(අ)හිමි සිහින -177

සුධාරක දකින්නට යන්නැයි සුධාරකගේ අම්මාට රාජකාරි වාහනයක් ඉල්ලාගෙන තිබුණේ ඒ කාලයේදී.අම්මාගේ ආදරය ඒ වගේ කාලයක දරුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි. පුතා ඉතාම අසීරු කාලයක් ගත කරන මොහොතේ ඇය සුධාරක සමඟ මවක් ලෙස රැඳේවිදැයි මගේ ද විශ්වාසයක් තිබුණා.

මොන පිස්සුද!!

මේ අතිශය අසීරු කාලයේවත් ඇයට එවැන්නක් උවමනා වූයේ නැහැ.ඇය සුදාරක දකින්නට ගොස් තිබුණේ යලට මහටයි.ඔහු වෙතගොස් ඔහුට ඉක්මනින් සුව වෙන්නට ප්‍රාර්ථනා කරනවාට වඩා ඇයට ඒ වාහනයෙන් කරන්නට ඕනෑවටත් වඩා වැඩ තිබී තිබෙනවා.සුදාරකගේ නැගණියගේ දරුවන් ටියුෂන් පන්ති යන්නට පටන් ගත්තේ ඒ වාහනයෙන්.ඒ විතරක් නෙමෙයි ඔවුන් විවිධ ඥාති ගමන් යන්නටත් ඒ වාහනය පාවිච්චි කර තිබුණා.පවුලේ කෙනෙකු අසනීපයෙන් සිටියදී අතිශය සාමාන්‍ය ජීවිත ගෙවීම ඔවුන්ට ඒ තරමට පහසු වුණේ කොහොමද කියලා මම තාමත් හිතනවා.නමුත් එය එසේ සිදුවී තිබුණා.

මගේ වාහනය මගේ පෞද්ගලික වාහනයක්.මට රියදුරෙකු වූ නිසා මම පෞද්ගලික රියදුරන් ලබා ගන්නට කටයුතු කළා.සුදාරක බලන්නට ඉඩ ලැබෙන නොලැබෙන තැන් තිබුණත් මට ඔහු වෙනුවෙන් නිරන්තරයෙන් එහෙ මෙහෙ යන්නට වුවමනා වූ නිසා රියදුරකු අත්‍යවශ්‍ය වුණා.ඒ මොහොතේ මගේ පිහිටට එන්න ඔහුගේ කනිෂ්ඨ නිළධාරීන් අමතක කළේ නැහැ.ඔවුන් නිවාඩු දවස් වලදී මගේ රියදුරු පදවිය වෙනුවෙන් පැමිණියා.සමහර අවස්ථාවලදී ඔවුන් නිවාඩු ලබා ගත්තේ ම මගේ රියදුරා වීම සඳහා. සමහර ගමන් යන්නට නොහැකිව මට කිසිම අපහසුතාවයක් ඇති නොවීමට ඔවුන් වග බලා ගත්තා.තමන්ගේ යැයි සිතෙන මිනිස්සුන්ට වඩා අපට සමීප මිනිසුන් ජීවිතේ  අසීරු කාලයන්හිදී ළඟ සිටින බව මට නැවත නැවතත් තහවුරු වුණා.ඒ තරුණයන් මගේ අම්මාට තාත්තාට පවා අතිශය සමීප අය වූයේ එහෙමයි.

ඒ කාලයේ මගේ මුළු කාලයම මහපාරට වැය වුණා.මම එක්කෝ පන්සලක හෝ දේවාලයක සුදාරක වෙනුවෙන් පූජාවන් පැවැත්වූවා.එසේ නැතිනම් මම හොඳ වෛද්‍යවරයෙක් හෝ වෙද මහතෙකු හමුවීමට ගොස් සුදාරකගේ නවතම තත්ත්වය පවසා කළ හැකි දේ ගැන සාකච්ඡා කළා.එසේ නොමැතිනම් ඔහු ඔය සිටින තැනින්  හොඳ රෝහලක් වෙත ගෙන යාමට හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බලය හිමි අයෙකු මුණ ගැසීමට උත්සාහ කළා.

“උඹ කොහොමහරි දිනුවා නේද?”

අසීරු මොහොතක් ගෙවමින් සිටි මට හදිසියේ සිනහවක් පහළ වූ අවස්ථාවක් ලෙස මේ කෙටි පණිවිඩය තවමත් මගේ මතකයේ රැඳී තිබෙනවා.ඒ වෛරය පිරුණු පණිවිඩය මට එව්වෙ සුදාරකගේ නැගණිය.මම සුදාරක බලන්නට යාම ගැන ඔවුන්ගේ සිතේ වූ වෛරය එසේ පිරිමහන්න ට ඇය වගබලාගෙන තිබුණා.

“මම දිල්හානි නෙමෙයි මම අනුරාධා.මට මොනවා හරි දෙයක් වෙන්න ඕනි නම් ඒක මම කොහොමහරි ඉෂ්ට කර ගන්නවා ඒ මගේ විදිය.”

ඇයට යවන්නට මට තිබූ පිළිතුර එය පමණයි.ගැහැනියක ඉතා බියසුළුවීම වෙනුවට ධෛර්යවන්ත වීම තෝරා ගත යුතුමයි.එවිට ඇයට ජීවිතය ඉතා පහසු වන බව මම හොඳින්ම දන්නවා.මගේ ජීවිතයේ පහසු කාල නොතිබූ බව සත්‍යයක්.නමුත් අතිශය අසීරු කාල වල පවා හිස කෙළින් තබා ගෙන ජීවත්වීම මට පහසු වූයේ මා බිය නොහඳුනන ගැහැණියක වූ නිසා.

මේ කාලය වෙද්දී සුදාරකගේ ඥාතීන් අතර දැඩි හිත් අමනාපකම් ඇති වී තිබුණා.ඔවුන්ට අවශ්‍ය වූයේ සුදාරක නිවස අයත් කර ගැනීමයි. නමුත් මේ අනුරාධා සමග එය පහසු වූයේ නැහැ. ඒ සම්බන්ධයෙන් කල කී සමහර දේ නිසා ඔවුන් අතර මතභේදාත්මක  තත්ත්වය නැති වෙමින් තිබූ බව මට ආරංචි වුණා.

බොහෝ ගමන්බිමන් වලදී සහ දුරකතන ඇමතුම් වලදී මම ජංගම දුරකථනයේ පටිගත වීම ක්‍රියාත්මක කලා.ඒ නිසා මට ඔවුන් කළ සමහර නිහීන ක්‍රියා සම්බන්ධයෙන් බරපතළ සාක්කි පවා හමු වී තිබෙනවා. ඒවා මම අදටත් සුරක්ෂිතව තබාගෙන සිටින්නේ ජීවිතේ කෙසේ වේදැයි කියන්නට බැරි නිසා.

“ඉස්සරලම පවුලක් හැටියට එකට හිටපල්ලා.එක එකා කොටා ගන්නකොට කොහොමද ලෙඩෙක් ගොඩ දාන්නේ?”

එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉතා අප්‍රසාදයෙන් එසේ ඇසූ හඬපටයක් මා සතුව තවම තිබෙනවා.උන් වහන්සේ එසේ අසන්නේ සුධාරකගේ නංගි කෙනෙක්ගෙන්.

එය සත්‍යයක්.මිනිසෙකු මියැදෙනතුරු ඔහුගේ දේපල අයිති කරගන්නට බලා හිඳින මිනිසුන්ට කිසිම දිනෙක සැනසීමක් ලැබෙන්නේ නෑ

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles