ඒ රෝහල් සයනයේ ඉන්න කාලයේ මං හිතපු කාරණාවක් තිබුණා.මට ඒ වෙනකොට අවුරුදු තිහක්.විවාහයට අවුරුදු හතක්.ඒ අවුරුදු හත පුරාවටම යුතුකම් ඉටු කළා මිසක ආදරය හෝ රැකවරණය මට ලැබුණේම නැහැ.මම ජීවත් වෙන්නේ කාන්තාරයක.ලංකාවේ ලස්සනම නගරය මහනුවර කිව්වට මම අඳුරු ලෝකයක ජීවත් වෙමින් හිටියේ.
“මොකටද මෙහෙම ජීවිතයක්.”
මම හිතන්න පටන් ගත්තා.ඒ වුණත් කළ යුතු මොකක්ද කියන එක මගේ හිතට එකපාරටම ආවේ නැහැ
අම්මාගේ තත්ත්වය ඒ තරම් හොඳ නෑ කියලා මටත් අසංකටත් මහ ගෙදර පදිංචියට ආරාධනා ලැබුණේ ඔය අතරේදී.මහ ගෙදර වාසය කිරීම මගේ ජීවිතය තවත් සංකීර්ණ කරන බව මට වැටහුණා.”ඒ කන්දත් අපේ තමයි,මේ කන්දත් අපේ තමයි” කියලා ඒ පළාත පුරාම හිටියේ නෑදෑයෝ.මහ ගෙදර නිතරම සෙනඟ පිරෙනවා.වෙන එකක් තියා පාරේ යන මිනිස්සු පවා ගෙදරට ගොඩ වෙලා කාලා බීලා යන අවස්ථා ඕනෑතරම්.
“මහ ගෙදරට ගියොත් සදාකාලිකව කුස්සියේ තමයි..”
මගේ හිත මට කෑගහලා කියා සිටින්න පටන් ගත්තා.එහෙම කැමැත්තෙන්ම කුස්සිය බාර ගන්න තිබුණා.ගෘහණියක් විදියට කැපවීමෙන් වැඩ කරන්න තිබුණා.ඒ අසංකත් මට ආදරේ කරානම්.
“ඉන්න බැරිනම් අයින් වෙලා යනවා..”
අසංක එහෙම කියද්දී මට දුකක් දැනුණේ නෑ.ඒත් තීරණයක් ගත යුතු කාලය ඇවිත් කියලා මට හිතුණා.ඒ වෙද්දී අපි අතර නුරුස්නාකම් මත ගැටුම් ඇති වෙන්න පටන් අරගෙන.ඔව් එහෙම වෙන්න එපැයි.කාලයක් තිස්සේ ඈතින් ඉඳගෙන ළඟින් ඉන්නවා වගේ ලෝකෙට පෙන්නීම අවසන් වෙන දවසක් එන්න ඕනෑ.
ඔයාට මේ කසාදයෙන් ලැබුණේ මොනවද? මම මගෙන්ම අහන්න පටන් ගත්තා.ආදරයක් රැකවරණයක් නොදෙන සැමියෙක්,ලිංගික ජීවිතයක් නැති වීම නිසා කවදාවත් සැබෑ නොවන කිරි සිහිනයක්,කිසිම ආර්ථික දියුණුවක නැති වීම නිසා පෙනෙන මානයක නැති දියුණුවක් එක්ක මම තවදුරටත් ඉස්සරහට යන්න ඕනෑද කියලා මම හිතන්න පටන් ගත්තා.
“දික්කසාදය”
ගැලවීමේ මාර්ගය එච්චරයි කියලා මම දන්නවා.ඒත් ඒ මාර්ගයට ගමන් කරන්නේ කොහොමද? බොහොම ආදරයෙන් හැදූ දියණිය රජ මඟුලක් අරන් විවාහ කරලා දුන් අම්මලා ඒ තීරණය කොහොමත් පිළි ගන්නේ නෑ.මම අසනීපෙන් ඉන්න අම්මා අත් හැර යනවා කියලා අසංකගේ නෑයෝ මට සෝලි තියන්නත් පුලුවන්.කොහොමටත් අපි අතර තියන කිසිම ප්‍රශ්නයක් මගේ අම්මලාවත් අසංකගේ නෑයොවත් දැනගෙන හිටියේ නෑ.ඒ නිසා කොහොමටත් දික්කසාදය වගේ බෝම්බයක් එකපාර අත් හරින එක ලේසි දෙයක් නෙවෙයි.
“ඩිවෝස් වෙන්න කලින් තමන්ගේ දෙපයින් හිට ගන්න.”
මගේ හිත ඇතුළෙන් මට අණක් ලැබෙන්න පටන් ගත්තා.කොහොමද එහෙම කරන්න පටන් ගන්නේ? ඒක තමයි ඊළඟ කාරණාව.
“අලුත් දෙයක් පටන් ගන්න..”
ආයේම මට මගෙන්ම නියෝගයක්.
ඉතින් ඒ අලුත් දේ තමයි මා ඔසවා තැබු මාව නිර්මාණය කළේ.මම ඔබේ ළබැඳි අනුරාධා බවට පත් කළේ.මම තෝරා ගත් අලුත් මාර්ගය මාව කිසිම මොහොතක තරම් තනි කළේ නෑ.මගේ ජීවිතය සුධාරක ඇරුණම මට දුන් හොඳම දේවල් දෙකක් තියනවා.ඒ මගේ මේ මාර්ගය.අනිත් දේ මේ ලෝකයේ මට තියන වටිනාම වස්තුව.
අලුත් මාවත කොහොමද තෝරා ගන්නේ? මම හිතන්න පටන් ගත්තා.මොනව වුණත් මහනුවරින් පලා යන්නට හේතුවක් තිබිය යුතුයි.ස්ථාවර වීම සහ පලා යාමට එකට උදව් කරන මාර්ගයක් ගැන මම හිතන්න ගත්තේ අහස පොලොව ගැටලමින්.
ඔව්! මට මාවතක් හමු වුණා.