දිගු ,වෙහෙසකර සහ කාර්යබහුල දිනයකට පසු, ඔබේ මනසට සහ ශරීරයට විවේක ගැනීමට සහ නැවත ශක්තිය ලබා ගැනීමට කාලය ලබා දීම වැදගත් වනවා. බොහෝ දෙනෙක් රැකියාව අවසන් වී නිවසට පැමිණෙන්නේ ආතතියට , වෙහෙසට හෝ මානසිකව පීඩාවට පත්ව සිටින හැඟීමෙනි. විශේෂයෙන් රැකියාව, අධ්‍යයන කටයුතු, පවුලේ වගකීම් සහ පෞද්ගලික ඉලක්ක සමබරව පවත්වා ගෙන යාමට සිදුව තිබෙන විට බොහෝ දෙනා පහසුවෙන් විඩාවට පත් වනවා. අතිශය කාර්යබහුල දිනයක් අවසානය ගත කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න චර්යාවක් නිර්මාණය කර ගැනීමේ සහ එයට හුරු වීමෙන් ඔබේ මනෝභාවය පහසුවෙන් වැඩි දියුණු කරගත හැකි වන අතර ඔබ තුළ ඇති ආතතිය ද අඩු කළ හැකිය.එපමණක් නොව ඊළඟ දිනය සඳහා ඔබට වඩාත් ප්‍රබෝධමත් බවක් දැනිය හැකිය.
රැකියාවෙන් පසු ඔබට කළ හැකි ප්‍රබෝධමත් දේවල් කිහිපයක් ගැනයි මේ ලිපිය.
උණුසුම් වතුර ස්නානය කරන්න
උණුසුම් ස්නානයකින් ඔබට ආතති සහගත බවින් මිදීමට සහ ඔබේ ශරීරය සැහැල්ලුවට පත් කිරීමට හැකියාව ලැබෙනවා. එය ඔබේ ශරීරය ප්‍රබෝධමත් කරමින් මාංශ පේශි ආතතිය ලිහිල් කරනවා මෙන්ම චිත්තවේගීයව ඔබව සන්සුන් භාවයට පත්කරනවා
වෙහෙසකර දවසක් අවසානයේදී උණු වතුරෙන් ස්ථානය කරන අතරතුර සුවඳැති ඉටිපන්දම් භාවිතා කිරීම , මනස සැහැල්ලු කරන මෘදු සංගීත ඛණ්ඩයක් වාදනය කිරීම ආදී දේවල් වලින් ඔබේ මනස තවත් සැහැල්ලු කරමින් විඩාව නිවා ගැනීමට හැකිවනවා.ඒ වගේම මේ ස්නානය කිරීම කෙටි වේලාවකට සීමා නොකර නිදහස්ව සහ සන්සුන්වද කළ යුතුයි.
සවස් කාලයේ ඇවිදින්න
සවස් කාලයේදී කෙටි වේලාවක් ඇවිදීම ඔබේ මානසික සෞඛ්‍ය වෙත යහපත් බලපෑමක් එල්ල කරනවා. එළිමහනේ ඇවිදීම, විශේෂයෙන් සාමකාමී ප්‍රදේශයක හෝ උද්‍යානයක ඇවිදීම, ඔබේ මනස සන්සුන්කර හොඳ වාතාශ්‍රයක් තුළ ඔබේ හුස්ම ගැනීම පහසුකරවීමට ඉඩ සලසනවා.
නැවුම් වාතය සහ මෘදු චලනය රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට, මානසික ආතතිය අඩු කිරීමට සහ ඔබ තුළ ඇති පීඩාකාරී සිතුවිලි ඉවත් කිරීමට උපකාරී වන අතර මිනිත්තු 15-20 ක ඇවිදීමකින් පවා ඔබට සන්සුන් හා ප්‍රබෝධමත් බවක් දැනිය හැකිය.
සංගීතයට සවන් දෙන්න
සංගීතයට ඔබේ මනෝභාවය ඉක්මනින් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.මෘදු සංගීතය, ධ්වනි ගීත, සන්සුන් සංගීත ඛණ්ඩ ඔබේ විවේක ගැනීමේ කාලය තවත් අර්ථවත් කරනවා.
මනස සන්සුන් කර ගැනීම සඳහා සංගීතයට සවන් දීම ඇතැම් විට එකිනෙකාට සාපේක්ෂ වන අතර සමහර අය ඔවුන්ගේ මනෝභාවය වැඩි දියුණු කිරීම සඳහා ජවසම්පන්න සංගීතය රස විඳින අතර තවත් සමහරු විවේක ගැනීමට සන්සුන් තනු වලට කැමැත්තක් දක්වනවා.කෙසේ වෙතත් සංගීතය චිත්තවේගීය ආතතිය මුදා හැරීමට සහ සාමකාමී වාතාවරණයක් නිර්මාණය කිරීමට උපකාරී වන නිසා කාර්යබහුල දිනයක් අවසානයේදී ඔබේ මනස සැහැල්ලු කර ගැනීමට සංගීතය බෙහෙවින් උපකාරී වෙනවා.
සුවපහසු ඇඳුම් වලට මාරු වන්න
ප්‍රබෝධමත් බවක් දැනීමට සරල නමුත් ඵලදායීම ක්‍රමය නම් ඔබ රැකියා ස්ථානයට හැඳ සිටි ඇඳුම් වලින් සුවපහසු සහ සැහැල්ලු ඇඳුම් වලට මාරු වීමයි. සුවපහසු ඇඳුම් ඔබේ ශරීරය සහ මනස “වැඩ කිරීමේ මානසිකත්වයේ ” සිට “විවේක ගැනීමේ මානසිකත්වයට” මාරු කිරීමට උපකාරී වෙනවා.
විශේෂයෙන්ම අතිශය කාර්ය බහුල දිනයක් අවසානයේදී මෙම කුඩා පුරුද්ද ඔබ තුළ සහනයක් සහ සැනසීමක් ඇති කරවනවා.
ප්‍රබෝධමත් යමක් බොන්න
වැඩ කිරීමෙන් පසු ඔබව සජලනය කර ගැනීම අතිශයින්ම වැදගත් වනවා. තේ කෝප්පයක්, කෝපි කෝප්පයක්, නැවුම් පලතුරු යුෂ, ඖෂධීය පානයක් හෝ ලෙමන් සමඟ සීතල වතුර පවා ඔබේ ශරීරය ප්‍රබෝධමත් කිරීමට උපකාරී වනවා.
හරිත තේ හෝ කැමෝමයිල් තේ වැනි උණුසුම් පාන වර්ග ඔබේ ස්නායු සන්සුන් කිරීමට සහ ස්වභාවිකව ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර අධික වෙහෙසකර දිනයක් අවසානයේදී නින්දට යාමට පැය කිහිපයකට පෙර එවැනි පානයක් ලබා ගන්නවා නම් සන්සුන් නින්දක් ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඩිජිටල් තිරවලින් ඈත්ව කාලය ගත කරන්න
දවස පුරා පරිගණක හෝ දුරකථන දෙස බලා සිටීමෙන් පසු, ඔබේ ඇස් වලට සහ මොළයට විවේකයක් අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය වනවා. එම නිසා රැකියාවෙන් පසුව නිවසට පැමිණ අවම වශයෙන් මිනිත්තු 30 ක හෝ පැයක කාලයක් වත් ඩිජිටල් තිරවලින් විවේකයක් ගැනීම මානසික වෙහෙස අඩු කිරීමට උපකාරී වනවා.
ඔබේ විවේක වේලාවේදී ඩිජිටල් තිර භාවිතා කරනවා වෙනුවට පොතක් කියවීම ,දිනපොත් ලිවීම හෝ ඔබේ පවුලේ අය ,මිතුරෙකු සමග හෝ හිතවතෙකු සමඟ ඔබේ දිනය බෙදා ගැනීමට උත්සාහ කරන්න.
සැහැල්ලු සහ මෘදු ව්‍යායාම කරන්න
රැකියාවෙන් පසු ඔබට සැමවිටම දැඩි ව්‍යායාමයක් අවශ්‍ය වන්නේ නැහැ.ඒ වෙනුවට මෘදු ව්‍යායාමයක හෝ යෝගා අභ්‍යාසයක නිරත වීමෙන් දවස පුරා ඔබේ ශරීරය තුළ ගොඩනැගී ඇති ශාරීරික ආතතිය මුදා හැරීමට උපකාරී වනවා. එපමණක් නොව එය නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරනවා
ආශ්වාදජනක දෙයක් කියවන්න
කියවීම ඔබේ මනස ආතතියෙන් මිදීමට සහ ධනාත්මක දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනවා.ඒ සඳහා ඔබට නවකතා, අභිප්‍රේරණ ලිපි, ස්වයං රැකවරණ පොත් හෝ කෙටි කවි කියවිය හැකිය. සෑම සවසකම පිටු කිහිපයක් කියවීම ඔබේ මානසිකත්වය වැඩි දියුණු කරන සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී පුරුද්දක් බවට පත් කර ගැනීමෙන් ඔබට ඔබේ මනසේ ඇති කලබලකාරී ගතිය ඉක්මනින් පහකර ගැනීමට හැකියාව ලැබෙනවා.
පවුලේ අය හෝ සුරතල් සතුන් සමඟ කාලය ගත කරන්න
පවුලේ සාමාජිකයන් සමඟ කතා කිරීම, දරුවන් සමඟ සෙල්ලම් කිරීම හෝ සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීම අතිශය කාර්යබහුල සහ පීඩාකාරී දිනකට පසු ඔබට චිත්තවේගීය සැනසීමක් ගෙන දිය හැකියි.
සරල සංවාද, සිනහව හෝ ආදරණීය අවස්ථාවන් තනිකම සහ ආතතිය පිළිබඳ හැඟීම් අඩු කිරීමට උපකාරී වන අතර ඔබේ විවේක කාලය වඩාත් ඵලදායි කරවනවා.
විනෝදාංශයක් සඳහා හුරු වන්න
ඔබ සැබවින්ම භුක්ති විඳින සහ සතුටට පත්වන කාර්යක නිරතත වීමෙන් වෙහෙසකාරී බවෙන් මිදී ප්‍රබෝධමත් බවක් ලබා ගත හැකියි. ලිවීම, චිත්‍ර ඇඳීම , ආහාර සැකසීම , ගෙවතු වගාව හෝ ඡායාරූපකරණය වැනි විනෝදාංශ ඔබට නිර්මාණශීලීව ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ සලසනවා.
ජීවිතය යනු රැකියාව සහ වගකීම් පමණක් නොවන බව ඔබට මතක් කර දෙමින් විනෝදාංශ ජීවිතයේ සමබරතාවයක් ඇති කිරීමට ද උපකාරී වනවා.
නිහඬ වේලාවක් හෝ භාවනාවක් පුහුණු වන්න
සමහර විට වඩාත්ම ප්‍රබෝධමත් සහ සන්සුන්දායකම දෙය වන්නේ මිනිත්තු කිහිපයක් නිහඬව වාඩි වී සිටීමයි. ගැඹුරු හුස්ම ගැනීම හෝ භාවනාව ඔබේ සිතුවිලි සන්සුන් කර චිත්තවේගීය ආතතිය අඩු කළ හැකියි. නිහඬ අවස්ථාවන් ඔබට ඔබ සමඟ නැවත සම්බන්ධ වීමට සහ චිත්තවේගීය වශයෙන් සමබර බවක් දැනීමට උපකාරී වන අතර ගෙවී අවසන් වූ දවස පිළිබඳව මෙනෙහි කිරීමට ද ඔබට ලැබෙන හොඳ අවස්ථාවක්.
හෙට සඳහා සන්සුන්ව සූදානම් වන්න
ඔබේ ඇඳුම්, බෑගය, ආහාර හෝ ඊළඟ දිනය සඳහා කළ යුතු දේ ලැයිස්තුව සකස් කිරීමෙන් එළඹෙන දිනයේ උදෑසන දී ඔබට දැනෙන ආතතිය අඩු කළ හැකියි. නින්දට යාමට පෙර එය ඔබට සංවිධානාත්මකව සහ මානසිකව සැහැල්ලු බවක් දැනීමට උපකාරී වන අතර සන්සුන් සන්ධ්‍යා චර්යාවක් බොහෝ විට සන්සුන් උදෑසනකට ද මඟ පාදනවා.
විවේකය කම්මැලිකම නොවන අතර එය සෞඛ්‍ය සම්පන්න සහ සමබර ජීවිතයක් පවත්වා ගැනීමේ වැදගත් අංගයකි. රැකියාවෙන් පසු, ඔබේ ශරීරය සහ මනස රැකවරණය, සැනසීම සහ නිසි විවේකය ලැබිය යුතුය. මෙය ඔබේ මනෝභාවය, මානසික සෞඛ්‍යය, ඵලදායිතාව සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කරනවා.

