හසරැලි වැස්සේ -30

“ඔලුව අවුල් වෙලාද හසරැලි..”

ඔහු දුරකථනය විසන්ධි කර දමා පණිවිඩයක් එවී ය.එය එසේ වී අවසන් ය.ඔහු මගේ හිත සහමුලින් ම අවුල් කර දමා ඇත.

ආදරය අතරමඟ අතැර යන යෞවනයන් ද ආදරයේ නාමයෙන් ප්‍රේමවන්තියන් රවටන ආදරවන්තයන් ගැනද මම අප්‍රමාණව අසා ඇත්තෙමි.ඒවා මිනිසෙකු අතින් සිදුවිය හැකි වැරදි බව මම විශ්වාස කරමි. ඕනෑම කතාවකට දෙපැත්තක් තිබිය හැකි බැවින් ඒවා සිදු විය හැකි දේවල් ය.

“කවුරුහරි ගෑනු ළමයෙක් මට ආදරෙයි කියල මට එයාට ආදරේ කරන්න බෑනම් එයා මගේ තේරීම නෙවේනම් මම ඒකට ඒ ළමයට සොරි කියනවා.මාව තෝරාගන්න හිතුවට තෑන්ක්ස් කරනවා..”

සචිර අයියා එසේ කීවේ ය.

“ඔයාට ආදරේ කරන්න බෑ නම් දෙනෙත් ඇයි ඔයාට විශේෂත්වයක් පෙන්නුවේ.ඔයාගේ හිතුවිලි එයාට නොතේරුණා නෙවෙයිනෙ.ඒ ළමයා මෙහෙ ආවම හැසිරුණු විදියෙන් ඒක මටත් තේරුණා.ඔයාගේ කැමැත්ත වැඩි වෙන විදියටයි එයා හැසිරෙන්න ගත්තේ..”

එක්තරා මොහොතක වේදනාව උසුලා ගන්නටම නොහැකි වී මම්මාගේ උකුල මත හිස තබා වැළපෙද්දී ඈ එසේ කීවා ය.

දෙනෙත්! ඒ සැබෑ සත්‍යය ය.ආදරය කළ තරමටම මම ඔබට වෛර කරන්නේ ද ඔබේ ආත්ම ගරුත්වය විනාශ කරන සැලසුම් සකසන්නේ ද එනිසා ය.

ඔබ මගේ හැඟීම් වටහා ගත්තේ ය.ඒවා වර්ධනය වන ලෙස හැසිරුණේ ය.වචනයෙන් අයිතිය නොපැවසූ නමුත් මට ආදරය කරන බව හඟවමින් හැසිරුණේ ය.අන්තිමේදී මම ආදරය ප්‍රකාශ කළෙමි.ඔබ එය ප්‍රතික්ෂේප කළේ ය.

“ඔය ක්‍රෂ් කියන සීන් එකේ අවුල ඕකයි.සමහර වෙලාවට සෙලිබ්‍රිටිලා පවා ඔය ආතල් එක දෙනවා..තමන්ට කෙනෙක් කැමති කියලා දැන ගන්න එකම මාරම ආතල් එකක්.හැබැයි ඔහොම මිනිස්සු කැමති පස්ස රත් කරගෙන කාගේ හරි පස්සෙන් ගිහින් ඒ කෙල්ල යාලු කරගන්න මිසක් තමන් ගැන ආදරෙන් ඉන්න මනුස්සයෙක්ට ළං වෙන්න නෙවේ..”

නිර්මාණි අක්කා මා සනසන්නට එසේ කීවා ය.අනතුරුව මා නොදන්නා කතාවක් ද පැවසී ය

“අපේ කැම්පස් එකේ ගර්ල් කෙනෙක් හසරැල්ට මාරම මාර කැමැත්තෙන් හිටියා.ඇත්තටම ආදරෙත් කරා.හැබැයි එතකොට මමයි හසරැලුයි කතා කරන්න පටන් අරන්..”

අයියා තවත් යුවතියකට දුන් ගින්දරකින් මා දැවෙන්නේදැයි මට හදිසි සැකයක් හට ගත්තේ ය.

“ඒ ළමයට හසරැල් කිසිම මොහොතක ළං වුණේ නෑ.පුලුවන් තරන් ඈතින් හිටියා.එක ගෘප් ප්‍රොජෙක්ට් එකකදී හසරැල් හිතලම හරිම ආත්මාර්ථකාමී විදියට වැඩ කරල තිබ්බා.මූණෙ තියන ලස්සන හසරැල්ගේ හිතේ නෑ කියලා ඒ ළමයා ක්‍රෂ් එක නවත්තගෙන..මං ගැනත් තාම දුක් වෙනවා..”

හදෙහි උපදින ආදරය දිනෙන් දින වර්ධනය වීම වළක්වන්නට අයියා කළ රඟපෑම ගැන මට ඇති වූයේ ආදරයකි.ඒ ඔහු ය.නමුත් ඔහුගේ මිතුරා එසේ නොවේ.

“තමුන්ට පිස්සු වුණාට මට අදාළ නෑ. මම දැන් ඔහේ එනවා..ආන්ටිට කතා කරනවා..”

මා නැවත පියවි ලෝකයට ආවේ ඒ වචන නිසා ය.ඒ වචන මා උස්සා පොළොවේ ගසන්නට සමත් විණ.මා ගැන එතරමට දරුණු චෝදනාවක් අම්මාට පැමිණි පසු ඈ හැසිරෙන අන්දම ගැන අනුමාන කරන්නට පවා මට ඇති වූයේ බියකි.අම්මා අනිවාර්යයෙන් පරල වන බවත් කෙළවරක් නැති බැනුම් සහ අපවාද මා සියදිවි නසා ගන්නා මට්ටමකට ගෙන එන බවත් මට සහතික විණ.

මම ඔරලෝසුව දෙස බැලූයෙමි.වෙලාව හවස හතර ය.මේ වෙලාවේ අම්මා නිවසේ නොවේ.නමුත් දෙනෙත් එද්දී ඇය වෙහෙසින් පීඩිතව නිවසට පැමිණ සිටින බව මම දනිමි.යුද්ධයක් ආරම්භ කළ ද එයට මුහුණ දිය හැකි තරමේ ආයුධ මා සතු නොවන බව මට දැනිණ.මම දනිපනි ගා ඇඳුමක් හැඳ ගතිමි.යන්නේ කොහේදැයි කරන්නේ මොනවාදැයි කියා පසුව සිතන්නට මම තීරණය කළෙමි.

“කොහෙද පුතේ යන්නේ?”

අම්මා තරමට මට නීති නොදමන මම්මා මා වෙත ආවේ මගේ කලබලය දැකීමෙනි.

“ලයිබ්‍රි එකට පොත් බාර දෙන්න තියෙන්නෙ අද මම්මා..මට අමතක වෙලා..”

මම කටට ආ බොරුව එළියට දැමූයෙමි.අර තරමේ විශාල මුසාවක් ඇද බෑමෙන් පසු මට මෙවැනි කතා දැන් සරල සාමාන්‍ය ඒවා ය.

“හෙට උදේ යන්න පුතේ..හවසට බස් වල සෙනඟ..”

මම්මා එසේ කියමින් මා සමඟ ගේට්ටුව දක්වා පසු ගමන් ආවා ය.පුස්තකාලයට යන්නටත් එන්නටත් ටැක්සියක් ගන්නට මා අත මුදල් තැබුවා ය.

මම හැරී ඈ දෙස බැලීමි.මම්මා,සමහරවිට අපි යළි කිසි දිනෙක මුණ නොගැසෙනු ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles