නිම් නැති නිම්නය 22

උසාවි භූමිය මීයට පිම්බා සේ නිහඬ ව තිබිණ. නමුත් ආරාධනා ගේ හදවත මැද දෙබරක් ඇවිස්සුණා වන් කලබලකාරී බවක් විය. ආසන පෙළෙහි ඇය දෙපසින් මධුරි හා රාජිකා මැණිකේ යන මව්වරු දෙදෙන ද ඔවුන් ට දෙපසින් සේනාසිංහ හා ගජධීර යන පියවරු දෙදෙන ද අසුන් ගෙන සිටියහ. ශාලාවේ පිටුපස සෙනග අතරේ කවීශ්වර සිටියේ ය. තාරා හා කාවින්දි, පිටත –  රිය තුළ සඳයුරු තබා ගෙන සිටියහ. ප්‍රතිවිරුද්ධ පස ආසන පේළියෙහි කාශ්‍යප තනිව හිඳ සිටියේ ය. පෙර දා සෞභාග්‍යා ගේ ගර්භාෂයේ සැත්කම සිදු වූයෙන් මේ මොහොතේත් ඇය සිටිනුයේ රෝහල් ගත ව ය. උඩිනුත් ගිනි යටිනුත් ගිනි වාගේ ය. ඔහු ගේ හිතේ එකලාසයක් ඇත්තේ ම නැත.

ආරාධනා යන්තම් හිස හරවා සිය කඩවසම් සැමියා දෙස බැලුවා ය. එක වර ම ඇගේ නෙතට හසු වූයේ ඔහු ගේ මුහුණ පුරා අපිළිවෙලට වැවුණ රැවුල් කොට ය. ඒ දෑස් වල බොර පාට ඈතට නො පෙනුණ ද ඇයට ඒ දැනුණේ ය. ගුප්ත ශෝකයක් ඒවායේ අරක් ගෙන තිබිණ. පයිනස් කැලයක් මැද්දේ දී දැනිය හැකි ගුප්ත ශෝකය හදිසියේ ම ආරාධනා ට සිහි විය. එය අතරමං වීමක වියවුල් හැඟීමක් දනවයි. ඔහු හැඳ උන් සුදු කමිසය පවා හොඳින් මැද ගත් එකක් නො වන බව ඇයට පෙනිණ. ඇතැම් විට සෝදා රෙදි එල්ලනයක එල්ලා තිබී, මදින්නේ නැතිව ම ඇඳ එන්නට ඇත. ආරාධනා දැන සිටි කාශ්‍යප නම් මදින්නේ නැතිව ඇඳුම් හැඳි පුද්ගලයෙකු නොවේ. අඩු තරමින් කමිසයක එක රැල්ලක් හෝ නැති වන සේ ඔහු ඉතා හොඳින් ඒවා මැද්දේ ය. 

අවංක ශෝකයක් ආරාධනා ගේ පපුවට කිනිසි තුඩක රිදවුමක් දනවන ලදී. ඒ රිදුම සෛලයෙන් සෛලයට බෝ වී, පැතිරී, පපු කුහරය ම ශෝකයේ දුමාරයෙන් පුරවා ලන්නට විය. නමුත් ඇය ඒ බැල්මෙන් දිගට ම ඔහු දෙස බලා සිටියා ය. ඔහු ඇයට පෙම් කොට නො තිබුණේ වී ද වසර හත අටක් ඔවුහු එකට ජීවිතය බෙදා ගත්හ. දරුවන් තැනූහ. ඔහු ගේ අත ගෙන පෝරු මස්තක වූ දා සිට වෙනත් කිසිදු පිරිමියෙකු ඇගේ ජීවිතය හතර මායිමක වූයේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇය බිරිඳක ගේ යුතුකම් ඉටු කළා ය. ඔහු ගේ දරුවන් ගේ යුතුකම් ඉටු කළා ය. ඔහු ගේ මව් පියන්ට ද සොයුරු සොයුරියන් ට ද වෙනසක් නැති ආදරයකින් ආදරය කළා ය. ඒ සියල්ලන් ඇගේ හදවතේ කොටස් සේ සැලකුවා ය. ඔහු ඇගේ දෙවියන් සේ පිදුවා ය. නමුත් සාර්ථක විවාහයක් යනු ඒ කිසිත් ම නොවේ. සාර්ථක විවාහයක් තුළ උනුන් වෙනුවෙන් වෛවහාක ප්‍රේමයක් පැවතිය යුතු ය. ඒක පාර්ශ්විකව නොව ද්වී පාර්ශ්විකව එය පැවතිය යුතු ය. තුන් වැනියෙකුට එන්නට හිස් තැනක් නො තිබිය යුතු ය. නමුත් දැන් ඒ සියල්ල සිදු වී තිබේ. 

