ශරදාකාසේ – 3

නිශාමනී මැෂිමට රෙදි දමා ඒවා සේදෙන තුරු ගේ මිදුල් ඇමදුවා ය. එසඳි ට කිරි එකක් හදා පොවා ඇය සෝදවා පවුඩර් ඕඩිකොලෝන් දැමුවා ය. ඒ සුවඳ ඇගේ පපුව ඇතුළේ ඇති කරන්නා වූ හිර වීම ගැන ඇය ට කිසිත් පෙරපර ගලපා ගත නො හැකි ය. දියණිය තදින් පපුවට තුරුලු කර ගෙන ඕ ටික වෙලාවක් ඇස් දෙක පියා ගෙන සිටියා ය. තද වූ ඇස් පියන් අතරින් ද කඳුළක් රිංගා ගත්තේ ය. 

“අඬනවද අම්මි…”

එසඳි හිස නගා බැලුවේ ඇගේ සිඟිති අතට දැනුණ කඳුළු සිසිලක් නිසා ය.

“නෑ මගෙ මැණික”

“එහෙනං ඔය කඳුළු…”

“ඕඩිකොලෝන් ටිකක් ගෑවුණා රත්තරං”

“පව්…”

ළපටි අත් වලින් ඇය අම්මා ගේ මුහුණත් ඇසුත් පිරිමැද්දා ය. නිශාමනී පැංචිය ගේ අත්ල සිප ගත්තා ය. 

“අම්මිගෙ ඇහැට විසි වෙනවනං මට ඕඩිකොලෝන් දාන්න එපා”

නිශාමනී සිනහ වෙවී ම මුහුණ පිස දා ගෙන එසඳි වඩා ගෙන කාමරයෙන් පිට වූවා ය. ශාරද ට බැඳි ප්‍රේමය සිය කුසෙහි මලක් වී මෝරන්නට පටන් ගෙන ඇති බව දැන ගත් දා හිතට දැනුණ සතුට මහ ගින්දරක් මැද දැවෙන සෙයක් ඇයට දැනිණ. ඒ සියල්ල මේ තරම් ඉක්මනින් විනාශ වී යතැයි සිතනු කෙලෙස ද? 

නිශාමනී දියණියට කෑම කැව්වා ය. රෙදි වේලෙන්නට දැමුවා ය. ගේ මොප් කළා ය. ඒ සියල්ල සිදු වූයේ යන්ත්‍රානුසාරයෙන් සේ ය. ඇගේ හිතේ වූයේ එක ම පටලැවිල්ලකි. ඒ මුදුව කාගේ ද? ටික දිනක සිට ශාරද ගෙන් ඇය ට දැනුණ  වෙනසත් ඒ මුදුවත් අතරේ යම් සම්බන්ධයක් වන්නේ ද? උදේ ඔහු හැසිරුණ ආකාරයේ අමුත්තක් ඇත්තේ ම නැද්ද? 

ගැහැනු හිතකට සැකයේ විශ බීජයක් වැටුණ විට එය ඔඩු දුවන්නේ පිළිකාවක් සේ සිරුරේ සියලු සෛල විනාශ කර ගෙන ය. අඩපණ කර ගෙන ය. අකර්මන්‍ය කර ගෙන ය. ඔහු ගේ හිත වෙනතක බැඳී ය යන සැකයෙන් හිත නිදහස් කර ගැනීම නිශාමනී හිතූ තරම් පහසු වූයේ නැත. ශාරද නිදොස් කරනු වස් මොන තරම් හේතු කාරණා ඇගේ සිත විසින් ම ඉදිරිපත් කරන ලද්දේ වී ද ඒ කිසිත් සාර්ථක වූයේ නැත. ඇය ට දැනෙන්නා වූ අසරණ හැඟීම එන්න එන්න ම හිස එසවූවා මිස යටපත් නොවිණ. 

නිරන්තර ඇගේ තොළ කට වියළිණ. ඇය කළේ ම වතුර බොන එක ය. නමුත් කුස ගින්නක් කියා දෙයක් අහලකට වුව ආවේ නැත. ඇය ම නො දැන විටෙක කඳුළු ඉහිරිණි. තවත් විටෙක සදහට ම වියළී ගිය බිමක් සේ ඇස් වියළී ගියේ ය. මේ සිතිවිලි හා හැඟීම් වල විචලනය කිසි සේත් තේරුම් ගන්නට ඕ අපොහොසත් වූවා ය. 

දවස ගෙවුණේ හරි හෙමිහිට ය. හැන්දෑ වන්නට වන්නට ඇය නො සන්සුන් වූවා ය. සියල්ලට වඩා වැඩියෙන් වූයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ උවමනාවයි. ශාරද ට වෙනත් සබඳකමක් වේ නම් තව දිනක් හෝ ඔහු සමගින් ජීවිතය බෙදා ගන්නට ඇය ට උවමනා නැති බව නිශාමනී දැන සිටියා ය. එහෙම දිවියක් ගැන සැබවින් ම ඇය ට සිතා ගත නො හැකි ය. ඔහු ගෙදර ආ ඉක්බිති දෙකෙන් එකක් බේරා ගත යුතු යයි ඕ තදින් සිතා ගත්තා ය. ශාරද ගේ ලෝකයේ ඇය ට හිමි ව තිබූ මුල් තැන දැන් වෙනත් ගැහැනියකට හිමි ව ඇත්නම් හා ඇය දෙවන තැනකට වැටී ඇත්නම්….නිශාමනී මඳ උමතුවකට පත් වූවා සේ ය. එදා ඇය දිය නෑවේ නැත. කොණ්ඩය පීරුවේ නැත. ඒවා  අමතක ව ගියේ ය. කොටින් ම තමන් ජීවත් වන බව හෝ ඇය ට දැනුණේ නැත. මරණාසන්න වේදනාව යනු මේ යයි ඇය සිතුවා ය.

“සෙල්ලං කරමුකො අම්මි”

බලා ගත් අත බලා ගෙන කල්පනාවට වැටෙන අම්මා ට දියණිය කිහිප වරක් ම කීවා ය. නිශාමනී වතාවක් ඒ ගැන සිඟිති එසඳි සමගින් ද කෝපත් වූවා ය.

“වදයක් නොවී සෙල්ලං කරනවකො ළමයො”

ඒ හඬ කෙතෙක් සැර වූයේ ද යත් එසඳි බලා සිටියේ පැහැදිලි දෑස් විදා විශ්මයෙනි. අම්මා ඇය ට කවදාවත් එහෙම සැර කොට නැති බව පුංචි වුණත් දැරියට නොතේරුණා නොවේ. අන්තිමට බැණුම් ඇසූ දියණිය නොව බැණ වැදුණු අම්මා ම ඇස් වල කඳුළු පුරවා ගත්තා ය. එසඳි තුරුලු කර ගෙන ඇගේ පපුවට මුහුණ තද කර ගෙන සිටියා ය. 

ආකාස මලවිආරච්චි ගේ රිය පැමිණෙනවා හෝ නිශාමනී ට ඇහුණේ නැත. අයියාත් මල්ලීත් ළඟ පිවිසුම් දොරටුවේ දුරස්ථ පාලක දෙකක් තිබේ. ඒ නිසා ඇතැම් විට ගෙතුළ සිටින නිශාමනී ඔවුන් ගෙට එන තුරු ම නොදනී. මේ වෙලාවේ ඇය සිටියේ ආලින්දයේ ටෙරාසෝ බිම මත එසඳි ගේ සෙල්ලම් බඩු ගොඩ වට කර ගෙන ය. ශාරද ලා ගේ මේ මහ ගෙදර පැරණි විශාල තනි මහලක එකකි. රවුම් කුළුණු සහිත පුළුල් බරාඳයක් ගේ වටේට ම තිබේ. බිම මුළුමනින් ටෙරාසෝ කර ඇත. ලා කහ පැහැයෙන් පිරියම් කර ඇති බිත්ති අලුත් ගෙදරක බිත්ති වලට වඩා ඝණකම් ය. අගනා මෝල්ඩින් සමූහයක් බිත්ති දාර පුරා දිවෙයි. ගෙය පැරණි වූවාට නවීන නිවසක් සතු සියලු අංගෝපාංග වලින් ඒ ගෘහය සමලංකෘත ය. 

