පරණ යකඩ හට්ටි මුට්ටි – 03

සාපයක්.. මගෙන් ගන්න තියෙන හැමදේම ගත්තට පස්සේ මාව නැත්තටම නැති කරලා දැම්මට පස්සේ  … ඕනනම් මට උන්  හිටපු  තැනක්වත් නැතිවෙන්න  ඉවරම කරලා දාන්න තිබුණා.

හහ්… මොන දේ කලත් මාව බල්ලෙක් වගේ පාගලා දැම්මත් තාමත් කොහේ හරි කොනක උඹට මම ආදරෙයි සඳමාලි.
ටිං බෙලෙක්ක එකතු කරපු මේ මුඩුක්කුවගෙ  හිත අස්සේ උඹ වගේ ගෑනියෙකුට කවදාවත් තේරුම් ගන්න බැරි  මනුස්සයෙක්  ඉන්නවා .

දිරාපු යකඩ.. හට්ටි මුට්ටි … හිල්වෙච්ච ඇලුමිනිය…ම්

මට හීනෙන් වගේ ඇහුනා..
කොයි තරම් මහන්සි වෙලා නිදාගන්න ගි‍යත් ඝන කලු කඩදාසියක ලියවෙච්ච මගේ කඳුළු අතීතය එහෙම් මෙහෙන් හැමදාමත් රැව් දිදී ඇහුණා.

පහුවදා මම මෙලනි ලගේ ගෙදර යනකොට බටර් කහපාට රෙද්දෙ පුංචි නිල් පාට මල් වැටිච්ච දිග ගවුමක් ඇඳගෙන මෙලනි හිනාවෙවී ඉස්සරහට වෙලා බලාගෙන හිටියා.මම ගියපාර සිංගප්පූරු ගිය වෙලේ ගෙනත් දීපු බඩු අතර මෙලනි ආසාවෙන්ම අල්ලගත්තු දේ තමයි ගවුම් රෙද්ද.
මෙලනි මහ පුදුම ගෑනියෙක්.මට තාමත් මගේ ජීවිතේ ගැන හිතාගන්න බැහැ.මගේ ජීවිතයේ හැම දෙයක්ම මම මෙලනිට කියලා නැහැ.එහෙම බැලුවහම සදාකාලිකවම මම මෙලනිට වංචාකාරයෙක්.සමහරවිට මම නොකියා ඉන්න සමහර සිද්ධී මෙලනිට කිව්වත් ඒක ලොකු අවුලක් වෙන එකකුත් නැහැ.ලබන සතියේ අපේ වෙඩින් එකට මෙලනි පුදුම විදිහට මහන්සි වෙවී උන්නා.
මේ වෙලාවේ ඔය අනම් මනම් කියවන්න ගිහිල්ලා එයාගේ හිත අවුල් කරන්න මට හිතුනෙ නෑ.

මෙලනි වෙඩින් එකේ වැඩ අස්සෙම එයාගෙ සමාජසේවා වැඩත් මහන්සි නොබලා කලා.
මට වෙලාවකට පව් කියලත් හිතුණා .

ඊයේ මගේ වැඩේ කෙරුනා. එතන හරි ලස්සනට සිංදු කියන්න පුළුවන් ලමයි හිටිය. අනේ පව් අනේ.. මට හිතුනා යුද්ධෙ වේලාවේදී කීදෙනෙක් දක්ෂ ළමයි මැරෙන්න ඇද්ද කියලා..

මෙලනි කිව්වෙ හිනාවෙවී..

දැන් මොකක්ද ඔයාලා අන්තිමට තීරනේ කලේ..

අපි තීරණය කළා ඒ ලමයින්ගේ රියැලිටි ෂෝ එකක් කරන්න.
වෙඩි උන්ඩයෙන් තත් අතරට කියලා නම දාමු කියලා තමයි කතා  උනේ.. අද ඔයාට පාර්ලිමන්ට් එකේ දී මීඩියා මිනිස්ටර්ව හම්බ වෙනවා නේද.අපිට මොකක් හරි ප්‍රධාන  මීඩියා එකක ස්පොන්සර් එක ඉල්ලලා දෙන්න පුලුවන්ද..

මට  මෙලනි ගැන හරි දුක හිතුනා.මෙලනි මහා පුදුමාකාර චරිතයක් . මට මෙලනි ව මුලින්ම හම්බ උනේ මම හිරේ හිටපු දෙවැනි අවුරුද්දේදි.එතකොට බන්ධනාගාර ඇමති වෙලා හිටියේ සරත් නානායක්කාර.. මෙලනිගේ මහප්පා. සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනේදී මෙලනිටත් අවස්ථාවක් දීලා තිබුණා එයා අවුරුදු ගානක් ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙනගත්තු කර්නාටක සංගීතය පාවිච්චි කරලා දක්ෂ හිරකාරයන්ව ගායනයට යොමු කරවන්න කියලා. ඒ වෙලාවෙත් මෙලනිට ගොඩක් ලොකුවට උවමනාව තිබුන හිර කාරයින්ගේ රියැලටි ෂෝ එකක් කරන්න. කොහොමහරි අන්තිමේදී ඡන්ද  වැඩ කටයුතු අස්සේ එක එක ඇමතිලාගේ අමාත්‍යාංශය මාරු වෙච්ච හින්දා මෙලනිගේ මහප්පට වෙන අමාත්‍යාංශයක් හම්බවුණා. අවුරුද්දක් විතර කෙරීගෙන ගියපු සංගීත වැඩසටහන එතනින්ම හබක් වුණා. ඒ අවුරුද්ද ඇතුලත මෙලනි  මාත් එක්ක ගොඩක් කතා බහ කරලා තිබුණා.ඒත් කවදාවත් අපි දෙන්නා අතර ආදරයක් ඇති වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.මම හිරේ හිටපු අවුරුදු ගානටම සඳමාලි මාව බලන්න ආවෙ නෑ.මුලින් මුලින් මං හුඟක් කලබල වුණා කරදර වුණා සඳමාලි ට මොකද උනේ කියලා හොයාගන්න.කිසි කෙනෙක් මාව බලන්න එන්න හිටපු නැති හින්ද සඳමාලිට මොකද වුණේ කියන විස්තර දැනගන්න මට පුළුවන් වුණේ නෑ.ආක්ටික් අමින් අයියා ආපු ගියපු තුන්හතර පාරම මම සඳමාලි ගැන ඇහුවට වැඩකට ඇති මනුස්සයෙක් වෙනුවෙන් කඳුළු හෙළ පං මෝඩයෝ කියලා විතරක් කිව්වා .

යකෝ..යක්ෂයා  එකපාරක් ගෑනිව ගිල්ලාලු..හැබැයි ටික වෙලාවකින් ආපහු ගෑනිව  එළියට වමනෙ කළාලු.දිරවල නැතුව…
උබ හොද අනාගතයක් තියෙන එකෙක්.. ඒ හින්දා ඔය කොහෙවත් යන ඩාන් ඩිගිසිලා වෙනුවෙන්  වැල වෙන්නැතුව හිටපිය..

කියපු අමීන් අයියා එදා හවස තමයි ගෙදර යනකොට වෙඩි කාලා මැරුනෙ..

දහනායක හිටියේත් මාත් එක්ක එකම වාට්ටුවෙ . උද්ඝෝෂණයක් වෙලාවේදී හමුදාකාරයෝ දෙන්නෙකුට දහනායක ය පෙරලාගෙන ගහලා තිබුණා. හමුදා කාරයින්ගේ තුවක්කු උදුරාගෙන තිබුණා . උගෙ චන්ඩි කං  මට්ටු වෙන්න අන්තිමේදී හිරේට දාලා තිබුණා.මට කලින් පොදු සමාව යටතේ දහනායකයා  එළියට ගියා. එලියට ගිය ගමන් ඌ කරලා තිබුණේ සඳමාලි ගැන විස්තර හොයපු එක.
ඊට දවස් තුනකට විතර පස්සේ මට මතකයි දහනායක තකහනියේ මාව බලන්න හිරේට ආවා.

