ප්‍රේමයේ අභිමන් -03

ඉරිදා දවල් වන තුරු ම සසංක නිදා ගත්තේ ය. සෙනසුරාදා රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග මී විත පිරූ නිසාවෙන් ඒ නින්ද කොහොමටත් අවැසි ව තිබිණ. අපරාජිතා සූදානම් ව පහළට එත්දීත් පහල මහලේ ගෙහිමි දොරවල් වැසී තිබිණ. නමුත් රථ ගාලේ රිය නතර ව තිබි නිසා ඔවුන් පිට ව ගොස් නැති බව ඇය තත්පරයකටත් අඩු කාලයක දී ප්‍රත්‍යක්ෂ කොට එය සිතින් අත්හැර දැමුවා ය. 

අපරාජිතා ගියේ ඇය නිදහස් ලේඛිකාවක ලෙස කටයුතු කරන එෆ් එම් නාලිකාවට ය. වසර කිහිපයක් තිස්සේ ම ඇය එහි වැඩසටහන් වල පසුබිම් ලීවා ය. නාට්‍ය රචනා කළා ය. කියන ඕනෑ ම දෙයක් ලීවා ය. එසේ කළේ ඇතැම් විට ආත්ම තෘප්තියක් වෙනුවෙන් ම නොව මුදල් වෙනුවෙනි. අරවින්ද ගේ මුදල් මත පැවතීම හිතට මහා වදයක් සේ දැනෙන්නට පටන් ගත් කාලයේ මිතුරෙකුගේ සම්බන්ධයක් මත ඇය මේ එෆ් එම් නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා දැන හැඳින ගත්තේ ය. වඩා වැදගත් වූයේ එහි නිදහස් ලේඛිකාවක ලෙස කටයුතු කළ හැකි වීමයි. මේ ගැන අරවින්ද දැඩි සේ විරෝධය පෑව ද අපරාජිතා අවස්ථාව අහිමි කර ගත්තේ නැත.

“තමුසෙට ඕන නටන්න. මිනිහෙක් ළමයෙක් ගෙයක් දොරක් නෙවෙයි තමුසෙට දැන් ඕන වෙලා තියෙන්නෙ..නටන්න”

ඒ චෝදනාව අපරාජිතා ගේ කම්මුල හරහා එල්ල කරන ලද දැඩි පහරක් වී ද ඉන් ඈ දරුණු රිදුම් හා මානසික තුවාල ලැබී ද ඕ දිගට ම සිය හිතුවක්කාර මතයෙහි පිහිටා සිටියා ය. එදා මෝඩ ගැහැනියක වී ඒ අවස්ථාව අහිමි කර ගත්තා නම් අද හිඟන්නියක ලෙස කාගේ හෝ පිහිට පතන්නට වෙනවා නොවේ දැයි දැන් ඇය ට සිතෙයි.

එෆ් එම් නාලිකාවේ සියලු දේවල් ලියැවුණේ තිරය පිටුපස ය. එහිදී ඇගේ නමට ප්‍රචාරයක් ලැබීම කිසි සේත් නො සිදු විය. ලියන හැම අකුරකට ම මුදලින් වටිනාකමක් ලැබුණා පමණකි. නමුත් අපරාජිතා ට එහි ගැටළුවක් නොවී ය. ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය ඇය ට අවැසි නොවූ නිසාවෙනි. අනිත් අතට ඒ සියලු වාණිජ ලියවිලි ඇගේ හදවතේ ප්‍රකාශනයන් නොවූ නිසාවෙනි. නාලිකාවට අවැසි දේ ලියා දෙන කුළියට ලියන්නියක ලෙස පමණක් ඇය කටයුතු කළා ය. අපරාජිතා සිය හදවත විවර කළේ පත්තර පිටු වල ය. එද ඇගේ නමින් නොව ‘නිර්ණාමික ලියන්නී’ යන අන්වර්ථ නාමයෙනි. නිර්ණාමික ලියන්නී ලෙස බ්ලොග් එකක් ද ඇය විසින් නඩත්තු කරන ලදී. නමුත් එහි යමක් ලියවුණේ යලට මහට ඇගේ හදවතට යමක් ප්‍රකාශ කරන්නට තදින් අවැසි වූ විට පමණකි. විරෝධාකල්ප පුවත් පත් වලට, ඇය අසාධාරණයට එරෙහි ව යම් යම් දේ කුරුටු ගෑවා ය.

නිර්ණාමික ලියන්නී ගේ කවි කැබලි සසංක විදානගමගේ ගේ නෙත ගැටුණේ ඒ බ්ලොග් එක නිසාවෙනි. ඉඳහිට ඇගේ ලියවිල්ලක් පත්තර පිටුවක තීරු ලිපියක් ලෙස ද කියවා ඔහු හදවත කම්පිත කර ගත්තේ ය. නමුත් මේ නිර්ණාමික ලියන්නිය කිසි දා සජීවී ව ඔහු ඉදිරියේ පෙනී සිට හෝ වෙනත් වක්‍ර මාර්ගයකින් ඈ ගැන ඉඟියක් ලැබී හෝ නැත.

දවල් වී අවදි වූ සසංක, පිටුපස මිදුලේ වන කුණු බාල්දිය දුටුවේ ය. අලුතෙන් එතැනට පැමිණ සිටි එය මතු මහළේ කුළී කරුවන් ගේ එකක් විය යුතු යයි ඔහු වහා නිගමනය කළේ ය. සසංක ගේ හිසට ආරූඩ වූයේ කෝපයකි. ඔහු එහෙමම බහළට නැගෙනා පිය ගැට පෙළ දිගේ ගොස් එහි දොරට ගැසුවේ ය.

“එක්ස්කියුස් මී…හෙලෝ…එක්ස්කියුස් මී…”

කිහිප වර තට්ටු කළ ද හාවක් හ්ම්වක් වූයේ නැත. හෙතෙම දිව ගෙන වාගේ පඩි පෙළ බැස විත් සිය ජංගම දුරකතනයෙන් ඇනෙක්ස් එකේ ගැනුම්කාරියට ඇමතුමක් ගත්තේ ය..

“මේ පහළ කුණු ගොඩවල් ගහන්නනං බෑ. කරුණාකරල ඒක උඩට අරන් යන්න”

අපරාජිතා ට යක්ෂයා ආරූඩ විය.

“මොකක්…”

“ඔයාලගෙ කුණු උඩ තියාගෙන කුණු ට්‍රැක්ටරේ ආවහම දෙන්න.  රෙන්ට් එකට දීල තියෙන්නෙ උඩ විතරයි. පහල කුණු දාන්න බෑ”

“එතකොට කුණු ට්‍රැක්ටරේ එනකල් ගඳ ගගහ කුණු බාල්දිය උඩින් තියන් ඉන්න කියලද කියන්නෙ…”

“ඔව්. මෙච්චර කල් වුණේ එහෙම තමයි”

“මිස්ටර් විදානගමගේ. මෙච්චර කල් එහෙම වුණා වෙන්න පුළුවන්. හැබැයි මටනං බෑ කුණු ගොඩක් ගේ ඇතුළෙ තියං ඉන්න. අනිත් එක පිටිපස්සෙ ඕනතරං ඉඩ තියෙන්නෙ. ඔය බකට් එක තිබ්බ කියල ගෙවෙනවද…හරිම අන්ෆෙයානෙ මේ කතා. රෙන්ට් එකට ඉන්න මිනිස්සුත් මනුස්සයො. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට”

“මිසිස් රත්මල්ගොඩ..මන්දන්නෑ මිසිස්ද මිස්ද කියල..වට්එවර්…කරුණාකරල ඔයාලගෙ දේවල් උඩ තියා ගන්න. පහල යූස් කරන්න බෑ. එහෙම බැරිනං මං කී මනී  රිටර්න් කරන්නං. ප්ලීස් වෙන තැනක් හොයා ගන්න”

“මේක මාර කතාවක්නෙ”

නමුත් ඇය එසේ කියනවා අසන්නට ඔහු පමා වෙවී හිටියේ නැත. සසංක එහෙම ම කුණු බාල්දිය ගෙනැවිත් පඩිපෙළ මතින් තබා ගියේ තනිව ම මුමුණා බණිමිනි. 

ඔහු පිරිසිඳුකම ගැන වද වූ තරුණයෙකි. වයස්ගත මිනිසෙකු සතියකට වරක් ගෙන්වා ගෙන  වත්ත පිටිය සුද්ද කරවී ය. නිතර තණකොළ උදලු ගාන්නට වීම වලකනු පිණිස මිදුලට ඉන්ටර්ලොක් ගල් ඇල්ලවූයේ ය. ජනේල වල හා බිම ටයිල් මත කුණු දුහුවිලි තිබීම ඔහු රිස්සුවේ නැත. ඒ බව පිරිසිඳු කිරීම් කටයුතු වල එන තැනැත්තා මැනවින් දැන සිටියෙන් ඔහු දුහුවිලි පිස දමා බිම මොප් කළේ ය. සසංක ගේ පිළිවෙලට තබා ගත්තේ ය. යමක් ගත්තොත් අදාල තැනින් තැබීමේ පුරුද්දක් ඔහු ට තිබිණ. ඒ නිසා ගෙතුල නිතර හැඩි වූයේ නැත. අපරාජිතා ගේ කසල බඳුන දුටු විට ඔහු නොසන්සුන් වූයේ මේ පිරිසිඳුකම හා පිළිවෙල නිසා ය.

“පිස්සු මිනිහෙක්”

අපරාජිතා තනිව බැණ වැදුණා ය. 

“දෙයියංගෙ නාමෙට ගෙවල් අයිතිකාරයත් එක්ක රණ්ඩු වෙන්න යන්නැතුව ඉන්නව. බලන්න ගිය ගෙවල් ගාන මතකයිනෙ. ඒ හුඟක් ඒව ගෙවල් නෙවෙයි නිකං බලු කූඩු වගේ. මේ වගේ තැනක් ආයෙ හොයා ගන්න බෑ කියන එක මතක තියාගෙන ඔය පොඩි පොඩි දේවල් වල එල්ලෙන්න යන්නැතුව ඉන්නව”

දේශිකා ව මුණගැසී විස්තරය කී විට ඇය කල්පනාකාරී උපදෙසක් ලබා දුන්නා ය. අපරාජිතා ඒ ගැන සතුටු වූයේ නැත.

“ඒ වුණාට මේ වගේ අසාධාරණකම් වලට කට පියා ගෙන හිටියහම…”

“කට අරින්න ගියොත් වෙන්නෙ ඔතනිං යන්න. අපිට සිස්ටම් චේන්ජ් කරන්න බෑ අපූ. අපි අජෙස් වෙන එකයි කරන්න වෙන්නෙ”

“ඔක්කොම එවුං ඔහොම හිතන නිසා තමයි මේ රටට හෙණ ගැහිල ගිහිං තියෙන්නෙ”

“ඒක තමයි කියන්නෙ. තමුසෙ මිනිහ හදන්න ගියා. හැදුනද..පවුල කැඩුන එක විතරයි වුණේ. රට හදන්න ගියත් ඔච්චරයි බං. අපි වාෂ්ප වෙනකල් අපිම දන්නෑ”

අපරාජිතා මූණ එල්ලා ගෙන දෙහි යුෂ වීදුරුව බිඳ බිඳ තොල ගෑවා ය. දේශිකා කියන්නේ ප්‍රායෝගික සත්‍ය බව ඇය දනී. නමුත් ලෝකයෙහි පවත්නා අසාධාරණකම් දැක දැක නො දැක්කා සේ ඉන්නා විට අපරාජිතා නළියයි. ඇය මුලින් ම ඒ අරගලය ඇරඹුවේ සිය වෛවාහක නිවස තුළිනි. සැමියා ට එරෙහිව ය. හැකි හැම විට ම ඈ සිය පෑන ද ඒ වෙනුවෙන් මෙහෙයවූවා ය. නමුත් මේ කුඩා රටේ මිනිසුන් ගේ මනස වෙනස් කිරීම ඉතා අසීරු බව ඇය දැන සිටියා ය. 

කඩෙන් කෑම ද බීර කෑන් එකක් හා ජින්ජර් බියර එකක් ද මිලදී ගෙන ඔවුහු උඩහමුල්ලේ ජය පාරේ උඩු මහලට පැමිණියහ. බීර කෑන් එක දේශිකා වෙනුවෙනි. කොයි තරම් රැඩිකල් ලෙස සිතුවා වී ද අපරාජිතා සැර බීම බොන්නට බිය වූවා ය. ඇයට එවැනි දේක අවශ්‍යතාවයක් දැනුණේ ම නැත.

“ඇල්කොහොල් නැතුවට මට පුළුවන් මත් වෙන්න මං ආස සින්දුවකින්. පොතකින්. ෆිල්ම් එකකින්. ඒ නැතත් තනියම කල්පනා කර කර වුණත්”

බීර උගුරක් තොල නො ගෑම ගැන දේශිකා විහිළු කරන වෙලාවට අපරාජිතා ඇගේ පැත්ත බේරා ගනු වස් කියන්නේ එසේ ය. ජීවිතය දිග ඇවිද යමින් වෙහෙසට පත් වන, බලාපොරොත්තු සුන් වී ඉච්ඡා භංගත්වයට පත් වන, වයසට යාම හා මරණය ගැන තැතිගැන්මකට ලක් වන මිනිස්සු අවසාන වශයෙන් හෝ තමන් තෘප්ත කිරීමේ මාර්ග සොයති. බොහොමයක් පිරිමින් ට ඇල්කොහොල් සේ ම ගැහැනුන් ට ද ඒ සඳහා ආදේශක සොයා ගෙන තිබේ. රූපවාහිනී ටෙලි නාට්‍ය යනු විකල්ප නොසොයන අසරණ ස්ත්‍රීන් පහසුවෙන් ම නතර වෙන තැන ය. ඒවායේ පෙන්වන සුරංගනා ලෝක ද නොවන නීරස කතා ළඟ ඔවුහු සිය ලෝකය ඉදි කොට ගනිති. මල් වවන්නේ ද පොත් කියවන්නේ ද සිය ආත්මීය හුදෙකලාව දුරු කර ගන්නට මාර්ගයක් සොයමින් බව ඇතැම් විට ඔවුහු නො දැන සිටිති.

“මං දැං බයයි ඉක්මනට දවස් ගෙවෙනවට”

අපරාජිතා ජින්ජර් බියර් උගුරක් බොන ගමන් මඳහසකින් කීවා ය. ඒ මඳහසට යටින් ඉකි ගහන කතාව හැඳින ගනු වස් දේශිකා ඇදෙස හොඳින් බැලුවා ය.

“ඉස්සරහ දවස් හරි හෙමිහිට ගෙවෙන්නයි ඕනෙ. ගෙවිච්ච කාලයත් එක්ක තියෙන්නෙ රිදිච්ච මතකයක් දේශි. ඉස්සරහට තමයි මං කැමති විදිහට ජීවත් වෙන කාලෙ තියෙන්නෙ. ඉක්මනට ඒ ටික ගෙවිල වයසට යයි කියල හිතන්නත් බයයි දැං”

“මගුලක් කතා කරනව. මං මේ බඳින්නෙත් නැතුව ළමයිනුත් නැතුව මේ ඉන්නෙ ඔය මොන භීතිකාවක්වත් නැතුව”

“නොකිව්වට ඔයාගෙ හිත ඇතුලෙ ඒ බය නෑ කියන්න බෑ. සතුටෙන් ඉන්නව සැහැල්ලුවෙන් ඉන්නව කියල පෙන්නගෙන ඔයා ඔයාගෙන්ම ඒ බය හංගං ඉන්නෙ”

දේශිකා බීර උගුරක්  බීවා ය. ඇය අපරාජිතා ගෙන් ඇස් සඟවා ගැනීමේ උත්සාහයක් දරන්නට ඇත.

“අරවින්දගෙන් මං ආස ජීවිතේ නොලැබෙනකොට…මං කළේ වෙන තැනකින් ඒ හිස්තැන් පුරෝගන්න බලන එක නෙවෙයි. ගේ ඇතුළෙන්ම වෙන මාර්ග හොයන එක. අනන්‍යාව ලෙව කාගෙන හැදුවෙ…හැම මොහොතකම එයා පස්සෙන් ම වැටිල එයා ගැන හොයල බැලුවෙ…ඒ ළමයට තමන් ගැන තමන් බලාගන්න ඕනයි කියන එකත් අමතක වෙන තරමට මං එයාට ලං වෙන්න ඇත්තෙ ඒකයි. ඒකත් එක පිස්සුවක්. දැන් ඒ ඔක්කොම පිස්සු ඉවර වුණාට පස්සෙ…මට ඇත්තටම ජීවත් වෙන්න ඕනෙ. කාලයක් මං ජීවත් වුණේ බොරුවට දේශි”

බීර උගුරක් හෝ නො බීවාට අපරාජිතා කියවන්නේ බීමතින් සේ යි දේශිකා සිතුවා ය. සිය පිරිමි මිතුරන් මී විත පුරත්දී සාමාන්‍ය තත්වයේ දී ට වඩා දොඩමළු වන හැටි ඇය දැක තිබේ. ඒ වෙලාවට ඔවුන් සිය හදවත විවර කරන්නේ කිසිවක් සඟවා තබා නො ගෙන ය. අපරාජිතා ද දැන් ඒ ලෙස ආත්මය වමාරන්නේ ඇයි දැයි මිතුරියට සිතා ගත හැකි වූයේ නැත.

“අරවින්ද මැරි කරන එක ගැන කෙල්ල ශොක්. එයා ඊයෙ මගෙන් අහනව මටත් වෙන කෙනෙක්ව මැරි කරන්න හිතෙයිද කියල…”

අපරාජිතා ගේ දොඩමළුවට හේතුව ඒ පිහි පහර බව දේශිකා වහා හැඳින්නා ය. 

“දික්කසාදෙකට කවදාවත් බෑ දේශි අපිව සම්පූර්ණයෙන් නිදහස් කරන්න. බාගයයි ඒකෙන් නිදහස් වෙන්නෙ”

“දැන් තමුසෙට ආයෙ බඳින්න ඕනද..”

“නෑ. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. බඳින්න මිනිහෙක් ඉන්නත් එපැයි. තාත්ත කෙනෙක්ට වඩා අම්මා කෙනෙක් කොච්චර හිර වෙනවද…තේරුං ගන්න බැරි දුකක් මට දැනෙනව. මන්දා ඒ මොකද්ද කියල. කෙල්ලගෙ අනාගතේට මේව කොහොම බලපායිද කියල හිතෙනකොට…”

“ඕනවට වඩා හිතන්න එපා අපූ”

දේශිකා එසේ කීවේ හදවතින් ම අවංකව ය. යෙහෙළිය ගැන මහා දුකක් ඇය ට දැනෙමින් තිබිණ.

“නිදහස ලැබිච්ච මේ තත්පරයක්වත් වේස්ට් කර ගන්න එපා. ඔයාගෙ ජීවිතේ පටන් ගන්න. පොතක් ලියන්න. ස’වයිව් වෙන්න මල් හිටෙව්ව කවි ලිව්ව වගේ නෙවෙයි…ඔයා වෙනුවෙන් මොනාහරි කරන්න”

“මට නමක් ඕන නෑ”

“නිර්ණාමික ලියන්නී කිව්වම ඔයාව දන්න ලොකු පිරිසකුත් ඉන්නව ඒ වුණාට. රූපෙත් එක්ක ඇත්ත නමත් එක්ක සම්බන්ධයක් හදා ගන්න බැරි වුණාට”

මෝටර් රථයක් පිවිසෙන හඬ ඇසුණේ එතකොටම ය. අපරාජිතා හොඳින් කන් දුන්නා ය. 

“විදානගමගේ කාරය වෙන්න ඕනෙ. මං හොඳවයින් දෙකක් කතා කරනව ඇත්තමයි. දැන් මේ කුණු බකට් එක ට්‍රැක්ටරේ එනකල් මල් පෝච්චියක් වගේ ස්ටෙයාකේස් එක උඩ තියං ඉන්නයැ. ගිහින් තියනව මං උන්දැගෙ සාලෙන්”

“පිස්සුද ආ…”

අපරාජිතා නැගිට ගත්දී දේශිකා තිගැස්මට ලක් වූයේ සිය මිතුරිය එවැන්නක් කරන්නට වුව බැරි නැති බව දන්නා නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...