නෑනලා

නිරෝෂා තමන් ආදරෙන් රැක බලාගන්න රෝස පැල ටික දිහා බැලුවේ ආසාවෙන්. හෙට අනිද්දා වෙනකොට පිපෙන්න ආසන්න වෙලා තිබුන රෝස පොහොට්ටු කිහිපයෙන් ඇස් අහකට ගන්න නිරෝෂාට ලෝබ හිතුනා. ඒත් ඇයට වැඩි වෙලාවක් ඒ විදිහට රෝස පැළ ටික දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ.ඇය දැක්කේ ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුළු වුණ තමන්ගේ නෑනා උන කෝකිලාව

” මොකද නිරෝෂා මල් පැල ටික දිහා බලාගෙන හිනාවෙන්නේ ? පිස්සුද ? ” 

කෝකිලා ඇහුවේ සුපුරුදු විදිහටම හිනාවක් වත් නැතුව 

” බලන්නකෝ අක්කේ මල් පිපෙන්න ළඟයි.මට ආසාවෙ බෑ ” 

නිරෝෂා ආයෙමත් රෝස පැල ටික දිහා බැලුවා 

” මල් ගස් වලට සාත්තු කරන්න තියෙන උනන්දුව දරුවෙක් මල්ලෙක් හදාගන්නත් තිබුනනං තමයි හොඳ. යං යං ගෙට. මට තිබහයි. කොහෙද ඉතින් ගෙදරට ආපු මනුස්සයෙකුට ගෙට ගොඩවෙන්න කියන්නවත් ඔයාට මතක් වෙනවද මේ ගස් වලට විරිත්ත විරිත්ත ඉන්නවා මිසක් ” 

එක දිගටම එල්ල වුණ වාග් ප්‍රහාරයේ සැර වැඩි කමට නිරෝෂාගේ ඇස් වලට කඳුළු පිරුණා. ඇය ඉතාම ආයාසයෙන් ඒ කඳුළු හංගගෙන කෝකිලාගේ පස්සෙන් ගිහින් ගෙට ගොඩවෙලා කුස්සියට ආවා

” ආ.නිරෝෂා ? ඇත්තටම ඔයා ඇයි මේ රස්සාවක්වත් නොකර ගෙදරට වෙලා නිකන් ඉන්නේ ? ” 

කෝකිලා ආයෙමත් අහනවා.

” මාලක කැමති නෑනේ අක්කේ මම ජොබ් එකක් කරනවට. එයා ඒක මැරි කරන්න කලින් ම මට කිව්වා. මම පහුගිය කාලෙත් දෙතුන්පාරක්ම ඇහුවා මොනවා හරි කරන්නද කියලා.ඉගෙන ගත්ත දේවල් අපරාදෙනෙ ” 

නිරෝෂා සීතල වතුර වීදුරුව කෝකිලා ගේ අතේ තිබ්බා.

” මොනවද දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ ? ” 

” මට fashion designing වලට ඩිග්‍රි එකක් තියෙනවා. මම jewellery making ගැනත් ඉගෙන ගෙන තියෙනවා.තව.. කේක් හදන්නත් පුළුවන් .අපේ වෙඩින් එකේ කේක් ඔක්කොම හැදුවෙත් මම නේ ” 

නිරෝෂා කිව්වේ ආසාවෙන්. ඒත් ඒ පිළිතුරු වලින් කෝකිලා සෑහීමකට පත් වෙච්ච බවක් පේන්න තිබුණෙ නැහැ

” ඔයා ජොබ් එකකට යනවා ට අකමැති වෙන්න මල්ලිට වෙන මොකක් හරි හේතුවක් ඇති.මොකද? ඒ කාලේ ඔෆිස් එකක කොල්ලෙක් එක්කවත් සෙට් වෙලා ඉඳලා අහු උනාද ? ” 

කෝකිලා අහපු ප්‍රශ්නය වගේම මූණෙ ඇඳිලා තියෙන හිනාවත් මොනතරම් අශෝභන ද කියලා නිරෝෂා ට හිතුනා

” මම අද වෙනකම් මාලකට වචනෙකින්වත් බොරුවක් කරල නෑ අක්කේ. එයා කියන්නේ එයා ඇති වෙනකන් හම්බ කරන නිසා මම නිකං මහන්සි වෙන්න ඕනෙ නෑ කියලා ” 

” මල්ලි මැරීගෙන රස්සාව කරනකොට ඔයා ගෙදරට වෙලා සැපට ඉන්නව නේද ? අපේ එක්කෙනාගේ වැරදි තමයි ඉතින් මේවා ” 

කෝකිලාගේ කතාව කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්න නිරෝෂාට තවමත් බැරි වුණා.දියණියන් දෙන්නෙක් ඉන්න ගැහැනියක් වෙලත් තවත් ගැහැණියෙකුට මෙහෙම කතා කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා නිරෝෂා තමන්ගේම හිතින් ඇහුවා 

” අක්කා දවල්ට කාලා ම යනවද ? ” 

” අපෝ බෑ. මම ගෙදර උයලා ආවේ. අද මට ඉන්ටවිව් එකක් තිබුණා.අපේ එක්කෙනා හම්බ කරන එක විතරක් මදි දැන් වියදම් වල හැටියට. ඒ නිසා මාත් රස්සාවක් කරන්න කියල බැලුවේ.ඒත් ඉතින් හරි යයිද දන්නෙ නෑ වයසත් එක්ක.ගොඩක් තැන් වලින් හොයන්නේ ගොඩක් තරුණ ළමයින්වනේ.ඕගොල්ලන්ට නම් ඉතින් ඕවා තේරෙන්නේ නැතුව ඇති ” 

නිරෝෂා කලින් දවසේ හදපු චොකලට් කේක් එකෙන් කෑලි කිහිපයක් කපල පාර්සල් කලා.

” ආ අක්කේ.මේක දුවලා දෙන්නට දෙන්න ” 

නිරෝෂා කේක් පාර්සලය කෝකිලාට දිගු කලේ ඊළඟට ඇය මොකක් කියයිද කියලා හිත හිත

” හොඳ සුවඳට තියෙනවා.ඔයාද හැදුවේ ?” 

කෝකිලා පාර්සලය අත් බෑගයට ඔබා ගත්තේ එහෙම අහන ගමන්.

” ඔව් අක්කේ. මාලක ආස නිසා හැදුවා ” 

කෝකිලා පිටත් වෙලා ගියාට පස්සේ නිරෝෂා  තනිවම කල්පනා කළේ කාගෙවත් හොඳක් දකින්නේ නැති තමන්ගේ නෑනා ගැනයි.ඇය කියපු හිත රිදෙන වචන මාලක එක්ක නොකියා ඉන්න නිරෝෂා හැම වෙලාවෙම පරිස්සම් වුනා.

” ඔයා මොකක් හරි අවුලක් ඉන්නෙ නිරෝෂා ? ” 

මාලක ඇහුවේ රෑ කෑම කන ගමන් 

” එහෙමමත් නෑ මාලක.ඒත් මට දවල් වරුවට  ගෙවෙන කාලේ නිකං අපරාදේ කියලා හිතනවා. ගෙදර වැඩ ටික ඉවර කළාට පස්සෙ පොතක් බලන එක ටීවී එක බලන එක ඇරුනම ලොකු වැඩක් මට නැහැ නේ” 

නිරෝෂා එහෙම කියනකොට මාලක නිහඬව ටික වෙලාවක් කල්පනා කළා

” කොහෙවත් යන්නෙ නැතුව ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් තියෙනවද ඔයාට ? මොකද උදේ හවස යන ජොබ් එකක් කරන්න ගියාම මහන්සි වැඩියි නිරෝෂා ඔයාට.ඊට පස්සේ ගෙදර වැඩ, මාව මග ඇරෙනවා.නැති ප්‍රශ්න ඇති වෙනවා.ඔයාට තේරෙනවද මම කියන දේ? ඔයා හිතන්න එපා මම ඔයාව ගේ අස්සට හිර කරලා තියෙනවා කියලා “

” හ්ම්.. මට ඕනෙනම් පොඩියට ඔය ඇඳුම් ඩිසයින් කරන , මහන බිස්නස් එකක් වගේ කරන්න පුළුවන්. ඒ අතර කේක් හදන්නත් පුළුවන්නේ  ” 

නිරෝෂා කිව්වෙ බැරිම තැන 

” එහෙනම් අපි ඒ වැඩ ටිකක් පටන් ගමු. ඔයාට ඒව පටන් ගන්න ඕන කරන බඩු ටික අපි මේ වීක් එන්ඩ් එකේ අර ගමු ” 

එහෙම පොරොන්දුවක් දීපු මාලක ඒක ඉටු කරන්නත් අමතක කලේ නෑ. ඉතාම කෙටි කාලයක් ඇතුලත තමන් ආසම කරන දේවල් වල නිරත වෙච්ච නිරෝෂාට ඊට පස්සේ දවල් වරුවට කරන්න ඕන තරම් වැඩ තිබුනා.මොන වැඩේ කලත් ගෙදර වැඩ මග නොහැර ගන්නත් නිරෝෂා වග බලා ගත්තා.

” අපෙ කෙල්ලො දෙන්නට එක වගේ ගවුම් දෙකක් මහලා දෙන්න පුළුවන් ද නිරෝෂා ? ” 

දවසක් හවස් වරුවෙ දියණියන් දෙන්නා එක්ක ගෙට ගොඩවුන කෝකිලා ඇහුවේ වාඩි වෙන්නත් කලින්

” අනේ පුළුවන් අක්කේ. මේ දෙන්නව එක්කන් ආව එකත් හොඳයි  ” 

” මං රෙදි ගෙනත් දෙන්නම්.හැබැයි ඉතින් මැහුම් කුලී දෙන්න නම් සල්ලි නෑ.රෙදිත් ඔය කොහෙන් හරි බලලා අඩුවට ගන්න ඕන ” 

එහෙම කිව්ව කෝකිලා ඊට පස්සෙත් කිහිප වතාවක්ම ඇඳුම් මහගන්න නිරෝෂා ව හොයන් ආවා.ඒ හැම වෙලාවකදීම නිරෝෂා බොහොම කැමැත්තෙන් ඒවා නිම කරලා දුන්නේ කෝකිලාගෙ හිත රිදෙන වචන අමතක කරලා දාලා

” අපරාදේ නිරෝෂා . ඔයාට මේ වැඩ පටන් ගන්න තිබුන කලින්.මම ඒ ගැන එච්චර හිතුවේ නෑ නේ “

මාලක දවසක් එහෙම කිව්වේ පසුතැවීමෙන් වගේ. ඒ තමන් ආස දේවල් වල නිරත වෙන්න ඉඩදීපු සැමියාගෙ හිත රිදවන්න නිරෝෂාට ඕන වුණේ නැහැ 

” අයියෝ දැන් ඕක අමතක කරලා දාන්න මාලක. ඒක නෙමෙයි. මේ , අපෙ මල්ලිගේ වෙඩින් එකට අම්මලා දින බලලා ” 

” මරුනේ.එහෙනම් දැන් ඒකටත් ලෑස්ති වෙන්න වෙයි නේද? අපි මේ සතියේ ගෙදර ගිහිල්ලා අපේ අතින් මොන හරි කරන්න තියෙනවා නම් බලලා කරමු නිරෝෂා .මල්ලි අපේ වෙඩින් එකටත් සෑහෙන්න මහන්සි උනා නේ ” 

මාලක එහෙම කියද්දි නිරෝෂා ට දැනුනෙ සතුටක්

” ඔව් මාලක.ඒක නං ඇත්ත. එයාලා කැමති නම් ශානිගේ ඇඳුම් ටික මං කරලා දෙන්න හිතන් ඉන්නේ ” 

” ඒක නම් හොඳ අදහසක්. එහෙනම් අපි මෙහෙම කරමු නිරෝෂා. ශානි නංගිගේ ඇඳුම් ටික අපේ වියදමින් කරලා දෙමු.ඔයාට පුළුවන්නෙ ඉතිං මහන්න.ඒ නිසා අපට වියදම් වෙන්නේ රෙදි වලට විතරයි ” 

මාලකගේ අදහස නිරෝෂා  පිළිගත්තේ ගොඩක් සතුටින්.ඒ අදහසට නිරෝෂාගේ ගෙදර අයත් ගොඩක් සතුටු උන නිසා තමන්ගෙ නෑනා වෙන්න ඉන්න ශානිගේ මංගල ඇඳුම් වල වගකීම නිරෝෂා බාර ගත්තා

” අක්කලා මාව බලන්න අපේ ගෙදර ආව දවසෙ ඇත්තටම මම හිතුවේ අක්කා ගොඩක් නපුරු කෙනෙක් කියලා ” 

ශානි එහෙම කිව්වේ ඇඳුම් වලට අවශ්‍ය මිමි දෙන්න නිරෝෂා ගේ ගෙදර ආව වෙලාවක

” ආ.. මම නපුරු පාටයි ද ? ” 

නිරෝෂා ඇහුවේ හිනා වෙවී

” අනේ නෑ. අක්කා වැඩිය කතා කලේ නැති නිසා මට එහෙම හිතුනා.මම එහෙම හිතපු එක සම්පුර්ණයෙන්ම වැරදියි කියලා මට හිතුනේ මගේ ඇඳුම් ඔක්කොම කරන්න අක්කා භාර ගත්තා කියලා හසිත කිව්ව වෙලාවේ ” 

අවශ්‍ය මිමි අරගෙන පොතේ සටහන් කරගත්ත නිරෝෂා ,ශානි දිහා බැලුවේ ආදරෙන්

” නංගි, ඔයත් තව පවුලක හැදුන දුවෙක්.කාගෙහරි සහෝදරියක්.එහෙම ඔයා පවුලෙන් ඈත් වෙලා අපේ පවුලට එකතු වෙනකොට ඔයාට අපේ පවුලෙම කෙනෙකුට වගේ සලකන එක අපේ යුතුකමක්. අනික, මට ඕන ඔයාට නෑනා කෙනෙක් වෙන්න නෙමෙයි , ඔයාගෙම අක්කා කෙනෙක් වෙන්න. එහෙම උනාමයි බැඳීම් තවත් ලස්සන වෙන්නේ වගේම අපේ පවුල ඔයාට සුව පහසු තැනක් වෙන්නෙත්  ” 

එහෙම කියනකොට ශානිගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳෙන හැටි දැක්ක නිරෝශා කල්පනා කලේ තමන්ගේ නෑනා උන කෝකිලාගේ හිත රිදෙන වචන ගැන.කවදාවත් ශානිට නම් ඒ විදියට සලකන නපුරු නෑනා කෙනෙක් වෙන්නෙ නෑ කියලා නිරෝශා තමන්ටම පොරොන්දු උනේ ඒ නිසාමයි.

More Stories

Don't Miss


Latest Articles