සදිසො .. වැඩක් නෑ බං.. හැට පහේ වත්තේ සඳමාලි උඹ හිරේ ගිය අලුතම සයිට් එකක වැඩ කරපු නාකි චීනෙක් බැඳලා චීනෙට ගිහිල්ලා. විල්බනං බීලා රේල් පාරෙ බුදියගෙන ඉන්නකොට සෙත්තපොච්චි වෙලා. ඊට පස්සේ අවුරුද්දේදී විමලවත් සඳමාලි චීනෙට ගෙන්නගෙන.මං හිතන්නේ උඹේ සල්ලි සේරම උන් අරගෙන ගිහිල්ලා. උඹට කොයි වෙලේ හරි ශොට් එක දෙන්න තමයි උන්  බලාගෙන ඉඳලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එදා ඔත්තුව දීලා තියෙන්නේ උන් තමයි.නැත්නම් ඔය පොලිස්කාරයො කොහොමද උඹ ඕක කකුල් දෙක අස්සේ හංගගෙන ඉන්නවා කියලා දන්නේ. අර වීරබුව කියන පොලිස් කාරයට උන් තමයි ඔත්තුව දීලා තියෙන්නේ …

දහනායක එදා විස්තරය කියනකොට අවුරුදු පහේ හයේ පොඩි එකෙක් වගේ ඉකි ගගහා මම අඬපු හැටි මට තාමත් මතකයි.ඒත් පුදුමේ කියන්නේ කොයි වෙලාවක වත් ඔය සඳමාලි කියන අම්මන්ඩි  ගැන මගේ හිතේ තරහක් ඉපදිච්ච නැති එකයි. හැබැයි ආයෙත් කවදාවත් සඳමාලි ව හම්බ හම්බවෙලා කතා කරන්න බැරි තරම් අප්‍රසන්නතාවයක්  මගේ හිතේ ගොඩනැගුනා. මොනතරම් නිදහසට කාරණා තිබුණත් සඳමාලි කියලා කියන්නෙ  හැට පහේ වත්තෙ ගෑනියෙක්.
මම කරපු රස්සාව මම වින්ද දුක් වේදනා අකුරක් නෑර සඳමාලි දැනගෙන හිටියා.බැංකුවකට වඩා මම සඳමාලිව  විශ්වාස කරපු හින්දා අවුරුදු ගාණක් මම ඒ ගෑනි ගාව සල්ලි ඉතුරු කළා. අන්තිමේදී මට හැම කෙනෙක්ම නැති වුණා.

ඒ දවස් වල මම හිරේ හිටියේ පිස්සෙක් වගේ.මෙලනි හිරේ පුනරුත්ථාපන වැඩසටහන පටන් ගත්තට පස්සේ තාලෙට අප්පුඩියක් වත් ගහන්න බැරි මම සංගීතයේ ඉගෙන ගත්තු පිරිස අතර පිටිපස්සෙම ඉඳගෙන ඉන්න පුරුදු වුණා.මෙලනිගේ හිත නිවන ලස්සන කටහඬ මගේ කාෂ්ඨ කඨෝර අතීතය අමතක කරන්න උදවු වුණා කියලා හිතුවා.කරත්ත කවියක් වත් කියන්න නොදන්න මම කර්නාටක සංගීතය ඉගෙන ගන්න ආවහම ජේලර්ලා හිනාවුනා.

එයාට සින්දු කියන්න බැරි උනාට සංගීතය රස විඳින්න පුළුවන්.ඒකට කිසිම බාධාවක් නෑ.

මෙලනි බොහොම හෙමින්  ජේලර්ලට කියපු විදිය මට තාමත් මතකයි. සමහර විට බන්ධනාගාර ඇමති ගෙ ඥාති දුව නිසා ජේලර්ලත්  ඊට වඩා දෙයක් කියන්න යන්න නැතුව ඇති.

ඡන්දෙ ලංවෙනකොට ආණ්ඩුවේ අඩුපාඩු වහගන්න දඩිබිඩි ගාලා අමාත්‍යාංශය එහාට මෙහාට මාරු කරනකොට මෙලනිගේ මහප්පා කරපු මගඩි දෙක තුනක් එළියට ඇදෙන කොට මෙලනිගේ මහප්පව වෙන ඇමති කමකට දාලා අමාත්‍යංශ මාරු කිරිල්ලක් සිද්ධ වුණා.
මෙලනිගේ මහප්පගේ හිත ගිහිල්ලා තිබුණා ඒ දවස් වල අලුතෙන් ආපු ලස්සන නිළියකට. මිනිහා කොහෙද පාටි එකට ගිහිල්ලා ඩෝප් වැඩි වෙලා අර නිළිය වත් ඇදගෙන හරියටම රෑ එකොළහට ට විතර බන්ධනාගාරය ඇතුලට කඩා පාත් වෙනකොට ඒ මනුස්සයාව නවත්තන්න කවුරුවත් ඉදිරිපත් නොවුණේ ඒ බන්ධනාගාර ඇමති හින්දා.මිනිහට ඕනේ වෙලා තිබුණා එයාගේ සීනිබෝල නිළියට
එල්ලුම් ගහ පෙන්නන්න. අපේ වාට්ටු අස්සෙන් ඔය එකෙක් මගේ කෙල්ල දිහා බලලා තිබුනොත් ඇස් උගුල්ලනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා.මට හොඳට මතකයි එතකොට ජේලර්ලා බොහොම අමාරුවෙන් යාප්පුවෙන් තමයි මෙලනිගේ මහප්පව එළියට ඇදගෙන ගියේ .
කනප්පු ගුනයානං බඩ අල්ලගෙන එතකොට හිනා උනා
යකෝ අපි ඩෝප් උනාම කෑල්ල උස්සගෙන යන්නේ කාමරේකට.. මේ බූරුවා උස්සගෙන එන්නේ එල්ලුංගහ පෙන්නන්න කියලා .

ඒ ජර මර වලට හුඟක් මිනිස්සු එළියෙ කෑ ගහන්න පටන් ගත්තට පස්සේ තමයි මෙලනිගේ මහප්පට වෙන අමාත්‍යාංශයක් දුන්නෙ. ඊට පස්සේ අපි කරගෙන ගිය සංගීත වැඩසටහන නවත්තන්න සිද්ධ වුණා. ඊට පස්සේ මෙලනි සංගීත ගුරුවරියක් හැටියට හිරේට ආවේ නැති වුණාට මාසෙකට දෙතුන්පාරක්  මාව බලන්න ආවා. මාව විතරක් නෙමෙයි අපිත් එක්ක හිටපු ගොඩක් අයව බලන්න එකපාරම මෙලනි ආපු හින්දා අපි අතර විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා කියලා කාටවත් තේරෙන්න නැතුව ඇති. ජනාධිපති තුමාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ පොදු සමාවක් යටතේ මට නිදහස් වෙන්න  හම්බුනාම මෙලනිට ඕනේ උනේ මට හොඳ රස්සාවක් හොයලා දීලා මාව බෝඩිමක නවත්තන්න. ඒත් මට ඕනේ වුණේ නැහැ මෙලනිගෙන්  යැපෙන්න. කොටින්ම කියනවනම් මට කාගෙවත් අනුකම්පාව ඕනෙ වෙලා තිබුණෙ නැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles