උස හීන දැකපු මිටි ජ්‍යෝතිගෙ කතාව

අපේ දිනිති තුමිය මේ ලිපිය ලියන්න ටොපික් එක එව්වම මම මුලින්ම හිතුවෙ මම ගැන ලියන්න කිව්ව කියල.මොකෝ මමත් ඉතින් කොට මොඩ්ල් නිසා.

ඒ වුනාට හොයාගෙන යද්දි තමයි දැනගන්න ලැබුනෙ ඉන්දියාවෙ ඉන්න බව පුංචි ශරීරයක් අස්සෙ හැංගිච්ච ලස්සන කාන්තාවක්.

ඉතින් අපි අද කතාකරන්න යන්නෙ එයා ගැන.

මේ එයා තමයි ජ්‍යෝති කිසංජි අම්ගේ.

1993 දෙසැම්බර් 16 වන දින මධ්‍යම ඉන්දියාවේ නාග්පූර් හි උපත ලද ජ්‍යෝති වයස අවුරුදු පහ වන තෙක් සාමාන්‍ය උසකින් යුක්ත වූ බව කියන්නේ එයාගේ අම්මා රංජනා.

කෙසේ වෙතත්, යම් ආකාරයක ආබාධයකින් ඇයගේ වර්ධනයට බාධා ඇති බව එම අවස්ථාවේදී පැහැදිලි වෙලා තියෙනවා.

ඇයට ඇකොන්ඩ්‍රොප්ලාසියා නම් වාමන ස්වරූපයක් ඇති බවත්, කිසි විටෙකත් නිශ්චිත උසකින් ඔබ්බට වැඩෙන්නේ නැති බවත් පසුව අනාවරණය වුන බව තමයි අන්තර්ජාලයේ නම් සඳහන් වෙන්නේ.

ඇගේ දුර්ලභ අස්ථි පිරිහීමේ ආබාධය ඇගේ පවුලේ අය දැනගත්තේ ඇයට වයස අවුරුදු පහේදී පමණ.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඇයගේ උස ජීවිත කාලය පුරාම එලෙසම පවතිනු ඇතැයි ඔවුන් දැනගෙන තියෙනවා.

ජ්‍යෝති හිටපු ලොව මිටිම කාන්තාව වන 22 හැවිරිදි ඇමරිකානු බ්‍රිජට් ජෝර්ඩන් 69cm (අඩි 2 අඟල් 3) ට වඩා සෙන්ටිමීටර 6.2 ක් කෙටි බව තමයි ඇය ගැන විස්තර ඇතුලත් කර තිබෙන ලිපිවල සඳහන් වෙන්නේ.

වයස අවුරුදු හතරේ සිට ජ්‍යෝති සාමාන්‍ය ප්‍රමාණයේ දරුවන් සමඟ පාසලට ගිය නමුත් ඇයගේ කුඩා ප්‍රමාණයට වඩා සුදුසු මේසයක් සහ පුටුවක් ඇයට සපයා තියෙනවා.

ඇය ප්‍රථම වරට ලෝකයේ අවධානයට ලක්වූයේ 2009 වසරේදී Fuji TV හි Bikkuri Chojin 100 විශේෂ අංක 2 හි පෙනී සිටි අවස්ථාවේදීය.

 ප්‍රදර්ශනයේදී වෛද්‍යවරුන් විසින් උස මැන්නම ඇය යන්තම් සෙන්ටිමීටර 61.95 (අඩි 2) උසකින් යුක්ත වූ බව සොයා ගන්නා ලද අතර, ඇය ජීවත්ව සිටින කෙටිම යෞවනිය (ගැහැණු) ලෙස තහවුරු වුණා.

 කැපී පෙනෙන ලෙස, යන්තම් 5.4 kg (රාත්තල් 12), ඇයගේ බර ඇගේ උපත් බරට වඩා 4 kg (රාත්තල් 9) ක් පමණයිලු වැඩි.

හැබයි ජ්‍යෝති නම් තමන්ගෙ උස ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව මාරම සන්තෝසෙන්ලු ඉන්නෙ.

ඒ වන විට ජ්‍යෝතිට යන්තම් වයස අවුරුදු 15ක් වූ නමුත් ඒ වන විටත් ඇගේ සුන්දර පෞරුෂය සියල්ලන්ටම දැකගත හැකි වෙලා තියෙනවා

 බොහෝ නව යොවුන් වියේ ගැහැණු ළමයින් වගේම, ඇය විලාසිතා සහ වේශ නිරූපණයට ආදරය කළා.

 ඒ වගේම ඇය නිළියක් වීමේ අභිලාෂයන් ඇති කර ගත්තා. සල්මන් ඛාන්, කත්‍රිනා කයිෆ් සහ අමිතාබ් බච්චන් තමයි ජ්‍යෝතිගේ ප්‍රියතම බොලිවුඩ් නළුවෝ.

2009 දී, ඇය භන්ග්‍රා තරු Mika Singh ගේ ගීතයක් සඳහා වීඩියෝවක පෙනී සිටි අතර, චැනල් 4 වාර්තා චිත්‍රපටයේ බොඩිෂොක් හි ‘අඩි දෙකක් උස යෞවනිය’ නම් කථාංගයක ප්‍රදර්ශනය වෙලත් තියෙනවා.

2014 අගෝස්තු 13 වෙනිදා, ඇය 2014 ඔක්තෝම්බර් 8 වන දින තිරගත වූ ‘American Horror Story: Freak Show’ ත්‍රාසජනක සංග්‍රහ මාලාවේ සිව්වන වාරයේ රඟපෑවා.

 කථාංග හතරක භූමිකාවක, ඇය Ma Petite, මවගේ චරිතය රඟපෑවාය.

ඇය 2012 මැයි මාසයේදී රාජ් තැකරේගේ මහාරාෂ්ට්‍ර නව්නිර්මන් සේනාවට සම්බන්ධ වී ඇත්තේ රාජ්‍ය සේවයේ පූර්ණ වෘත්තීය ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන්.

ජ්‍යෝතිගේ ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ සහ ඇගේ පිඟන් සහ හැඳි ගෑරුප්පු පවා විශේෂයෙන් හදන්න වුනාලු.

 GWR වෙතින් ලැබුණ පිළිගැනීම ගැන ජ්‍යෝති අදහස් දක්වන්නෙ මෙන්න මේ විදියට.

“මට ඒ ගැන මාර සන්තෝසයි. මට ඒ පිලිගැනීම ලැබුණම දැනුනෙ ඇත්තටම මිනිස්සු මාව අගය කරනවා, මාව පිළිගන්නවා කියල. මට ඒක ලොකු දෙයක්”

2012 වසරේදී ඇයට ලොව මිටිම මිනිසා වන නේපාලයේ චන්ද්‍ර බහදූර් ඩැන්ගි හමුවුණා. ගිනස් ලෝක වාර්තාවේ 57 වන සංස්කරණය සඳහා මෙම යුවළ එකට පෙනී සිටියා.

ඒ විතරක් නෙවෙයි රඟපානවට අමතරව ජ්‍යෝති කොවිඩ් 19 වසංගත කාලේ නිවාස වලම පරිස්සමට ඉන්න කියන පණිවිඩය ඉන්දියානු ජනතාව අතරට අරගෙන යන්න නාග්පූර් පොලිසිය එක්ක එකතුවෙලත් තියෙනවා.

ඉතින් ජ්‍යෝති කියන්නෙ ඇත්තටම ආදර්ශයට ගන්න ඕන චරිතයක්.

ලෝනාවලා වල ඉටි කෞතුකාගාරේ ජ්‍යෝතිගේ ඉටු පිළිරුවකුත් හදලා තියෙනවලු.

තම පවුලේ අයගේ නොමද සහයෝගය නිසා ජ්‍යෝති කිසිවිටකත් ඇගේ ප්‍රමාණය බාධාවක් ලෙස සිතුවේ නෑ.

 ඔවුන් එකට සිටින සෑම විටම, ඇගේ පවුලේ අය ඇයව රැගෙන යනවා, ඒ නිසා ඇයට ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය දකින්න පුලුවන්.

 ඇත්ත වශයෙන්ම, ඇගේ අධ්‍යාපනය නොකඩවා කරගෙන යන්න දුෂ්කරතා මධ්‍යයේ වුවද, ඇගේ සහෝදරිය ඇයව විද්‍යාලයට එක්කගෙන ගිය අතර, එය ජ්‍යෝතිගේ අධ්‍යාපනය අවසන් කර උපාධිය ලබා ගැනීමට උපකාරී වුනා කියල තමයි ජ්‍යෝති සඳහන් කරන්නෙ.

ඒත් ජෝතිට හැම වෙලාවෙම හිත හයිය කරගෙන ඉන්න පුලුවන් වෙලත් නෑ සමහර මිනිස්සු නිසා. “ඇය එතරම් ප්‍රසිද්ධ නොවූ විට මිනිසුන් ඇයට උසුළු විසුළු කිරීමටත් විහිළු කිරීමටත් පුරුදුව සිටියා. එදා ඇයට ලොකු කලකිරීමක් දැනුණා,” කියල ඇගේ තාත්තා මාධ්‍ය වලට අදහස් දක්වලා තියෙනවා.

 ඒත් පවුලෙ අයගෙන් ලැබුණ සහයෝගය එක්ක ඉස්සරහට යන්න ජ්‍යෝතිට පුලුවන් කම ලැබිලා තියෙනවා.

ඉතින්, උස හීන තියාගන්න ශරීර ප්‍රමාණය පොඩ්ඩක්වත් වැදගත් නොවන බව ඔප්පු කරපු ජ්‍යෝති කියන්නෙ හැම කෙල්ලෙක්ටම ආදර්ශයක් වෙන Smart Lady කෙනෙක්! 

Related Articles

Don't Miss


Latest Articles