“බාප්..පා…”

ආකාස ව දුටු එසඳි නැගිට ඔහු වෙත දිව ගියා ය. සිනහවෙන් විකසිත වූ ආකාස, සිය දෙපා බදා ගත් සිඟිත්තිය වඩා ගත්තේ ය. 

“මගෙ මැණික සෙල්ලං කරනවද…”

“ඕ…බාප්ප මාත්තෙක්ක සෙල්ලං කරන්න එනවද…අම්මා දැං මට බැන්නා…”

ඒ සිඟිති කේලම ආකාස ගේ පපුවේ මැද ම හැපිණ. ඔහු ගේ ඇස් නිශාමනී මත නතර වූයේ විදුලියක් සේ ය. ගෙට ගොඩ වෙත්දී ම ඇය දුටු ඔහු ට අමුත්තක් දැනිණ. මුළු ගෙදරක වැඩ කර ගෙන දියණිය ද බලා ගෙන සිටියත් ඇගේ මුහුණේ මඳහසක් නැති වෙලාවක්, ඇය මේ ගෙදරට විත් ගෙවුණ පස් වස තුළ ඔහු දැක නැත. ඕනෑ ම මොහොතක මලක් සේ පිබිදී සිටින ඕ දිනපතා දිය නා පිරිසිඳු ඇඳුම් ඇඳ පිළිවෙලටත් සුවඳවත්වත් සිටියා ය. ඒ සුවඳ නිවස තුළ සිටියදීත් ගල්වන විලවුන් වර්ගයක් නිසා නොව ඇගේ ශරීරය විසින් උපද්දවන්නා වූ ස්ත්‍රී හෝමෝනයක් නිසා නිකුත් වන සුවිශේෂ සුවඳකැයි ආකාස ට සිතී තිබේ. ඔහු එය හඳුනා ගෙන සිටින්නේ ‘ගැහැනු සුවඳ’ කියා ය. නිශාමනී දිනපතා භාවිතා කරනා ශැම්පූ, කන්ඩිශනර්, බොඩි වොශ්, ෆේස් වොෂ්, සිලිකන් ඔයිල්, බොඩි ලෝශන් යනාදී සියල්ල පෙර කී හෝමෝනමය සුවඳ හා මුහු වීමෙන් ජනිත කරන්නා වූ සුවඳ ඇය ට ම ආවේණික එකකි. ඒ සුවඳවත් ගැහැනිය ආකාස ගේ හද දෙවොලේ ඉහළ මළුවක වැඩ සිටියා ය. ඒ අම්මා සිටින තැන ම ද කියා ඔහු වෙන් කොට හැඳින ගන්නට උත්සාහ කොට නැත.

ඒ සිරි කත අද මැලවී හිඳින බව ආකාස ගේ ඇස් එක බැල්මකින් ම හැඳින ගත්තේ ය. ඇගේ ඇස් හැඬීම නිසා තඩිස්සි වී ඇති බවත්, රතු වී ඇති බවත් ඔහු දුටුවේ ය. කිසි දවසක ඔහු නො දැක ඇති පරිදි ඇය හිස කේ නො පීරා සිටියා ය. 

දියණිය වඩා ගෙන ම නිශාමනී අසලට ගිය ආකාස ඇය බිම තබමින් තෙමේ ද එතැන පහත් වූයේ ය.

“බාප්ප එන්නංකො පැටියත් එක්ක සෙල්ලං කරන්න”

එසේ කියමින් ඔහු බැලුවේ නිශාමනී ගේ මූණ දෙස ය. ඇය සිනහවක් නගා ගන්නට උත්සාහ කළා ය. ඒ කෙතරම් අසාර්ථක උත්සාහයක් ද කියා ආකාස ට අමුතුවෙන් පැහැදිලි කොට දිය යුතු නැත. 

“මොකද වුණේ…”

ඔහු ගේ ගැඹුරු හඬ, අඬන්නට සිටි ගැහැනිය ගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්නට සමත් වන විදිහේ දයාර්ද්‍ර වූවකි. 

“බොරු අනේ. මං බැන්නෙ නෑ. වද දෙනවනෙ මෙයා”

ඇය සුන්දර බොරුවකින් ඒ අසුන්දර කතාව වහ ගන්නට බැලුවා ය.

“මොකද වුණේ…”

එවර ආකාස වඩාත් සිය බැල්ම තියුණු කොට කට හඬ තව දුරටත් අවධාරණය කොට ඒ ප්‍රශ්නය ම යළිත් ඇසුවේ ය. ඒ වචන දෙක ඇතුළේ ප්‍රශ්න කෝටි ගණනක් හා හැඟුමන් ප්‍රකෝටි ගණනක් වන බව නිශාමනී නො දන්නවා නොවේ. නමුත් ආකාස ට පිළිතුරු දිය නො හැකි ය. 

“පොඩි හෙඩේක් එකක් ආව. සෙම වගේ. ඒකයි මං හිතන්නෙ”

“අම්මි අද ඇහැට ඕඩිකොලෝන් යවා ගෙන ඇඬුවත් එක්ක බාප්ප”

නිශාමනී වහා බිම බැලුවා ය. නමුත් ආකාස ගේ බැල්ම මුලුමනින් ඇය වසා ගෙන තිබිණ.

“වොශ් දා ගන්නකො. මං මල්ලිට තේ හදන්නං”

කියමින් නිශාමනී වහ වහා නැගිට ගත්තා ය. ඇය කඩිසර ලෙස කුස්සිය දෙසට ඇවිද යන හැටි ඔහු බලා සිටියේ ය. 

සියල්ල පුපුරා ගිහින් ද යන බිය ඔහු ගේ සිත් හි උපන. ඒ සිතිවිල්ල ම ඔහු ව අඩපණ කරවන්නට සමත් විය.

“බාප්පි වොශ් දාං එන්නකො මාත් එක්ක සෙල්ලං කරන්න”

ආකාස ට ඕනෑ වූයේ කාමරයට නො ගොස් කුස්සියට යන්නට ය. ඇගේ මූණ දෙස කෙලින් බලා ගෙන ‘ඇඬුවෙ ඇයි’ කියා විමසා දැන ගන්නට ය. නමුත් හැමදාමත් සේ ඔහු තමන් ව පාලනය කර ගෙන කාමරයට ගියේ ය. නමුත් කටුවක් සේ ඇමිණුන යමක් හිතට වද දෙමින් තිබිණ. 

ආකාස දිය නා එන විට නිශාමනී උණු තේ එකක් සූදානම් කර ගෙන සිටියා ය. 

“ඔළුව කැක්කුමක් තියනවනං බේත් ටිකක් ගන්න ඕනනෙ”

ආකාස ඉවත බලා ගෙන කීවේ ය. නිශාමනී ගැහැනුකම් පෙරදැරි ව සිනහ වූවා ය. 

“ඕන්නෑ මල්ලි. ඇරිල යයි”

“අයියත් එක්ක රණ්ඩුවක් අල්ලලද ඉන්නෙ…ඊයෙ පන්සල් යන්න ආවෙ නෑ කියල”

නිශාමනී ගේ පපුවට වෙඩි වැදිණ. ආකාස වූ කලී කිසි දා ක ඇය හා ශාරද අතරේ වන යමක් ගැන ප්‍රශ්න නො කළ කෙනෙකි. ඇය කිසි දා ක ඔවුන් ගේ ප්‍රශ්නයක් ආකාස ට පෙනෙන්නට දැනෙන්නට ඉඩ තබා ද නැත. නමුත් මේ ප්‍රශ්නය, සියල් මාර්ග බාධක බිඳ ගෙන ඔහු ඇතුළට ආවා වන් හැඟීමක් ඈ තුළ ඇති කරවන ලදී. 

“රණ්ඩු අල්ලල නතර කර ගන්න පුළුවන් තැනක ද අයිය දැං ඉන්නෙ කියල මන් දන්නෑ මල්ලි”

කියා කියා ගන්නට ඇත්නම්…එහෙම කීවා නම් ඇගේ පපුව මත පැටවී ඇති බරෙන් යම් කොටසක් හෑල්ලු වී යනු ඇත. නමුත් ගැහැනියක වශයෙන් සිය හදවත විවර කළ යුතු තැන් ගැන ද තදින් වසා සිටිය යුතු තැන් ගැන ද යම් අවබෝධයක් නිශාමනී ට විය.

“පුතා එහෙනං බාප්ප එක්ක ඉන්න. අම්මි උයනව හොඳේ”

කියා ගෙන ඇය යළිත් මුළුතැන් ගෙට වැදුණා ය.

සරල සාමාන්‍ය ප්‍රශ්නයක් සේ ඇසුවා ට, ඔහු නැගූ පැනය තුළ ඊට වඩා රහසිගත බවක් තිබෙන බව ආකාස දැන සිටියේ ය. ඔහු ට, වඩා පුද්ගලික වූ යමක් දැන ගැනීමේ අවශ්‍යතාවය විය. ශාරද හා නිශාමනී අතරේ සිදු වූ දේ නිසැක ව දැන ගැනීමට ඔහු ට අවැසි විය. නමුත් එය අනවශ්‍ය පෞද්ගලිකත්වයකට අත පෙවීමකි. ප්‍රශ්නයේ අගට ඔහු පන්සල් සිද්ධිය ඇමිණුවේ එය සාමාන්‍යකරණය කරනු වස් ය. නමුත් නිශාමනී දක්ෂ ලෙස ප්‍රශ්නයෙන් ලිස්සා ගියා ය.

තේ එක බී ආකාස එසඳි සමගින් සෙල්ලම් කළේ ය. ඇය ව පිට උඩ තබා ගෙන දණ ගාමින් බිම දිග ගියේ ය. එසඳි අශ්වයෙකුට සේ ඔහු ට කෝටු පාර දුන්නේ ය. ඒ මොනවා කළා වී ද ඔහු ගේ පිරිමි පපුවෙහි පැටවුණ බරක් විය. 

එදා ශාරද ගෙදර ආවේ සුපර් මාකට් එකෙන් ගෙදරට උවමනා කලමණා බෑගයක් පුරවා ගෙන ය. කිසි වෙනසක් නැති බව නිශාමනී ට හැඟවීම ඔහු ගේ අරමුණ විය. නමුත් කුඩා හෝ සැකයේ බීජයක් හිතට වැටුණ විට කිසිවක් නොවුණ සේ ඉන්නට ගැහැනුන් ට නුපුළුවන. ආකාස ඒ වෙනස දෙස ඈතින් සිට මුත් නිරීක්ෂණයෙන් පසු වූයේ ය. නිශාමනී ගේ බිඳ වැටුණ හිත තැන් තැන් වල ඉසිර විසිර ඉකි බිඳ හඬන හඬ ඔහු ට ඇසිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...