නිකමට හිස හරවත්දී කාශ්‍යප ආරාධනා ගේ, ඔහු වෙත යොමු වී ඇති බැල්ම දුටුවේ ය. ඔහු වහා ඉවත බලා ගත්තේ ය. ආරාධනා ගේ දෙතොල් අතරට වේදනාත්මක මුත් මඳ සිනහවක් ආවේ ය. මේ වෙන්ව යන මොහොතේත් ඔහු තමන් පිලිකුල් කරන්නේ යයි ඇයට සිතිණ. 

පිටුපස සෙනග අතරේ දෑත් පපුවේ බැඳ  සිට ගෙන උන් කවීශ්වර ගේ ඇස් යොමු වී තිබුණේ ආරාධනා දෙසට ය. ඇය කාශ්‍යප දෙස බලා උන් විලාශය තේරුම් ගන්නට ඔහු දන්නේ නැත. එය ප්‍රේම විවාහයක් නොවූ බව ඔහු දනී. නමුත් ආරාධනා කියන්නේ  විවාහය වෙනුවෙන් පේ වූ තරුණියක බව ඔහු වඩා මැනවින් දනී. කවීශ්වර සුරතේ ඇඟිලි වලින් නිකට පිරිමැද ගත්තේ ය. 

කාශ්‍යප, සරැලි නගනා විඳවුම් වෙරළක කලබලකාරී හදක් දරා ගෙන සිටියේ ය. ආරාධනා ගෙන් වෙන් වී යන්නට ඔහු ට ඕන වුණ බව ඇත්ත ය. නමුත් මේ වගේ මොහොතක් ගැන කල්පනාවක් ඔහු ට වූයේ නැත. මෙය හද දවනා නිස්සාර වූ හැඟීමකි. ලෝකයට ම පේන්නට හද්දා මගුල් කා ඇය ගෙදරට කැන්දා ගෙන ආවේ ම අවංක වූ හදවතකින් නොවන බව කාශ්‍යප දනී. ඔහු ඇය ආවාහ කොට ගත්තේ ස්නේහ පදනමක් මත නොවේ. තනිකර ආත්මාර්ථකාමී හැඟීමක් මත ය. ඒ වෙලාවේ ලෝකයට පේන්නට විවාහයක් පමණක් ඔහු ට අවැසි විය. දරුවන් දෙදෙනෙකු ආරාධනා ගේ කුසයට ආවේ ද කායික අවශ්‍යතා සපුරා ගැනීමක ප්‍රතිඵල ලෙස මිස හැබෑ ආදරයක උත්කෘෂ්ටය මත නොවේ. නමුත් ඔහු දරුවන් ට ආදරය නො කළායි කිව නො හැකි ය. විශේෂයෙන් ම බිඟුනි ට ඔහු පණ සේ ආදරය කළේ ය. 

නමුත් සමහර දේවල් සිදු වන්නේ එසේ ය. ආරාධනා අත් හැර යත්දී නො සිතුණ දේවල් දැන් කාශ්‍යප ට සිතේ. ආරාධනා සමග මුළු පවුලක් ද දරු දෙදෙනා ද අහිමි වී යතැයි යන හැඟීම ඔහු දෙදරවයි. සෞභාග්‍යා ලැබෙන්නේ සිය පවුල අහිමි වී යයි සිතීමත් බියකරු වූ යමකි. මුළු පවුල ම ආරාධනා සමග සිටීමත්, ඔහු හුදෙකලා අසුනක කාත් කවුරුත් නැතිව සිටීමත් ආත්මය ලැජ්ජාවෙන් හකුළා ලයි.

දෙවියන් විසින් එක් කළ අය මිනිසුන් විසින් වෙන් නොකෙරේවා යි පැතුමක් බයිබලයෙහි වේ. නමුත් පෝරුවෙහි දී අතැඟිලි බැඳ එක් වූ ඔවුහු උසාවියේ දී එකට ඉන්නට බෑ කියා වෙන් වීමට අවසර ඉල්ලන්නට යති. ජීවිතය එහෙම ය. ඕනෑ ම දෙයක් ඕනෑ ම මොහොතක ජීවිතයක් මත්තේ සිදු විය හැකි ය. 

ආරාධනා වෙනුවෙන් නඩුව ගොනු කරනා නීතීඥවරිය, මේ දික්කසාදය වෙනුවෙන් බලපාන්නා වූ කාරණා උසාවියට ඉදිරිපත් කළා ය. ඔහු ඇයව සහ දරු දෙදෙනාව ද්වේශ සහගත ලෙස හැර ගොස් තිබේ!

“ආයෙ ඕගොල්ලොන්ට උසාවි එන්න වෙන්නෙ තීන්දුව දෙන දවසට. වැඩි කල් ඇදෙන්නෙ නෑ. ඉක්මනට නඩුව ඉවර වෙයි”

අවසන නීතීඥවරිය පැමිණිල්ලේ සාමාජිකයන් ට කීවා ය. මහත් හිස් හැඟීමක් දරා ගෙන ආරාධනාත් කාශ්‍යපත් උසාවියෙන් දෙපසට වෙන් ව ගියහ. එක විවාහ සම්බන්ධයක් එසේ අතීතයට එකතු විය!

දුකක් නො දැනුණා නොවේ. ආරාධනා කඳුළක් පිස ගනු ද කවීශ්වර දුටුවේ ය. නමුත් ඒ හෙළා අවසන් වූ කඳුළු වල අන්තිම අග්ගිස්සේ ශේෂ වී තිබි කඳුළු බිඳුවකි. 

දවසට දෙකට ආරාධනා ගේ ජීව විද්‍යාව පුනරීක්ෂණ පන්තියේ සිසුන් වැඩි විය. විශේෂයෙන් ම ඇය ඉගැන්වූ බාලිකා පාසලේ, නිවාඩු යන්නට පෙර භාර ව සිටි පන්තියේ දැරියන් කිහිප දෙනෙක් ම ද වෙනත් පන්ති වල ළමයින් පිරිසක් ද ආරංචිය දැන ගත් වහා ම ඒ පන්තියට එක් වූහ. ඒ ආරාධනා ජීව විද්‍යාව විෂය ට පාසල තුළ ජනප්‍රියව සිටි චරිතයක් වූ නිසා ය. ඇගේ ප්‍රතිඵල උසස් වූ නිසා ය. විභාගයට ඒ තරම් කාලයක් නො තිබුණෙන් ළමයින් සේ ම ගුරුවරිය ද වෙහෙස වී වැඩ කළ යුතුව තිබිණ. නැවතත් උගන්වන්නට ලැබීම නිසා ආරාධනා ප්‍රබෝධවත් වූවා ය. ළමයින් එන්න එන්න ම වැඩි වී ම සතුට වැඩි කිරීමේ ලා හේතුවක් විය. 

පන්තිය සඳහා ආරාධනා ව මහ ගෙදර කැටිව යන්නේ කවීශ්වර ය. ඇය දිවි තොර කර ගන්නට ගිය සිදුවීමෙන් පසු, මුල් වතාවට ඒ ගමන යන්නට සූදානම් වන විට කවීශ්වර බිඟුනිව ගෙන ගෙදර විත් සිටියේ ය. 

“යං මං ගේ ළඟින් දාල එන්නං”

කවීශ්වර ආරාධනා ට ඒ ඇරයුම කළේ අම්මා හා තාත්තා දෙදෙනා ම ඉදිරියේ ය. ආරාධනා ඇස් ලොකු කොට බැලුවා ය.

“පිස්සුද කවීශ්වර…මට යන්න පුළුවන්. කැබ් එකක් දා ගන්නව”

“යන්න පුළුවන් කියල මං දන්නව. ඒකට කමක් නෑ මං එක්කං යන්නං”

එය තරමක තරවටු ස්වභාවය ගත් විධානයකි. ආරාධනා සිනහවක් නගා ගත්තා ය.

“ඔයාට පුළුවන් ද අනේ හැමදාම මාව එහෙට මෙහෙට ඇද ඇද ඉන්න…අනික මං පොඩි ළමයෙක්ද…බිඟුව ඉස්කෝලෙ ගෙනිච්චහම ඇති. ඒක ගෙවල ඉවර කරන්න බැරි උදව්වක්”

“මේ…පැහෙන්නැතුව ගිහිං කා එකට නගිනවද…”

කවීශ්වර එසේ කීවේ තරමක් තදිනි. නො එසේ වී ව ඇය එකඟ කර ගන්නට පහසු නැති බව ඔහු ට දැන් දැන් අවබෝධ වෙමින් තිබේ. ආරාධනා ගේ ඇස් වලට කඳුළක තෙත උනා ආවේ ය. වහු පැටවෙකුගේ වන් දිළිහෙන බෝල ඇස් වලින් බලා ඕ කවීශ්වර ට ගතු කීවා ය.

“මං දන්නව. ඕගොල්ලොන්ට තාම සැකයි මං ජීවිතේ නැති කරගෙන ඕගොල්ලොංව අමාරුවෙ දායි කියල”

“මගුලක් කතා කරනව”

එවර නම් කවීශ්වර ට එසේ කියවුණේ කේන්තියට ම ය. ඔහු මූණ පුම්බා ගෙන වැරැන්ඩාවේ පසෙකට ගියේ ය. කහඹිලියා ගෑවුණා සේ එක තැන නළියෑවේ ය. කවීශ්වර ට කේන්ති ගිය බව ආරාධනා ට සේ ම රාජිකා මැණිකේ ට ද දැනිණ. ඕ තොමෝ හෙමිහිට ලේලිය වෙත ආවා ය.

“දුව. තාම ඔයා හිත කරදරෙන් ඉන්නෙ කියල අපි හැමෝම දන්නවනෙ. ඉතින් අපි ඔයා ගැන බලන්න ඕන. ඔයාව බලා ගන්න ඕන. ඔයාගෙ අම්මලට පරිස්සමට බාර දෙනකල්. ඇත්තටම දික්කසාද නඩු දාල ලේලි නැන්දම්ම මාම එක්ක ඉන්න එක ම තැනක්වත් මේ ලෝකෙ වෙන තියනවද කියල මං දන්නෑ. ඒක අපිට ආඩම්බරයක්. ඔයා අපිට මැණිකක්. ඔයාව ආපහු දෙන්න ලෝබ වුණත්…පරිස්සං කරල අපි දෙන්න ඕනනෙ”

කවීශ්වර දමා ගසා ගොස් රියට නැග ගත්තේ ය. කේන්තිය වැඩි කමට ඔහු සැර දමා ගෙන යන්නට පුළුවන් බව දන්නා ආරාධනා ඉක්මන් කොට ගොස් එහි නැග ගත්තා ය. විදුලියක් වාගේ රිය ඉගිළිණ. 

“අපේ එකාට යන කේන්තියක් ඇත්තට”

රාජිකා මැණිකේ, නික්ම යන රිය දෙස බලා සිටිනා ගජධීර වෙතට විත් කීවා ය.

“අර ළමයට බනියිද කියලයි මට බය…මගදි”

ඇයට තව දුරටත් ඌණ පූර්ණය කරන්නට කාරණා තිබිණ.

නමුත් කවීශ්වර බැන්නා නොවේ. කළේ වදනක් හෝ නො දොඩා කේන්තිය පෙන්වමින් වේගයෙන් රිය පදිනා එක ය. ඒ අතරේ කිහිප වරක් ම අනතුරු වලකා ගන්නට තිරිංග තද කළේ ය. වෙනත් රියදුරු වරුන්ට කෑගැසුවේ ය.

“මාත් එක්ක තියන තරහ වෙන මිනිස්සු පිටිං යවන්න එපා ඉතිං. ඔය තරං ස්පීඩ් ඩ්‍රයිව් කරල කරදරයක් වුණොත් එහෙම…මටනං බයේ බෑ මේකෙ යන්න”

තව මඳක් දුර ඒ වේගයෙන් ම ගොස් ඉන් පසු ඔහු රියෙහි වේගය අඩු කළේ ය. ආරාධනා ඇස් දෙකට හසු වන අවකාශය දෙස බලා ගත්තා ය. අද දරුවන් ට කරනා පුනරීක්ෂණ පාඩම ගැන සිතුවා ය. නමුත් කවීශ්වර ගේ හිතේ කේන්තිය එලෙස ම තිබිණ. 

“පැය දෙකක් තියනව ක්ලාසෙක. ඔයා..කරදර වෙන්න ඕන නෑ කවීශ්වර. මට එන්න පුළුවන්”

රිය දොර හැර බසිත්දී ඇය දෙගිඩියාවෙන් කීවා ය. කවීශ්වර ඇදෙස බැලුවේ හෝ නැත. නමුත් පන්තිය නිමා වෙන්නට විනාඩි දහයක් තිබියදී ඔහු ගේ රිය සේනාසිංහ මැදුර ළඟ නැවතී තිබිණ. ආරාධනා සැහැල්ලුවෙන් විත් එහි ගොඩ වූවා ය. සැබවින් කවීශ්වර ගේ රිය දුටු විට ඇය සතුටු වූයේ ඉක්මනට ගෙදර යන්නට තිබූ ඕනෑ කම නිසා ය. සඳයුරු හඬනවා ඇත්ද, අම්මාටත් තාත්තාටත් ඔහු සනසවා ගත හැකි වේද යන දෙගිඩියාව ඇයට තිබිණ. නමුත් සඳයුරු රාජිකා මැණිකේ ගේ උකුළේ නැලවුණේ ය. ගජධීර ගේ උරහිසේ සැසුණේ ය.

එන ගමනේ දී ද කවීශ්වර මුණිවත ම රැක්කේ ය. ආරාධනා වරින් වර ඔහු දෙස අඩැසින් බැලී ද ඔහු බැලුවේ හෝ නැත. මේ තරමින් ඔහු කේන්ති ගෙන සිටි දිනයක් සිහිපත් කර ගන්නට හෝ ඇයට නො හැකි ය.

“තාමත් තරහෙන්ද ඉන්නෙ ඔය…”

අන්තිමට ඇය ම ඒ නිහැඬියාව බිඳිමින් කතා කළා ය. කවීශ්වර ඒත් කතා නො කළේ ය. ඒ නිහඬ තත්පර කිහිපයේ ඇය හැරී ඔහු දෙස බලා සිටියා ය. ආරාධනා පව් ය යන සිතිවිල්ල කවීශ්වර ගේ දැඩි හිත මොළොක් කරන්නට විය.

“මං මොකටද තරහ ගන්නෙ…”

නෝක්කාඩුවෙන් වාගේ කීවාට මේ දෙහෝරාව පුරා ම හිත වාං දමමින් පැවති නො සන්සුන් බව ක්ෂණයෙන් අහෝසි වී යනවා වාගේ ඔහු ට දැනෙන්නට විය. 

“මං දන්නව කවීශ්වර…ඕගොල්ලො ඔක්කොමලම මට හරි ආදරෙයි. ඒක අද ඊයෙක නෙවෙයි මං පොඩි කාලෙ ඉඳං ඒ ගෙදරින් ලැබුණ දෙයක්. ඒත්…කරදර කරන එකෙත් සීමාවක් තියනවනෙ…”

“එතකොට ඔයාටත් දැං අපිව කරදරයක්ද…ඩිවෝස් කේස් එක ෆයිල් කරල තියෙද්දිත් අම්මගෙ අත කැඩිල නිසා අපේ ගෙදර නතර වෙලා ඉඳං ගෙදර සුමේ ඔක්කොම කරන එක වදයක්ද…කෑම ටික මේසෙටම යවල අපිට කන්න කියල කියන එක වදයක්ද…ආ…අපිත් ඔයාට වදයක්ද…”

“මොනාද අනේ කියවන්නෙ…මට කොහොමද කවීශ්වර ඔයාගෙ ගෙදර අය ගැන එහෙම හිතෙන්නෙ…මගෙ ගෙදර ඉන්නවටත්  වඩා මං ආස කළේ සැනසුම් පායෙ ඉන්න. අදටත්..තාමත්..අම්මගෙ අත කැඩුන නිසා හරි මට තව ටික දවසක් එහෙ ඉන්න පුළුවන් වෙච්ච එක ගැන මං තනියම හිතෙන් සතුටු වුණා. ඒක පපුවටම දැනුණ බැඳීමක් කවීශ්වර. ඔයාට ඒක තේරුං ගන්න බෑ”

ඒ අන්තිම වාක්‍යය නැවත ද ඔහු ගේ කේන්තිය අවුළුවා ලී ය. ඇය ඉස්සරත් හිතුවේ ඔහු ට කිසිත් තේරුම් ගන්නට බෑ කියා ය. දැනුත් එසේ ම ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles