ඒක Red Flag එකක් කියල ඔයා හිතුවෙම නෑ නේද?

අපි හැමෝම ජීවිතේ එක මොහොතක හරි ආදරය කියන දේ විඳලා තියෙනවා, නැත්නම් විඳවලා තියෙනවා.

 හැබැයි සබඳතාවයක මුල්ම කාලේ කියන්නේ හරිම සුන්දර, හැමදේම පර්ෆෙක්ට් වගේ පේන කාලයක්නේ. 

ඒ දවස්වලට සහකරු හෝ සහකාරිය කරන හැම පුංචි දේකම අපිට පේන්නේ ලොකු ආදරයක්, සැලකිල්ලක් විදියට විතරයි.

 “අනේ එයා මට මාරම ආදරෙයි” කියලා අපි හිතන, මතුපිටින් හරිම Positive නැත්නම් Green Flag එකක් වගේ පේන සමහර හැසිරීම්, ඇතුළාන්තයෙන් අපේ මානසික නිදහස විනාශ කරන්න පුළුවන් භයානක රතු කොඩි (Red Flags) වෙන්න පුළුවන් කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද?

ඉතින් මන් හිතුවා අපි හැමෝම ලෙහෙසියෙන්ම රැවටෙන, ආදරේ නාමයෙන් වහං වෙලා එන ඒ වගේ අපි නොහිතන රතු කොඩි කිහිපයක් ගැන ලියන්න.

ආදරය නිසා, එහෙමත් නැත්නම් “එයා මාව දාලා ගියොත් මම තනිවෙයි” කියන බය නිසා අපි අනන්තවත් මේ වගේ දේවල් සාධාරණීකරණය කරන්න හදනවා.

 අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා මිනිස්සු සබඳතාවලදී ලොකුම වැරදි කරගන්නේ මුල් කාලේ පේන මේ අධික ආදරය නිසා කියලා. මුල් කාලේදී මුලු හිත පුරාම තියෙන්නේ ලස්සන අදහස් වුණාට, මේ නොහිතන රතු කොඩි මඟහැරීම නිසා පස්සෙ කාලෙක මුළු ජීවිතේම සෘණ අදහස්වලින් පිරිලා, මානසිකව වැටිලා, විඳවන්න වෙන ඉඩකඩ ඉතාම වැඩියි.

 අන්න ඒ නිසා තමා මේවා මුලදිම අඳුරගන්න එක වැදගත් වෙන්නේ.

Love Bombing නැත්තම් අධික ලෙස ආදරය වැස්සවීම

කෙනෙක් හම්බවෙලා සති දෙකක්, තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාට අසීමිත විදිහට ආදරය පෙන්වනවා, “ඔයා තමයි මගේ මුළු ලෝකයම, ඔයා නැතුව මට මැරෙන්න වෙයි” වගේ දේවල් කියනවා. මතුපිටින් බලද්දී අපිට හිතෙන්නේ “අනේ මෙයා මාව මෙච්චර ඉක්මනට තේරුම් ගත්තානේ” කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. සැබෑ ආදරයක්, බැඳීමක් ගොඩනැඟෙන්න සාධාරණ කාලයක් අවශ්‍යයි. මේ වගේ එකපාරටම ආදර වැස්සක් වස්සන්නේ බොහෝ වෙලාවට ඔයාගේ හිත ඉක්මනින්ම දිනාගෙන, සබඳතාවයේ පාලනය තමන්ගේ අතට ගන්නයි.

මේ වෙලාවට අපේ මොලේයි හිතයි වැඩ කරන්නේ මාරම මුරණ්ඩු විදියට.

මොලේ: “ඕක තමා ඇත්ත. සති දෙකෙන් කවුද මෙච්චර ආදරේ කරන්නේ? ඕක බොරුවක්, පොඩ්ඩක් ඉවසලා බලපන්.”

හිත: “අනේ නෑ, එයා මට පණ වුණත් දෙයි. එයා මට විතරයි මෙහෙම කරන්නේ!”

අපි දෙන්නා අතරේ කිසිම රණ්ඩුවක් නෑ

කිසිම ප්‍රශ්නයක්, මතභේදයක් නැති එක කොච්චර හොඳද කියලා අපිට හිතුනට, ඒක සබඳතාවයක තියෙන ලොකුම රතු කොඩියක් වෙන්න පුළුවන්. මොකද මනුෂ්‍යයෝ දෙන්නෙක් එකතු වුණාම අදහස් ගැටීම් ඇති වෙන එක හරිම ස්වභාවිකයි. කිසිම රණ්ඩුවක් නෑ කියන්නේ එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ සැබෑ හැඟීම්, අකමැත්තන් හිත ඇතුළේ හිර කරගෙන ඉන්නවා. නැත්නම් අනෙක් කෙනා අමනාප වෙයි කියන බයට තමන්ගේ මතය කියන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. මේ විදිහට ප්‍රශ්න මඟහැරීම නිසා වෙන්නේ හිත ඇතුළේ කේන්තිය, කලකිරීම පිරිලා දවසක ඒක මහා පිපිරීමකින් කෙළවර වෙන එකයි.

ඕනවට වඩා හොයලා බැලීම (Zero Independence)

එයා නිතරම ඔයාගෙ පස්සෙන්මද? ඕනවට වඩා හොයලා බලනවද? ඒක Red Flag එකක් වෙන්න පුලුවන් කියලා කවදහරි හිතුණද? “අනේ එයා මං ගැන විනාඩියෙන් විනාඩිය හොයලා බලනවා, මට මාරම ආදරෙයි” කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි පැය විසිහතර පුරාම ඔයා කොහේද ඉන්නේ, කා එක්කද ඉන්නේ කියලා හොයන එක, ඔයා යාළුවෙක් එක්ක නැත්නම් පවුලේ අය එක්ක ඉන්න පුංචි වෙලාවටත් දිගට හරහට මැසේජ්, කෝල් කරලා ඒ කාලයත් එයා වෙනුවෙන්ම ඉල්ලන එක ආදරය නෙවෙයි. ඒක එයාගේ හිතේ තියෙන තදබල අනාරක්ෂිතභාවය (Insecurity) සහ ඔයාව පාලනය කරන්න හදන එකේ මුල් පියවරක්. 

ලස්සන සබඳතාවයක දෙන්නෙක් එකතු වුණත්, තමන්ගේම කියලා නිදහස් අවකාශයක් (Personal space) දෙන්නටම තියෙන්න ඕනේ.

මම හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්

ඔයාගේ හැම ප්‍රශ්නයක්ම තමන්ගේ කරට ගෙන, ඔයාව හැම කරදරයකින්ම බේරගන්න “සුපිරි වීරයෙක්” වගේ හැසිරෙන අයත් ඉන්නවා.

 “මම ඉන්නවනේ, ඔයා ඕවා ගැන හිතන්න එපා” කියලා හැමදේම එයාම තීරණය කරනකොට අපිට පුදුම ආරක්ෂාවක් දැනෙන්නේ. හැබැයි මේකේ ඇතුළේ තියෙන්නෙත් ලස්සනට වෙස්වලාගත්ත රතු කොඩියක්. මේකෙන් වෙන්නේ නොදැනීම ඔයා හැම පොඩි දේකටම එයා මතම යැපෙන කෙනෙක් (Codependent) වෙන එක. ඊටත් වඩා භයානක දේ තමයි, ඉස්සරහට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම “මම ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද, ඔයා මට මෙහෙමද කරන්නේ” කියලා ඔයාව මානසිකව වට්ටන්න, වරදකාරී හැඟීමක් ඇති කරන්න (Guilt-tripping) මේ උදව් කිරීම් අන්තිමට ආයුධයක් කරගන්න පුළුවන්.

ඔයාව දේවත්වයෙන් සැලකීම 

තවත් සමහරු ඉන්නවා ඔයාව නිකන් කිසිම වැරැද්දක් නොකරන පරමාදර්ශී කෙනෙක් විදිහට හැමෝම ඉස්සරහා වර්ණනා කරනවා. අපිට ඒක මාරම ගෞරවයක්, ලොකු අගය කිරීමක් වගේ පෙනුනට, එයා ඇත්තටම ආදරය කරන්නේ ඔයාට නෙවෙයි, එයාගේ හිතෙන් මවාගත්ත පරිපූර්ණ චරිතයටයි. හැබැයි අපි කවුරුත් වැරදි අඩුපාඩු සිද්ධ වෙන සාමාන්‍ය මනුෂ්‍යයෝනේ. ඉතින් දවසක ඔයා අතින් පුංචි හෝ වැරදීමක් වුණ ගමන්, එයා මවාගෙන හිටපු ලස්සන රූපය එකපාරටම බිඳලා වැටෙනවා. අන්න එදාට එයාට ඔයා ගැන දරාගන්න බැරි තරම් කේන්තියක්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්.

මෙන්න මේ කරුණු ටික හොඳින් තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ආදරේ නාමයෙන් සිද්ධවෙන රැවටීම්වලින් බේරිලා, ජීවිතේ සතුටින් ඉදිරියට අරන් යන්න. 

මුලින්ම වැඩිපුරම ආදරය කරන්න ඕනේ, සිතන්න ඕනේ තමුන්ගේ මානසික සුවය ගැන. 

වැදගත් වෙන්නේ අපේ වැරදි අඩුපාඩුත් එක්ක, අපේ සැබෑ ස්වභාවයට ආදරය කරන, අපේ නිදහසට ගරු කරන කෙනෙක් ළඟ ඉන්න එකයි.

 ඔබට වගේම මටත්, අපිට වගේම අනිත් අයටත් වැරදි සහකරු හෝ සහකාරිය නිසා විඳවන්න වෙන එක ලොකු වේදනාවක්. 

ඒ නිසා මේ නොහිතන රතු කොඩි ගැන හොඳින් තේරුම් ගෙන කටයුතු කරන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles