙන්නා දැන් එක්කෙනෙක්නෙ, ඉතින් මොන සීමාවල්ද?” කියලා හිතන අය ඕනෑතරම්.
හැබැයි මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවොත්, තමන්ට කියලා පැහැදිලි සීමාවන් නැති සම්බන්ධතා හරියට වැටක් නැති වත්තක් වගේ.
ඕනෑම කෙනෙකුට ඇවිත් පාගලා, තලලා දාලා යන්න පුළුවන්. සහකරුට තියෙන ආදරේ හින්දා එයා කියන හැම වැරදි දේකටම, එයා ඔයාගේ හිත රිද්දන හැම වෙලාවකම ඔයා නිහඬව ඉන්නවා නම්, එතන වෙන්නේ ආදරේ පෝෂණය වෙන එක නෙවෙයි, ඔයාගේ ආත්මගරුත්වය දවසින් දවස සුන්නද්දූලි වෙලා යන එක විතරයි.
සීමාවන් කියන්නේ ආදරේට බාධාවක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ දෙන්නාට දෙන්නා තව තවත් ගරු කරන්න ඉගෙන ගන්න එක. ඉතින් ඔයාගෙ සම්බන්ධෙත් මේ සීමාවන් ලස්සනට හදාගන්නේ මෙන්න මෙහෙමයි:
“බෑ” කියන්න පුරුදු වෙන්න (Learn to say NO): පාට්නර් කියන හෝ කරන හැමදේටම ඔයාගේ හිත එකඟ වෙන්නේ නැත්නම්, රණ්ඩු වෙන්න බයේ “හා” කියන්න එපා. “ඔයා ඒකට ආස වුණාට, මං ඒ දේට කැමති නෑ පැටියෝ” කියලා ආදරෙන් ඒක කෙලින් කියන්න.
ඔයාගේ පෞද්ගලික කාලය රැකගන්න (Me Time): ආදරේ කළා කියලා 24 පැයම දෙන්නා එකටම ඇලිලා ඉන්න ඕනේ නෑ. ඔයාගේ කැමැත්තන්, ඔයාගේ යාළුවෝ, ඔයාගේ විනෝදාංශ (hobbies) වෙනුවෙන් සතියකට දවසක් හරි වෙන් කරගන්න.
ආත්මගරුත්වයට ඉඩ දෙන්න: සහකරු වුණත් ඔයාට රිදෙන විදිහට කතා කරනවා නම්, හැමෝම ඉස්සරහා ඔයාව පහත් කරලා සිනහවට ලක් කරනවා නම්, “ඔයා මට ඒ විදිහට සලකනවාට මං කැමති නෑ” කියලා එතනම ඔයාගේ සීමාව ලකුණු කරන්න.
ඉතින්, ඔයාලත් “අනේ මං එයාට මාරම ආදරෙයි, ඒ හින්දා එයා කියන ඕනෑම දෙයක් මං ඉවසනවා” කියලා බොරුවට කැපකිරීම් කරන්න යන්න එපා.
තමන්ට ආදරේ නැති, තමන්ගේ ආත්මගරුත්වය රැකගන්න දන්නේ නැති කෙනෙකුට තව කෙනෙක්ට සැබෑවටම ආදරේ කරන්න බෑ.
නිපුනි වගේ රොබෝ කෙනෙක් වෙලා අන්තිමට තමන්වම නැති කරගන්නවාට වඩා, තමන්ගේ සීමාවන් එක්ක හැඩවුණු ලස්සන ආත්මගරුත්වයක් තියෙන කෙල්ලෙක් හෝ කොල්ලෙක් වෙන එක මාරම ගති නේද?











