සැරිසරන්නී -23

ඊළඟ දවස උදා වූයේ මට නම් ප්‍රේමයේ මිහිරි චමත්කාර හැඟීම් ද සමගිනි. නමුත් විනෝද ගමනක් යන්නට කට්ටියට වූ උනන්දුව සහ ප්‍රබෝධය මේ වෙත්දී ක්ෂීණ වී යමින් තිබිණි. සින්දු කියනු දඟලනු වෙනුවට ළමයි හැම කෙනෙක් ම සිය ජංගම දුරකතන වලට මූණු ඔබා ගෙන ද, ඇතැම් අය දුරකතන ජාලයේ සංඥා අඩු වීම ගැන විස්සෝප වෙමින් ද සිටිනු පෙනිණ. මම නම් ඒ වෙනස් වූ පරිසරය හැකි උපරිමයෙන් මනසට ග්‍රහණය කර ගනිමින් සිටියෙමි. 

“අපේ ළමයි ටික නිදිද ඇත්තට…”

කතා බහ අඩු වීම නිසා ආච්චා පිටුපස හැරී බලා ඇසුවා ය.

“ආ…කට්ටියම ෆෝන් වලට මූණු ඔබා ගෙනනෙ…ඕක කරන්න ඉතිං සල්ලි වියදං කරගෙන මෙච්චර දුර එන්න ඕනද ළමයිනේ…ගෙදරට වෙලා ඕක ඔබ ඔබ ඉන්න තිබුණනෙ”

එවර වැඩිහිටි පරපුරේ අවධානය යොමු වූයේ වර්තමාන පරපුර ජංගම දුරකතන හා අන්තර්ජාලය කෙරේ දක්වන්නා වූ නැඹුරුව ගැන ය. 

“අනේ මන්ද රෑ දොළහට එකට බැලුවත් ඔය ෆෝන් එක දිහා බලං ඇති. වැඩේ කියන්නෙ කොච්චර එබුවත් ඕක එපා වෙන්නෙ නැති එකනෙ”

“කන්න බොන්න ඕනත් නෑනෙ අනේ…ඕක දිහා බලං ඉන්නකං බඩගිනි නෑ”

“දවසක් මං බලනව කතා කරන සද්දයක් එනකොට. මේ මහ රෑ. බලනකොට අපේ පුතා කාත් එක්ක හරි කතා කර කර ගේම් ගහනව. මං ඒත් බය වුණා මේ ළමයට මොකක් හරි අසනීපයක් හැදිලද කියල”

“ගෙදර මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑනෙ දැං ඕක නිසා. ඒකනෙ හොඳම වැඩේ”

“අපේ එවුං විතරද දුනුකේ අයියෙ ඔහොම…නැත්තං හැම ළමයෙක්ම දැං මේ වගේද…”

නැන්දා කෙනෙකු තාත්තා ගෙන් එසේ විමසුවේ ඔහු පාසලේදීත් පිටත දීතු වැඩිපුර තරුණ ළමයින් සමග ගැවසෙනා කෙනෙකු නිසා විය යුතු ය. කොහොමටත් යමක් දැන කියා ගන්නට දැනුම් තේරුම් ඇත්තෙකු ලෙස තාත්තා පවුලේ අය අතර ප්‍රකට ය.

“ඔය ඉන්ටනෙට් නිසා වෙලා තියෙන්නෙ මොකද්ද දන්නවද…ගෙදර මිනිස්සු ඈත් ම වෙලා…කිලෝ මීටර් සිය දහස් ගණන් ඈතින් ජීවත් වෙන මිනිස්සුන්ට අපි ලං වෙලා”

තාත්තා ගේ ඒ කතාවට නම් මම රිසි වීමි. ඒ වූ කලී පරම සත්‍යයකි. මුහුණු පොතෙහි සැරිසරත්දී මිනිසුන් ජීවිතය කියා වැළඳ ගෙන ඇත්තේ මොන තරම් ව්‍යාජයක් දැයි මට අනන්තවත් සිතී තිබේ. ගෙදර සිටිනා දෙමාපියන් සුවෙන්ද ළසොවින් ද කියා බොහෝ දෙනෙකු දන්නේ නැත. නමුත් සැතපුම් සිය ගණන් ඈතින් වෙසෙනා මුහුණු පොතේ මිතුරන් ගේ පෞද්ගලික තොරතුරු ඔවුහු මැනවින් දැන සිටිති.

“අපේ මිනිස්සු ඕන දේක නරක ටික තමයි හොඳටම ලං කර ගන්නෙ. අන්න ඒකයි අපේ අවුල. නැත්තං ඉතිං ඉන්ටර්නෙට් එක කියන්නෙ යුනිවර්සිටි එකක් වගේ තැනක්”

මුහුණු පොත තුළ මගේ ක්‍රියාකාරිත්වය තීරණය කරන්නට තාත්තා ගේ දර්ශනය හේතු වූවා කියා මම සිතමි. එයින් මම ජීවිතය සොයන්නට නොයමි. හැබෑ මිත්‍රත්වයක් හොයන්නට ද නො යමි. මිතුරන් සිටිත යුත්තේ සැබෑවට ය. ජීවිතය ඇතුළේ ය. මුහුණු පොතෙහි මිත්‍රත්වයන් ට බොහෝ විට පදනම් වන්නේ තමන් විසින් පළ කරනු ලබන ඡායාරූප හෝ වෙනත් අදහස් වලට දැක්වෙන ප්‍රතිචාර ය කියා මම අවබෝධ කර ගෙන ඇත්තෙමි. ඒවා ට ප්‍රතිචාර දක්වන අය මිතුරන් ය. ප්‍රතිචාර දක්වන තාක් කල් මිතුරන් ය. ප්‍රතිචාර දක්වන්නට වෙනත් අය හමු වූ විට අර මිතුරු කම් නිමා වේ. ඒ ව්‍යාජත්වය නිසා ම බොහෝ විට මට මුහුණු පොත යනු මිතුරන් සොයා යන්නට තැනක් නොවේ.

“අඩු ගානෙ වෙන පලාතකට ආවහම ඒ පරිසරය වෙනස් වෙන විදිහවත් මේ ළමයි ඇස් දෙකෙන් දැක බලා ගන්නෙ නෑනෙ. බස් එකකට නැගල බලන්නකො. දැන් ඉස්සර වගේ කිසි කෙනෙක් වට පිට බල බල යන්නෙ නෑ. ෆෝන් එක දිහා බලන් තමයි යන්නෙ”

වැඩිහිටියන් ගේ චෝදනා නිසා එක එක්කෙනා සිය ජංගම දුරකතන සාක්කු වල බහා ගනිමින් හිස් ඔසවා බලන්නට වූහ. රවීන් ඇසට හසු වෙන මානයක සිටි නිසා මට නම් දුරකතනයක අවශ්‍යතාවයක් වූයේ ම නැත. පෙර දා රාත්‍රියේ සිදුවීම චමත්කා ගේ හෝ වෙනත් කෙනෙකු ගේ ඇසට හසු විණැයි හෝඩුවාවක් හෝ පෙනෙන්නට නොවූ නිසා, හිතට බරක් දැනුණේ ද නැත.

අප ගමන් ගනිමින් සිටියේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනය බලා ය. වන අරණක භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ වසන ඒ ඉමෙහි වූයේ අතට තබා හිතට හෝ හසු කොට ගත නො හැකි විදිහේ ගුප්ත ශාන්තිදායක බවකි. මා නම් අඩියක් තැබූවේ වුව කොළයක් පෑගී හඬක් නැගේවියි බියෙනි. මිනිස් කටහඬින් හා ක්‍රියාකාරකම් වලින් දූෂ්‍ය නොවන තාක් පරිසරය කතා කරන හඬ මොනවට ඇසිය හැකි ය. 

බස් රියෙහි ම බුද්ධංගල ට පිවිසිය හැකි වුණත්, කැමති කෙනෙකුට ඒ කළු ගල තරණය කිරීමේ හැකියාව තිබිණි. කාන්තාවන් සහ ළමයින් ගෙන් බහුතරයක් ද සමහර පිරිමින් ද බසයෙහි යාම තෝරා ගත් අතර මම නම් පයින් ගමන් කිරීමේ දැඩි ආශාවෙන් එමග තෝරා ගතිමි. ඒ තරම් නිස්කලංක වන අරණකට ඊට පෙර මා ඇතුළු වී නොමැත්තෙමි. සියවස් ගණන් පැරණි දැවැන්ත වනස්පතීන් ගෙන් ද, ඒවායේ එතී ඉහළ නැගුණු විවිධාකාර ලතාවන් ගෙන් ද ඝණ වියනක් තනා ඇති බුද්ධංගල වන අරණ, අඳුරු ගුහාවක ගුප්ත බව ද හිරු එළියෙන් රැකුණු ස්වභාවික වායු සමීකරණයක සිසිල ද දරා ගෙන සිටියේ ය. 

අපේ කණ්ඩායමේ අය ඒ ගුප්ත බව විඳිමින් ද බිඳිමින් ද කතා බහේ යෙදෙමින් ගමන් කරන්නට වූහ. ඒ මිනිස් හඬවල් මේ වෙලාවේ මගේ දැහැනට බාධාවක් සේ දැනුණෙන් මම මඳක් පමා වීමි. සැබවින් වන අරණ තුළට ඇවිද යාම පවා මට භාවනාවක් සරි වූයේ ය.

“සක්මන් භාවනාවද…”

මා සමීප වන තුරු මඟ නතර වී සිටි රවීන් මුදු මඳහසකින් විමසී ය. සිතෙහි වූ සමාධිය රැක ගනු වස් මා සිනහ වූයේ පවා යන්තම් දෙතොල් තද කර ගෙන ය.

“අනේ මන්දා. මෙහෙ නතර වෙයිද කියලත් හිතෙනව. ගෑනු ළමයට ගිහි ජීවිතේ ගැන ආසාවක් නැති වෙලා භාවනානුයෝගී වෙන්න හිතිලද..”

රවීන් ගේ හඬ මේ පරිසරයේ හඬත් එක්ක මැනවින් ගැලපුණ මුණිවර ස්වරයක් වූයේ ය. මම මුළුමනින් විවර කළ නෙතින් ඔහු දෙස බැලුවෙමි.

“ගිහි ජීවිතේක ඉඳගෙනත් සාර්ථකව භාවනා කරපු ගෑනු අය ඉතිහාසයෙ හිටිය නේද…මාර්ග ඵල පවා ලබපු අය…විශාකා සුජාතා වගේ…මං කියවල තියෙනව…සෙක්ස් කිරීම පවා භාවනාවක් වගේ විඳින්න පුළුවන් කියල. වැදගත් වෙන්නෙ මේ සන්සුන් සමාධියෙ රස හොයා ගන්න එක”

රවීන් මදෙස බැලුවේ විශ්මිත දෑසකිනි. 

“මං හිතුවට වඩා ඔයා ජීවිතේ ගැඹුරක් දකින කෙනෙක්”

“ගැඹුර දකිනකොට ජීවිතේ සැහැල්ලුව විඳින්න ලේසියි”

“අපිට පුළුවන් වුණොත් එක ජීවිතයක් ගෙවන්න…ඔයා කියන සන්සුන් සමාධිය අපි හොයා ගමු”

මම සන්සුන් තිර දෑසකින් රවීන් දෙස බැලුවෙමි. මා ඔහු සොයා ගත්තේ සසර සැරිසැරීමෙනැයි හදිසියේ ම හිත මුමුණා කීවේ ය. එය අහඹුවක් නොවේ. හදිස්යේ ඔහු ව මා සොයා ගත්තා නොවේ!

“හුඟක් ආත්ම වල අපි එහෙම කරල ඇති”

ඉතාමත් ම හෙමිහිට මම එහෙම මිමිණුවෙමි. රවීන් මගේ අතැඟිලි වලින් අල්ලා ගන්නවා මට දැනිණ. නමුත් භෞතික වශයෙන් ඔහු මගේ අතක් ස්පර්ශ කොට සිටියේ නැත.

සෙනසුනෙහි වැඩ හිටි ස්වාමීන් වහන්සේලා කී ලෙස වනගත ව භාවනා කරන භික්ෂූන් වහන්සේලා දන් වෙනුවෙන් පිණ්ඩපාතයෙහි වඩින්නේ ඉඳහිට ය. වැඩි කාලයක් උන් වහන්සේ ලා භාවනානුයෝගී ව වැඩ සිටිති. මම සිතින් උන්වහන්සේලා දකිනු වස් වනය තුළ සැරිසැරුවෙමි.

“ජීවිතේ මෙච්චර සරල වෙනකොට කොච්චර දේවල් දැනෙනවද නේද…පුරුදු රේස් එකේදි අපි ඒ හැම දේම නැති කර ගන්නව”

ආපසු නවාතැනට එන ගමන් මම මිමිණුවෙමි.

“මේකිට මොනා හරි වෙලාද බං…”

ලොකු අයියා මගේ ඔළුවෙන් අල්ලා හෙලෙව්වේ ය.

“මං බලාගෙන හිටියෙ කීප සැරයක්ම. මේකි නිකං වෙන ලෝකෙකිං ආව හරි වෙන ලෝකෙකට යන්න හරි වගේනෙ බං”

අපේ නංගී කෙකර ගානා විලාශයනින් සිනාසුණා ය.

“මේ ලෝකෙමත් වෙන වෙන ලෝක ඕන තරං ලොකයියෙ”

“අම්මත බොල…ඒ ගමන බණත් කියනවනෙ. විකාර නැතුව හිටපං ආ…අපි මේ බලං ඉන්නෙ උඹ තද බුවෙක් කසාද බඳිනකල්…කේක් කෑල්ලක් කන්න”

උතුරා යන්නට වතුර තිබුණ පොකුණකින් හැන්දෑවේ කට්ටිය දිය නා ගත්හ. රෑ වෙත්දී එතැනට අලි එන බව නවාගැනෙහි මුරකරු කලින් ම දැනුම් දුන්නේ ය. ඒ නිසා රෑට සද්ද බද්ද නොකර ඇතුළට වී සිටිය යුතු බව පැවසිණ. එහෙයින් රෑ වෙන්නට පෙර සින්දුවක් කිව යුතු යයි කොල්ලෝ ඉක්මන් තීරණයක් ගත්හ. අප නවාතැන ඉදිරියේ වූයේ විශාල කළු ගල් තලාව ය. ඈතට යන්නට ගල උස් ව නැගේ. ආරණ්‍ය සේනාසනය වන්නේ ඒ ගලට අනිත් පැත්තේ ය. ළමයි ටික සිය වාද්‍ය භාණ්ඩ ද ගෙන ගල් තලාවට වූහ.

“ඕව ගහන්න බෑ. දැක්කනෙ…කැලේ හාමුදුරුවො භාවනා කරනව. මෙතන බජව් දාන්න තරං අපි මෝඩ වෙන්න හොඳ නෑ”

තාත්තා වහා අනතුරු ඇඟෙව්වේ ය. පවුලේ සියලු ළමයි මූණිච්චාවට හෝ තාත්තා ට බය ය. ඇතැම් විට එය ගෞරවයක් වන්නට පුළුවන. මේ ළමයින් අතරින් තාත්තා ගෙන් අකුරක් නූගත් කෙනෙකු ඇත්තේ නැත.

“ඩොල්කි ගහන්නැතුව සින්දුවක් කිව්වට කමක් නෑනෙ දුනුකේ මාමෙ..”

“වැඩි සද්ද බද්ද නැතුව හෙමිහිට සින්දුවක් කිව්වට කමක් නෑ ඉතිං”

ලොකු අයියා ජෝතිපාලයන් ගේ ටජ් මහලක් ගීය ගයන්නට පටන් ගත්තේ ය. නැන්දා කෙනෙකු සාදා ගෙන ආ සව් දොදොල් බෙදුවා ය. ඒ ගීය නිම වූ පසු ඔහු රවීන් ට සින්දුවක් කියනා ලෙස ඇරයුම් කළේ ය. ඔහු ගයනු මින් පෙර අසා නැති නිසා කවුරුත් ඒ යෝජනාව සම්මත කළහ. විශේෂයෙන් ම චමත්කා ට එය ඉටු කරවා ගැනීමේ ලොකු උවමනාවක් විය. නමුත් රවීන් ප්‍රතික්ෂේප කළේ ය. එවිට ලොකු අයියා ඔහු ට බල කොට සිටියේ ය. අන්තිමට වැඩි දෙනෙකු ගේ ඉල්ලීම පිළිගන්නට ඔහු ට සිදු විය.

“ඉරබටු තරුව වුණා නම් ඔබ මට

විඳ දරා ගන්න හැකි කළුවර

පිටු පා යන්න ගියාවේ පුර හඳ

එක තරුවක් ඇති මගෙ අහසට…”

මා එහඬින් ගල් ගැසී ගියා ය කීවොත් නිවැරදි ය. බුද්ධංගල වනයේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා ගේ දැහැනට වුව ඒ මුණිවර හඬ බාධාවක් නොවෙතැයි මට සිතිණ. කපුගේ ශූරීන් ගේ හඬෙහි වන ශෝකාලාපය නො වෙනස් ව රවීන් ගේ ස්වරයෙහි ද විය.

“දොස් කියන්නෙපා වසන්තයට

අප දමා යළිත් නො එන්න ගිය

කටු පොකුර දෙන්න මගේ අතට

මල් පිපෙන තුරා ඉන්නම් මම”

“අයියෝ….මොකද්ද අප්ප…අපි දන්න සින්දුවක් කියන්නකො”

චමත්කා මැද්දෙන් පැන්නා ය.

“කෑව කෑව. දැම්මනෙ මැද්දෙන් ගොං ඇඩ් එකක්”

මල්ලී කෙනෙකු කෑ ගැසුවේ ය. ඒ මැද්දෙන් රවීන් ගේ හඬ මට ඇසිණ.

“පර මලක දෙතොල් වල හිනාව

අමතක වුණාට වසන්තයට

දුර ඈත ඉඳන් අහසේ ඔබ

මට හිනා වෙන්න රෑ තනියම”

“මරු මරු. කපුගේ ගෙ සින්දුවක් තරං මේ වගේ පරිසරේකට ගැලපෙන්නෙ වෙන මොනාද ඉතිං…”

තාත්තා රවීන් ගේ උරහිසකට තට්ටුවක් දමා කීවේ ය. රවීන් වහා හිඳ උන් ගල් කුට්ටිය මතින් නැගී සිටියේ ය. මගේ දෙතොල් මත වූයේ වසන්තයේ පිපුණ මලක සිනහවකි.

“මාත් කැමති ගායකයෙක් තමයි. සින්දු කියන්නෙ ඕවනෙ අප්ප”

“කොහොමත් රවීන් පුතාට තියෙන්නෙ දුනුකේ ගෙ ගති තමයි”

ආච්චා කීවේ කොහේ සිට දැයි නො දනිමි. නමුත් මගේ කන් අඩි සිසාරා ඒ හඬ ඇසුණේ ය. මම නෙතු ද මුව ද අයා බලා සිටියෙමි. 

“හරි හරි වහගන්නව දැං ඔය පොකට් කට”

මගේ කනට කොට මිමිණුවේ නංගී ය. තිගැස්සී ගිහින් මම ඇදෙස බැලුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles