පිනි සේල – 18

මලිඳු මහත් සැහැල්ලුවෙන් අම්මා සමඟ කියවමින් සිටියේ ය. අපේ ගෙදර පිරිමි දරුවෙකු සිටියා නම් මෙවැනි සැහැල්ලු දසුනක් විරල නොවනු ඇතැයි හිතට දැනෙද්දී මට අඬන්නට ඕනෑ විය. එහෙත් අමාරු සිනාවක් සොයා ඔහුට විසි කරගැනීම මට අසීරු වූයේ ද නැත.

“ඔයාලා එක්ක එන්නත් තිබ්බා.. පස්සෙ මතක් වුණේ..”

මා හදිසියේ ආවාට ලොකු කතන්දර කී ඔහු දැන් කියන්නේ එහෙම කතාවකි. මම පිළිතුරු නැතුව තාවර වූයෙමි.

ගමේ ඕපාදූප අම්මා සමඟ රහ කරමින් කියවන මලිඳු ගැන වටහා ගන්නට නොහැකිව මම තේ හදන්නට සිතුවෙමි.ඊෂා ද සිටියේ අවදි ව ය. අයියලා පැමිණ ඇත්දැයි බලන්නට ප්‍රථම මලිඳු ආ ආරංචිය මා නොසන්සුන් කර තිබිණ. තේ හදන්නට කේතලය ගෑස් ලිප මත තබා එහි නිල් පැහැ ගිනි දළු මත දෑස් අලවා ගත් මා සිතුවේ මලිඳුගේ වෙනස ගැන ම ය. සැබෑවටම අමෝද අයියා කියන ලෙස මගේ හැඟීම් ඔහු ඉදිරියේ දිග හැරීම නරකදැයි සිතා බලන්නට මට ඕනෑ විය.

“අපිටත් තේ ඕනෑ…”

මුළුතැන්ගෙයි දොර ළඟ හිඳ කෑගැසූයේ දිනුක ය. හිස හරවා බලද්දී ඔහු පිටුපසින් අමෝද අයියාගේ දිලිහෙන ඇස් දුටු මට මලිඳු ගැන මොහොතකට අමතක ව ගියේ ය.

“මේ ඉන්නේ අපේ මලිඳු…”

දිනුක අමෝද අයියාට මලිඳුව හඳුන්වා දෙමින් ම මලිඳු අසලින් ම මේසයෙන් හිඳ ගත්තේ ය.

“ආන්ටිට මේසයක් ගන්න වෙයි මං හිතන්නේ.. මේ නාකි බබ්බුන්ට ඉඳ ගන්න තැන් නැද්ද..”

කඳුකරයේ සීතල නිසා ජර්සියක් ද පටලා ගත් ඊෂා අප වෙත ආවේ එසේ කියා ගෙන ය. හිනාවක් ඉහිර ගිය ද අමෝද අයියා එතරම් සුහද බවක් නැති මුහුණකින් දුරකථනය ඔබමින් සිටියේ ය. ඔහු තිවංකි ගැන හිතමින් ලතැවෙන බවට සැක නැත. තේ හැදීම පසෙක තබා කෝපි හදන්නට මට හදිසි සිතිවිල්ලක් පහළ විය. අමෝද අයියා වඩා ප්‍රිය කරන්නේ කෝපි වලට බව ඊෂාගේ අම්මා නිතර කියන්නකි. අපේ ගස්වල වැවෙන කෝපි කුඩු කර අම්මා කෝපි කුඩු සාදා ගන්නී ය. ඒවා නිවස ම සුවඳින් පුරවන්නට සමත් ය. ඒ සුවඳ මුළුතැන්ගෙයි පැතිරෙන විට මා අමෝද අයියා දෙස බැලුවේ නෙත් කොනින් ය. ඔහු වචනයකින් වත් හවුල් නොවූ මුත් මලිඳුගේත් දිනුකගේත් සංවාදයට සවන් යොමාගෙන ය.

“පිනී… මං කෝපි බොන් නෑනේ..”

කෝපි සුවඳට ඉව ඇල්ලූ මලිඳු කියද්දී මට මහා දුකක් දැනෙන්නට විය. ඔහු බොන්නට කැමති වැඩි කහට තේ ය. එය මතක තබාගෙන ඔහු එන හැම විටම තේ හදන මට අද අමෝද අයියා අංක එක බවට පත් වී ඔහු අමතකව යාම ගැන මට ලැජ්ජාවක් දැනෙන්නට විය. ඔහුව හිතෙන් මැකෙන මොහොතක් නැත. නමුත් මට ඔහුගේ කැමති ම දේ අමතක ව ගොස් ඇත.

“පිනී ඒක දන් නෑ කියන්නේ හරි පුදුමයක්.. වෙන්ඩ බැරිම වැඩක්..”

ඊෂා අම්මා සිටින බවවත් නොසිතා මෝඩ කතාවක් කීවා ය. මම ඇයට රැවුමක් පා කළෙමි.

“වෙන්න බෑ තමයි. පිනීට ඉතිං එයාගේ චොයිසස් අමතක වුණත් යාලුවෝ අමතක වෙන් නෑනෙ…”

දිනුක මා ගලවා ගන්නට විගස ඉදිරිපත් විය. ඊෂා සිනා සඟවා ඉවත බලා ගත්තා ය.

“හැබැයි පිනීට මං කැමතිම කෝපි කියලා මතක තිබුණා.. “

අමෝද අයියා පුටුවෙන් නැගිට ආවේ එසේ කියන අතරේ ය. මා බැලුවේ ඔහු දෙස නොවේ. මලිඳු දෙස යම් ඔහුගේ මුහුණ ලා අඳුරකින් අවලස්සන වෙමින් තිබිණ.

“අම්මා දන්නවද දන් නෑ.. අපේ ගෙදර තේ හදන ළමයා තමයි පිනී.. අපේ අම්මා විමලටවත් නොදී නංගිට කියලා තේයි කෝපියි හදා ගන්නේ හරි රසයි කියලා…”

ඔහු කෝපි කෝප්පය අතට ගත්තේ එහෙම කියාගෙන ය.

“දැන් වෙන්නේ මොකක්ද දන්නවද..මගෙ පුංචි එකීගෙන් මුං වැඩ ගන්නවා කියලා ආන්ටි පිනීව ආයේ බෝඩිමකට යවනවා.. අයියටත් කට තියන් ඉන්නම බෑ..” ඊෂා එසේ කියාගෙන ඇගේ කෝප්පය ද දිනුකගේ කෝප්පය ද දෙඅතට ගත්තා ය.

තේ කෝප්පය මලිඳුට දෙන අතර මා කල්පනා කළේ අන් සියල්ලන් ම හිනැහෙන ඒ විහිළුව ගැන නොවේ.

අමෝද අයියා, ඔහු අපේ අම්මාට අම්මා කීවේ ය. මගේ දෙසවන් හි දෝෂයක් නැති නම් එය එසේ ඇසුණු බව සහතික ය. ඔහු වැනි නාගරික කොල්ලෙකු මිතුරියකගේ අම්මා කෙනෙකුට අම්මා යැයි කීම අමුතු ය. ඇත්තටම අමුතු ය.

තේ පානයෙන් පසු ඊෂාත් දිනුකත් මොකක්දෝ කියැවිල්ලක ට මලිඳුව ඈඳා ගෙන මුළුතැන්ගෙයින් පිට විය. කෝපි කෝප්පය ද රැගෙන පිටතට ගොස් සිටි අමෝද අයියා නැවත මුළුතැන්ගෙයට ආවේ ඔවුන් මඟ හැරදැයි මට සැක ය. ඉඳි ආප්ප මිරිකමින් සිටි අම්මා වෙත සමීප වූ ඔහු අම්මාට ඇමතුවේ වැඩි කලබලයකින් තොරව ය.

“අම්මා.. අපි ෆාම් එක බලන්න ගියා. ඇත්තටම මං ආවෙම බිස්නස් අයිඩියා එකක් ඔලුවෙ තියාගෙන. නංගිලගෙ තාත්තා අමාරුවෙන් හදා ගත්තු ෆාම් එක මට සල්ලි වලට ඉල්ලන්න බෑ. අම්මගෙ අකමැත්තක් නැත්නම් මට ෆාම් එක බද්දට ගන්න පුලුවන් ද? අම්මා ඒකට අකමැති නම්, පිනී ඔයාට මගේ බිස්නස් පාට්නර් වෙන්න වෙනවා…”

ඔහු මෙතරම් සමීප වන්නට යත්න දැරීම පිටුපස අපේ ගොවිපොළ ඇති බවට මට හදිසි සිතුවිල්ලක් පහළ විය. එය මුදල් උපයන්නට භාවිතා කරන්නේ කෙසේදැයි ඔහුට සැලසුමක් ඇතිවාට සැක නැත. මිනිසුන් සබඳතා ගොඩ නඟා ගන්නේ වාසිය ට ය. මේ හිතවත්කමත් එවැන්නක් බවට සැක නැත.

මගේ හිත මට එසේ සිතන්නට බල කරද්දී අම්මාගේ පිළිතුර කුමක්දැයි අමෝද අයියා අපේක්ෂා සහගතව බලා සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles