ප්‍රේමයේ අභිමන් -02

ඇඳ සවි කොට අනිත් කුඩා බඩු අවශ්‍ය ලෙස තැන්පත් කර ගත් පසු ඒ හිස් අවකාශයෙහි කරන්නට දෙයක් තිබුණේ නැත. අපරාජිතා සිය ඇඳුම් කැඩුම්, ගෙන ආ සූට් කේසයේ ම තියෙන්නට හැරියා ය. නමුත් ඇඳුම් අසුරා තබන්නට කුඩා හෝ අල්මාරියක් ද පොත් තැන්පත් කරන්නට පොත් රාක්කයක් ද කුඩා ශීතකරණයක් ද අත්‍යවශ්‍ය බව පෙනුණේ ය. ජීවිතය මඳින් මඳ සංකීර්ණ වන හැටි! අපරාජිතා ගේ මුහුණට සිනහවක් නැගිණ.

එදා දේශිකා ට වැඩ තිබුණෙන් ඇය ට උඩහමුල්ලේ ගෙදරට පැමිණිය නො හැකි විය. අපරාජිතා ට බඩු එහෙ මෙහෙ කිරීමේ වෙහෙස තිබිණ. ඒ නිසා ම දිවා ආහාර නො පිසින්නට ඕ තීරණය කළා ය. ආසන්න සුපිරි වෙළෙඳ සැලකට ගොස් ඇපල්, කෙසෙල් හා අලි පේර ගෙඩි කිහිපයක් ගෙන ආ ඇය දිවා අහර ලෙස පලතුරු කෑවා ය. 

ජීවිතයේ පෙර කිසිම දා ක නො දැනුණ විදිහේ පාළුවක් ඇයට දැනෙන්නට ගති. ඒ ඉඩම හා මහල් නිවස යන අවකාශයෙහි උන් එක ම මිනිස් ප්‍රාණියා ඇය පමණකි. පහළ හිමිකාර ගෙදර කිසිවෙකු තවමපඇගේ නෙත ගැටුණේ නැත. ඔවුන් සියලු දෙනා උදේට ගෙදරින් නික්ම යනු ඇතැයි ඇය සිතුවා ය. තනිකම ගැන බියකරු සිතිවිල්ලක් ඇගේ ලේ වලට කාන්දු වන්නට විය. මේ නිවහනෙහි හිස් අවකාශය වැඩි ය. බේජ් පැහැති ෆ්ලෝ ටයිල් එක නිසා ඉඩකඩ තවත් වැඩි වී පෙනේ. භාණ්ඩ වලින් හිස් වීම නිසා දෝංකාරය වැඩි ය. ඒ සියල්ල හදවත තිගැස්මක සතපනා පුංචි පුංචි කාරණා ය. 

අපරාජිතා රිය පදවා ගෙන දියත උයන දෙසට ගියා ය. ඒ ගේ වාගේ ජීවිතය හිස් කළ නො හැකි ය. ඉතා කුඩා ආශ්චර්යයන් ජීවිතය මත්තේ සිදු විය යුතු ම ය. පසුව අපට නොවැදගත් සේ හැඟුණ ද ඒ නො වැදගත් දේ පවා ජීවිතය පවත්වාගෙන යනු වස් බලාපොරොත්තු දල්වයි. ගිලෙන්නට යන මිනිස්සු පිදුරු ගස් වල පවා එල්ලෙති. කොතැනකින් හෝ ඇරඹුමක් ගත යුතුව තියේ. මල් අතරේ බෝ වෙලාවක් ගෙවා දැමූ ඕ කැක්ටස් අලෙවි කුටියක් ළඟ නතර වූවා ය. 

“ගෙවල් වල පතොක් වවන්න හොඳ නෑ මනුස්සයො. ඔය කටු ගස් තියන්න එපා හතර මායිමක”

හිස කරකැවී යන කම්මුල් පහරක් වැදුණා සේ ඒ වචන ටික අතීතයෙන් ඇසුණේ ය. අපරාජිතා ගේ යටි තොල සැපී ගියේ ය. දිවට ලේ රසක් දැනිණ. ඇය සුසුමකින් පපුව පිරෙන්නට හැරියා ය. 

එතැන නෙක පැහැති කැක්ටස් වර්ග තිබිණ. සමහර ගස් වල දීප්තිමත් වර්ණ වලින් යුතු පතොක් මල් පිපී තිබිණ. සමහර ගස් පවා මල් වාගේ ය. ඒවායේ වන්නේ වෙන ම කලාවකි. විශ්වය කැක්ටස් කියා දෙයක් මවන්නට ඇත්තේ මිනිසුන් ට සොබා දහම කෙතරම් අසිරිමත් දැයි වටහා ගන්නට ය. නමුත් අරවින්ද ඇගේ පතොක් මල් පෝච්චි කිහිපය මිදුලට විසි කර දැමීමෙන් පසු ඇය යළි පතොක් දෙස බැලුවේ නැත. අනුන් වෙනුවෙන් සිය ආශාවන් පපුව යට ඔබා ගෙන හිඳීමේ අසීරුව ඇය නිවැරදිව අත් වින්දේ මේ මොහොතේ ය.

කැක්ටස් පැළ සාමාන්‍යයෙන් මිලාධික ය. නමුත් ඒවා එකතු කිරීම කියන්නේ පිස්සුවකි. ඒ පිස්සුවට අපරාජිතා කැමති වූවා ය. ජීවත් වෙන්නට නම් දවස ගෙවී යනු වස් පිස්සු කිහිපයක් හෝ අප හා බැඳී පැවතිය යුතු ය. ඇය කැක්ටස් ප්‍රබේධ කිහිපයකින් පැළ මිල දී ගත්තා ය. ඊළඟට මල් බඳුන් අතරේ සැරිසරා ඒවා සිටුවන්නට සුදුසු කුඩා බඳුන් මිල දී ගත්තා ය. 

 පැළ ගෙන බඳුන් අලෙවි කරනා කුටි වෙත යන්නට නම් බොජුන් හල පසු කළ යුතු  ය. අපරාජිතා කොංක්‍රීට් මේස අතරින් රිංගා යත්දී ඒ මේසයක තවත් තරුණ තරුණියන් දෙතුන් දෙනෙකු සමග කතා කරමින් සසංක සිටියේ ය. සැබවින් ඔවුන් කතා කළේ රූ ගත කිරීමට නියමිත වෙලෙඳ දැන්වීමක දර්ශන පිළිබඳව ය. මල් ගොමුවක හිඳිනා තරුණියක ගේ දර්ශනයක් සියලු දෙනා ගේ අදහස් වලට අනුව තීන්දු වී තිබිණ. නමුත් කැක්ටස් බඳුන් ටිකක් දෑතින් තුරුලු කර ගෙන තෘප්තිමත් මඳහසකින් බංකු අතරින් ඇවිද එන තරුණිය වෙත සසංක ගේ ඇස් රැඳී තිබිණ. ගැහැනියකට සතුටු වන්නට කෙතරම් කුඩා දේවල් ප්‍රමාණවත් දැයි ඔහු ට සිතිණ.

“මචාං…අර පිපිච්ච මල් ගොඩක් මැද්දෙ කෙල්ල ඉන්න සීන් එක අපි කැක්ටස් අතරෙ ඉන්න කෙල්ලෙක් විදිහට වෙනස් කරමු”

ඔහු යටතේ සේවය කරනා තරුණ තරුණියෝ දෙතුන් දෙනා උනුන් ගේ මුහුණු බලා ගත්හ. සියල්ල අංශුවට ම සැලසුම් කොට තිබියදී සසංක මුළුමනින් එය වෙනස් කොට දැමුවේ ය. ඔහු ගේ හැටි දන්නා සගයෝ ඊට එරෙහි ව වචනයක් කියන්නට ඉදිරිපත් වූයේ නැත. සසංක මේ වාගේ ක්ෂණික තීරණ ගනී.

ඉන් පසුත් හෝරා ගණනක් ගෙවී යන තෙක්, කැක්ටස් තුරුළු කොට ගෙන ඇගේ ම ලෝකයක පා වෙවී යන ප්‍රීතිමත් ස්ත්‍රී සෙවනැල්ලක් සසංක ගේ හිතේ සක්මන් කරමින් සිටියා ය.

අපරාජිතා ගේ ඒ සැන්දෑව කැක්ටස් බඳුන් ගත කොට බැල්කනිය කොනක් සැරසීම වෙනුවෙන් ගත විය. ජලය ස්ප්‍රේ කිරීමෙන් පසු ඇය පසෙකට වී එදෙස බලා සිටියා ය. ඇගේ මුවග තෘප්තිමත් මන්දස්මිතයක් විය. වෙනත් සම්ප්‍රදායික මල් වෙනුවට කැක්ටස් හා පෙමින් බැඳීම පහසු ය. විශේෂයෙන් ම අපරාජිතා වාගේ ඒකාකාරී දින චර්යාවකට රිසි නොවන ගැහැනියකට පහසු ය. ඒවා නඩත්තු කරන්නට විශේෂ කාලයක් වෙන් කළ යුතු නැත. හැමදාම ජලය නො සැපයූවා කියා අමනාප වී මියැදෙන්නේ නැත. කටුක ජීවිතයක් මැද්දේ වුව සිනහ වී මල් දරනා හැටි කැක්ටස් වලින් උගත හැකි ය. 

සසංක ආවේ රෑ බෝ වී ය. අපරාජිතා ඒ රිය හඬ අසා ගෙන ය. ඒ වෙලාවේ ඇය ටෝස්ට් කළ පාන් සමග එළවළු සුප් වල රස විඳිමින් බාර්බරා ටේලර් බ්‍රැඩ්ෆර්ඩ් ගේ ‘අ මෑන් ඔෆ් ඔනර්’ නවකතාවේ අකුරු අතරේ කිමිදෙමින් සිටියා ය. ගෙහිමියන් කවුරුන්දැයි තවමත් කුළීකාරිය දැන සිටියේ නැත. කුළී නිවසට පැමිණි පවුලේ සාමාජිකයන් ගණන කීයද කියා හෝ ගෙහිමියා දැන නො සිටියේ ය. තවත් හෝරාවකට පමණ පස්සේ පහළ මහල දෙසින් ගිටාරයක තත් හැඬවිණ. ඒ ‘සීල්ඩ් විත් අ කිස්’ ගීය බව අපරාජිතා දැන හඳුනයි. මේ සියල්ල පපුවට හුරු පුරුදු වේදනා ය. 

නිදන්නට ඇඳට වැටෙන්නට පෙර අරවින්දගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. තිරය මත ඒ නම සනිටුහන් ව තිබෙන හැටි දෙස අපරාජිතා හිස් දෑසකින් බලා සිටියා ය. ඒ ඇමතුමට පිළිතුරු දෙනවා ද නැත්ද කියා සිතමින් සිට ඇය දුරකතනය අතට ගත්තේ අන්තිම මොහොතේ ය.

“නිදාගෙනද හිටියෙ…”

අපරාජිතා ඇස් තද කොට පියා ගත්තා ය.

“ම්හු”

“දුව කතා කළා. ඔයා ගෙදරින් ගියා කිව්ව. තැන් තැන් වල කුළියට ලගින්න ගියේ මොන එහෙකටද….”

“ලගින්න…”

ඇය තරමක් හඬ ගොරහැඩි කොට ප්‍රතිරාව නැංවූවා ය. අරවින්ද ගේ මේ ඇමතුම යට වූයේ එවන් චෝදනාවක් නොවේ. අපරාජිතා කුළී නිවසකට ගිය බව දැනගත්  ගමන් ඔහු ට දැනුණේ පපුවට දරුණු පහරක් වැදුණා වන් රිදුමකි. ඇය මහ මගට වැටුණා වන් රිදුමකි. ඔහු ඇය ට ඔවුන් ගේ රාජජධානිය තුළ රැජිනක ගේ සුව පහසුව තනා දුන්නේ ය. සිය දියණිය ගේ මව වශයෙන් ඔහු ගෙන් ඉටු විය යුතු යුතුකම් නො පිරිහෙළා ඉටු කළේ ය. නමුත් ඔවුන් දෙදෙනා අතරේ පෑහිය නොහැකි යම් කිසිවක් තිබිණ. ඒ හිදැස පියවා ගැනීමේ උත්සාහයක වසර දහ අටක් නිරත ව හිඳීමෙන් පස්සේ දෙදෙනා ම හති වැටී ජීවිතය මැද නතර ව සිටියහ. ඒ නිසා මේ වෙන් ව යාම සිදු වී ද ඈ කෙරේ ඔහු ගේ සිත් හි වන ආදර ගෞරවය තව ම වෙනස් වී නැත්තේ ය. ඉන්න හිටින්නට තැනක් නැති ගැහැනියක සේ ඇය කුළී ගෙදරකට ගිය බව දැන ගත්දී අරවින්ද ගේ හද ඉරිතලා ගියේ ය.

“කිසි තේරුමක් නැති වැඩක්නෙ අපූ ඔයා කරල තියෙන්නෙ”

“අපරාජිතා”

ඇය තදින් කීවා ය. කෙටි නමින් ඈ අමතන්නට තරම් සමීප බවක් දැන් ඔවුන් දෙදෙනා අතරේ නොවේයි ඒත්තු ගන්නට හා ගන්වන්නට ඇය ට ඕනා විය.

“ඒ ගෙදරට ආයෙ මං අඩිය තියන්නෑ කියල ඔයා හොඳට දන්නව. දික්කසාද වෙච්ච ගෑනියෙක් තනියම කුළී ගෙදරක ජීවත් වෙන එක මොනතරං රිස්ක් එකක්ද කියල ඔයා තාම දන්නෑ. අනිත් එක ඔයාගෙ මුරණ්ඩුකම තාම හෙල්ලිලා වත් නෑ.  ඒකයි මේ ඔක්කොම”

“මං කරන්නෙ මට හරි කියල හිතෙන දේ අරවින්ද. ඇත්ත. මං මුරණ්ඩුයි තමයි. මගෙ මුරණ්ඩුකමත් එක්ක මං කැමති විදිහට පියාඹන්න ඉඩ දීල මාව පරිස්සං කරන්න උවමනාවක් කවදාවත් ඔයාට තිබුණෙ නෑනෙ. ඔයාට ඕන වුණේ තටු කපල දාල ඔයාට ඕන විදිහට මාව කූඩු කරගෙන තියාගෙන බලං ඉන්න.දෙයියංගෙ නාමෙට දැංවත් මට පාඩුවෙ ඉන්න දෙන්න අරවින්ද. මං ගැන වද වෙන්න එපා. අපේ දුව තරංවත් වැඩුණ ගෑනියෙක් විදිහට ඇයි ඔයා මං දිහා බලන්නැත්තෙ…මට පුළුවන් තනියම ජීවත් වෙන්න. මට පුළුවන් මගෙ ජීවිතේ මැනේජ් කර ගන්න. ප්ලීස්…ඔයා මං ගැන හොයන්නෙපා”

“හිතුවක්කාරකම ඉහ වහා ගිහිං. හිතං ඉන්නෙ ඉගිල්ලෙන්නනෙ. බිමට කඩං වැටුණ දවසට මාව මතක් වෙයි තමුන්ට”

එසේ කියා අරවින්ද දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. නමුත් තව බොහෝ වෙලා ගත වෙන තෙක් හිත එකලස් කර ගන්නට ඔහු ට හැකි වූයේ නැත. තව නොබෝ දිනකින් දෙවන විවාහයට සූදානම් වෙමින් සිටිය ද අපරාජිතා ගේ මේ හිතුවක්කාර පැවතුම් ඔහු ගේ පිරිමි හිත දැදිරි කරවයි. දික්කසාදය ලැබුණ ගමන් තවත් විවාහයක් කර ගැනීම ගැන ඔහු ගේ හිතට හරි නැති වී ද, වසර කිහිපයක් තිස්සේ ඇති කර ගත් සබඳතාවයක් නිසාවෙන් ශාලිකා ට අසාධාරණයක් කරන්නට ද ඔහු ට නො හැකි ය. 

අපරාජිතා සිය බිරිඳ ලෙස සිටියදී ම ශාලිකා සමගින් ඇසුරක් ඇති කර ගැනීම දෛවයේ සරදමක් සේ අරවින්දට දැන් දැනේ. අපරාජිතා වූ කලී මේ යයි පෙන්විය හැකි වරදක් කළ ගැහැනියක නොවේ. නමුත් ඔවුන් දෙදෙනා අතරේ කිසි දා පහ කළ නො හැකි වූ නොරිස්සුමක් වර්ධනය වෙමින් තිබුණේ ඇරඹුමේ සිට ම ය. අරවින්ද කියන්නේ කූඩුවේ දමා කුරුල්ලන් ගේ හැඩ බලන්නට කැමති විදිහේ පිරිමියෙකි. අපරාජිතා වූ කලී ඉගිලෙන්නට ආශා කළ කිරිල්ලකි. නොගැලපීම ඇරඹුණේ එතැනිනි. ලෝකයට මොනවා පෙන්වී ද අරවින්ද තුළ සම්ප්‍රදායික පිරිමියෙකු ජීවත් වූයේ ය. අපරාජිතා සම්ප්‍රදාය ප්‍රශ්න කළා ය. පතොක් වැවීම ජ්‍යෝතිෂ්‍යයට අනුව නුසුදුසු යයි කිසිවෙකු වෙතින් ඇසූ ඔහු අපරාජිතා ගේ පතොක් විසි කළේ ය. ඇය ජ්‍යෝතිෂ කරුවන් ට සිනහ වූවා ය. ඔහු ගේ මතයන් ට ප්‍රහාර එල්ල කිරීමෙන් ඇය සතුටු වූ අතර, ශාලිකා ගේ සුවච කීකරු ආදරය වෙත අරවින්ද ඇදී යන්නට වූයේ ය.

අවසන ඒ විවාහය නීති පොතෙන් කටු ගා දැමිණ. 

තව වැඩි වෙලා යන්නට පෙර දියණිය අනන්‍යා අපරාජිතා ට වට්සැප් ඇමතුමක් ගත්තා ය.

“තාත්ත කතා කළා ටිකකට කලින්. එයා ඔයා එක්කත් කතා කළා කිව්ව”

“හ්ම්. එයාලගෙ වෙඩින් එකට රෙඩි වෙනව කිව්ව”

අපරාජිතා මඳක් නිහඬ වූවා ය. අරවින්ද වෙනත් විවාහයක බැඳීම ගැන ඊර්ෂ්‍යාවක් සිය හදවත තුළ වන්නේ දැයි ඇය නොයෙක් වර ඇගෙන් ම ප්‍රශ්න කොට තිබේ. ඒ ගැන සිතත්දී යම් වෙනසක් හදවතේ වන බව පිළිගත යුතු ය. සමහර විට එය පරාජය පිළිගන්නට වීමක් විය හැක. නුසුදුසු ගැහැනියක සේ ප්‍රතික්ශේප වීම දරා ගැනීම පහසු නැත. 

“මීට පස්සෙ මං එයාට කතා කරන්නෑ”

දුකෙන් ද තරහෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මන්දා අනන්‍යා මිමිණුවා ය. විදුලියක් හදවත පුරා ඉහිර ගියා සේ අපරාජිතා ට දැනුණි. විවාහයක් දික්කසාදයකින් කෙලවර කරනවා කියන්නේ සරල වූ යමක් නොවේ. විවාහයකින් බැඳෙන්නේ ගැහැනියක හා පුරුෂයෙකු පමණක් නම් එය එසේ සරල වන්නට තිබිණ. නමුත් පවුල් දෙකක් ද පවුල තුළට අලුතෙන් එකතු වන දරුවන් ද කෙසේ නම් එසේ කෙළවර කරන්න ද? අනන්‍යාගේ යොවුන් හිත බරපතල රිදීමකට ලක්ව ඇති බව අපරාජිතා ඉඳුරා දැන ගත්තා ය.

“එහෙම කරන්න එපා පුතේ. ආයෙ කෙනෙක්ව මැරි කළාට එයා තමයි ඔයාගෙ තාත්ත. ලෝකෙ වෙන කොතනකවත් ඔයාට වෙන තාත්ත කෙනෙක් නෑ. ඒ වගේමයි..තව කොච්චර දරුවො හම්බ වුණත් ඔයා එයාගෙ ලොකු දුව. කවදාවත් ඒ පොසිශන් එක ඔයාගෙන් උදුර ගන්න කාටවත් බෑ”

“ඒත් අම්ම…”

“අපිට වෙන් වෙන්න හේතුවක් තිබුණා. අපි අතරෙ නොගැලලීමක් තිබුණා. මට වඩා තාත්තිට ආදරේ කරන කෙනෙක්…මට වඩා තාත්තිට ගැලපෙන කෙනෙක් හිටිය. ඒක නිසා අපි අපිට රෙස්පෙක්ට් කරල වෙන් වුණා. ඒත්…ඔයා අපි දෙන්න මැද්දෙ හැමදාම ඉන්නව. ඔයා අපේ දුව”

“ඒත්…තාත්ති ඔයාට ඇරෙන්න වෙන කාටවත් ලං වෙනවට මං කැමති නෑ. තාත්ති ඔයාගෙයි මගෙයි කියලයි මෙචචරකල් මට දැනුණෙ. එයා තව අයට අයිතියි කියල හිතන තැනදි…තව දුරටත් එයා අපිට අයිති නැති කෙනෙක් වගේ මට දැනෙනව”

අපරාජිතා ට දැනුණේ දැවැන්ත පීඩනයක් සිය හදවත සිර කොට ඇතිවා සේ ය. ඇය මඳක් මුව විවර කොට ඒ පීඩනයෙන් අල්පයක් හෝ  පිට වී යන්නට අවකාශ සැලසූවා ය. මේ සියල්ල අනන්‍යා ගේ තුරුණු හදට කෙතරම් පීඩනයක් දනවන්නේ දැයි සිතන්නට පවා හැකියාවක් ඇය ට වූයේ නැත.

“අම්මිගෙන් මං දෙයක් අහන්නද…”

“අ..හන්න…”

අපරාජිතා ගේ හඬ බිඳී ගියේ ය.

“ඔයාටත් දවසක හිතෙයිද වෙන කෙනෙක්ව බඳින්න…”

අපරාජිතා තද කොට ඇස් දෙක වසා ගත්තා ය. නමුත් ඇස් පියන් අතරින් අනවසර කඳුළක් රිංගා ගියේ ය.

“නෑ පුතේ”

ඇය තමන් ගැන බිඳුවක් හෝ නො සිතා, දියණිය වෙනුවෙන් එසේ කියා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content