මවකගේ සෙනෙහසට නව අරුතක් එක් කළ චිත්‍රපටයක් -MiMi

මව් ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය..
රියදුරු මනා වූ
ලැබිය යුතු වූ සේම අස් රිය..

මුදු ගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය..
ගොවි දන මනා වූ
දිනිය යුතු වූ සේම ගම් බිම්..

මේ සම්මානිත වේදිකා නාට්‍යයක් වූ හෙන්රි ජයසේන මහතාගේ “හුණුවටයේ කතාව” තුළ එන නාට්‍යය ගීයක්.මේ නාට්‍යයේ ගෲෂාව සිහි කරන්නියක් මේ දිනවල බොලිවුඩය කලඹමින් හිඳිනවා.

ඒ මිමී.

ජූලි 26 වනදා Jio Cinema විසින් Netflix හරහා විකාශනය ඇරඹූ මිමී ලක්ෂ්මන් උටේකර් අධ්‍යක්ෂණය කළ සම්මානනීය 𝐌𝐚𝐥𝐚 𝐀𝐚𝐢 𝐕𝐡𝐡𝐚𝐲𝐜𝐡𝐚𝐲 මරාටි චිත්‍රපටය ඇසුරෙන් සැකසූවක්.තප්පඩ් හරහා අතිශය ජනාදරයට ලක් වූ ක්‍රිති සැනොන් තමයි මෙහි මිමී වන්නේ.ශ්‍රෙයා ගයන පරම් සුන්දරී ගීය දැනටමත් ජනප්‍රිය වෙලා අවසන්.ඒ ආර් රහ්මාන්ගේ සංගීත අධ්‍යක්ෂණය මිමීට තව තවත් වර්ණයන් එක් කර තිබෙනවා.

ඉතින් මිමී සහ ගෲෂා කොහොමද සමාන වෙන්නේ.මේ සූදානම් වෙන්නේ ඒ ගැන කියන්න.චිත්‍රපටිය දිව යන්නේ මේ වගේ කතාවකින්.

මිමී සාමාන්‍ය ඉන්දීය ගැහැනියක්.ඇගේ දුප්පත් ගම්මානයට විදේශීය යුවලක් පැමිණෙනවා.ඔවුන් ඉන්දියාවට පැමිණෙන හේතුව තමයි දරුවෙක් හදා ගැනීම.ඒ කාන්තාවට දරුවෙකු දරන හැකියාවක් නෑ.ඔවුන් ඔවුන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු වෙනත් කෙනෙකුගේ ගැබේ තැන්පත් කරලා දරුවෙකු හදන්න සැලසුම් කරනවා.

ඔව්! මිමී ඒ යෝජනාව බාර ගන්නවා.සල්ලි වලට වඩා ඇය ඒ කාන්තාවගේ දුකට සංවේදි වෙනවා.විදේශීය යුවල මිමි සමඟ රෝහලට ගිහින් අවශ්‍ය කාර්යයන්වල නිරත වෙන්න පටන් ගන්නවා.මිමී කළලය තැන්පත් කර ගැනීම අතින් සාර්ථක වෙනවා.ඇයත් විදෙස් කාන්තාවත් මිමීගේ දුප්පත් නිවසේ සහයෝගයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.මිමි දරා ගන්නේ තමන්ගේ දරුවා.ඒ නිසාම විදේශීය කාන්තාව මිමීව ඇස් දෙක වගේ බලාගන්නවා.

ප්‍රසූතියට ආසන්න ස්කෑන් පරීක්ෂණයේ දී ලැබෙන්නේ පුතෙකු බවත් නමුත් ඔහු උපත් ආබාධයක් සහිත බවත් හෙළි වෙනවා.

“මට ආබාධ සහිත ළමයෙක් එපා..”

විදෙස් කත ඉන්දියාව හැර දමා යන්නේ එහෙම කියලා.නමුත් එසේ නොයන ලෙස කියමින් මිමි අයදිනවා.

“ඔව්, ඔයා වේදනා වින්දා.මාත් ඒක දැක්කා.ඒත් මට ආබාධ සහිත ළමයෙක් එපා.අපි ඔයාගේ ගැබ මිලට අරන් තියෙන්නේ.ඒකට ගෙවීමක් කරා.මම යනවා..”

බීජ දුන් ගැහැනිය නික්මෙනවා.මිමී දරුවා දරා ගන්නවා.

අර දුප්පත් නිවසේම නව මසකට පසු දරුවා බිහි කරන්නට මිමීට සිදු වෙනවා.ඔහු ආබාධ කිසිත් නැති දරුවෙක්.නමුත් විදෙස් දරුවෙකු නිසා සමේ පැහැය සුදට හුරු දරුවෙක්.බහ තෝරන කාලයේ පටන්ම ඔහු අම්මාගෙන් තමන්ගේ හමේ වර්ණය ගැනත් තාත්තා ගැනත් විමසනවා.දරුවාට දැඩිව ආදරය කරන මිමී ඒ කතා මඟ හරිනවා.මේ ආදරණීය මව්පුතු ආදරය නිදහසේ ගලා යනවා.

ඒ එක්තරා දවසක දරුවාගේ ජීව විද්‍යාත්මක මව නැවත ගමට එනතුරු!!

ඊටපස්සේ වෙන දේ ඔබ නැරඹිය යුතුම බව අපි ඔබට යෝජනා කරනවා. ඒ මේ කිහිප දිනයක් තුළම මිමී විශාල විචාරක ප්‍රසාදයක් දිනා ගත්තු නිසා නෙවෙයි.තප්පඩ් තාපසීගේ චරිතයට තරම් මිමීටත් ක්‍රිතී අතින් සාධාරණයක් වෙලාද බලන්න නෙවෙයි. නෙට්ෆ්ලික්ස් මුවීස් පුරුද්දක් විදියට බලන නිසාත් නෙවෙයි.

බැඳීම් ඇති වන්නේ ලේ බැම්ම මත පදනම් වී නොවන බව ඔබ වටහා ගත යුතු නිසා.ගැහැනියක අම්මා වෙන්නේ තමන්ගේ ලෙයින් හටගත් දරුවෙක්ට පමණක්ම නොවන බව ඔබ වටහා ගත යුතු නිසා.

මුදු ගුණයෙන් දරුවන් දිනාගත හැකි සෑම ගැහැනියකටම මව්වත්කමේ සුවඳ දැනිය යුතුමයි.ඒ සුවඳ මිමි තුළින් ඔබට දැනේවි

Related Articles

Don't Miss


Latest Articles