මන්දාරම් හැන්දෑවක -29

මේඝා කිරි වීදුරුව එකහුස්මට පානය කළ සාලයට එබිකම් කළා ය.ඒ බිනර විය හැකි බව ඈ දැන සිටිය ද ඊයේ වෛද්‍යවරිය පැවසූ සියල්ල ඔහු සමඟ බෙදා ගන්නට ඇයට උවමනා විය.සියල්ල අසා හිඳිමින් ධෛර්යය දෙන හොඳම මිතුරෙකු හිඳීම අන්ධකාර රාත්‍රියක තාරුකා එළියක් දකිනවාටත් වඩා සන්තෝසජනක හැඟීමක් වග මේඝා විශ්වාස කළා ය.බිනර සාලයේ වූයේ නැත.බරාඳයේ ද නොවූ ඔහු සොයද්දී ඔහු මිදුලට වී ආගන්තුකයෙකු සමඟ කතාවක පැටලී සිටියේ ය.ඒ වෙද මහතාගේ රෝගියෙකු නොවන බවත් යසා පැවසූ අමුත්තා බවත් මේඝාට වැටහිණ.

“මේඝා..මේ තරිඳු අයියා ඔයා බලන්න ඇවිල්ල..”

බිනර මේඝාට හඬ ගැසුවේ ය.ඊයේ දවසේ වැඩිමොහොතක් ගත වූයේ මේ තරුණයාට වෛර කරන්නට බව සිහි වූ මේඝාට දැනුණේ ලැජ්ජාවකි.නමුත් ඈ සිනාවතින් ඔහු වෙත ගියා ය.ඔහු ඈ අමතන්නට පෙර මේඝා තරිඳුව ඇමතුවා ය.

“අයියට මං තෑන්ක්ස් කරන්නෙ නෑ.හුඟක් පිං! මං හදිසියේ හිතලා ගත්තු තීරණයක් ඒ.ඒක වෙනස් කරන්න එකපාරටම ආවට පිං..අනික වැව කොච්චර ගැඹුරුද අයියට කරදරයක් වෙයිද මොකුත්ම නොහිතනෙ අයියා පැන්නේ..”

තරිඳු මේඝාට කතා කරන්නට හැර බලා සිටියේ ය.ඈ කෙතරම් යහපත් යුවතියකදැයි තීරණය කරන්නට ඔහුට ඒ කෙටි වෙලාව ප්‍රමාණවත් විණි.බොහෝ තරුණියන් ජනිඳුට ආසක්ත වන්නේ ඔහු අතදිග හැර වියදම් කරන නිසා බව තරිඳු දැන සිටියේ ය.මේඝා එවැනි පටු අරමුණු හඹා යන්නට ඉඩ නැතැයි ඔහු අනතුරුව සිතුවේ ය.මේඝාව ඔහුගේ පෙම්වතියක කරගන්නට ජනිඳුට අවශ්‍ය වූ හේතුව තරිඳු ඉතා සරලව අනුමාන කළේ ය.ඒ ගැන අයියාට ද ඊයේ රාත්‍රියේ පැවසූ අන්දම ඔහුට සිහි විණි.

“මල්ලිත් එක්ක ක්ලබ් යන ඩ්‍රින්ක්ස් ගන්න කෙල්ලො රොත්තේ හිටියෙ නැති මේඝාව ඌ යාලු කරගත්තේ ඇයි කියලද අයියා හිතන්නේ..”

දිනිඳු ඒ පැනයට කිසිත් නොකියා සිනා වූ අන්දම තරිඳුට සිහි විණ.

“ඌට මේඝාව වයිෆ් කරගන්න ඕන උනා.අපේ තාත්තා අම්මව තෝරා ගත්තා වගේම.බොහොම වැදගත්, හොඳට මොළේ තියන එයාව ප්‍රශ්න නොකරන ගෑනියෙක් ගෙදරට ඕන උනා.තමන්ගෙ ළමයිගෙ අම්මා වෙන්න ඕන එහෙම ගෑනියෙක්.ආතල් ගන්න ගෑනු ගෙදරින් පිට ඉන්නව..”

තරිඳු ඒ වචන යළි යළිත් සිහි කරමින් මේඝාට මුදු සිනාවක් දුන්නේ ය.

“අයියා කාලෙකට පස්සෙ දිනිඳු අයියා බලන්න ඇවිත් මං නිසා ඊයේ දවසම නාස්ති වෙන්න ඇති. සමා වෙන්න අයියේ..”

මේඝා යළිත් පැවසුවා ය.ඇයගෙන් සමාව ගත යුත්තේ තම පවුලේ උදවිය බවත් දිනිඳුටත් තරිඳුටත් හිඳින බාල සහෝදරයා ගැන දන්නේ නම් මේඝා ස්තූති කරන්නටවත් තම මුහුණ නොබලන බවත් සිහි වෙද්දී තරිඳුට කෝපයත් ශෝකයත් මතුව ආවේ ය.

“මං ස්විමිං කරන කෙනෙක් නංගි.මගෙ හොපි එක පැෂන් එක ඔක්කොම ඒක.වැව් ගැඹුර නම් ඇත්තටම දන් නෑ.ඒත් ඔයාව බේරා නොගෙන හිටියනං අද මට මෙහෙම සැනසීමක් නෑනෙ.අනිත් කාරණේ ඔයා මැරෙන වෙලාව මේක නෙවෙයි.ඒ නිසා හිත හයිය කරන් ජීවත් වෙන්න ඕන හරිද?”

මේඝා හිස සැලුවේ යසා සුදුවැලි මත ඇඳ ඇති ඉදල් රටාවට නෙත් අලවාගෙන ය.තරිඳු ද තමන් ගැන සත්‍ය දන්නේදැයි සිතද්දී ඇගේ හිස කැක්කුම යළිත් නැඟී ආවේ ය. කාමරයේ තිර රෙදි පහත හෙළා ඇඳ මුල්ලට ගුලි වෙන්නට ඇයට ඕනෑ විය.

“මං නංගිගෙ ප්‍රස්නෙ දන්නෙ නෑ. මං හිතන්නෙ මට දැනගන්න ඕනත් නෑ.ඒත් ආයේ එහෙම ඩිසිෂන් එකක් නොගන්න හිත හයිය කරගන්න නංගි..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හැම වෙලේම කියන්නෙ ගෑනු ළමයි තරම් ස්ට්‍රෝන්ග් වෙන්න අපිට බෑ කියලා. මං හිතන්නේ ඒක තමයි ඇත්ත..”

තරිඳු අර්ධ සත්‍යයක් පැවසී ය.මේඝා විවාහ කරගෙන ජනිඳුට රිදවීමේ අදහසකින් පැමිණිය ද දැන් තමන්ගේ හදවතින් ඒ හැඟීම මැකී ගොස් ඇති බව තරිඳු දැන සිටියේ ය.ඒ ඇයට ප්‍රේම කරන්නෙකු ගැන ඔහුට ඉව වැටුණු නිසා ය. ජෙනිෆර් අමතක කර දමා මේඝාට බැඳෙන්නට නොහැකි බව වැටහුණු නිසා ය. නමුත් ජනිඳුට ඊර්ෂ්‍යා හිතෙන මට්ටමකට මේඝා රැගෙන යන්නට හැකි සෑම දෙයක්ම කරන්නට ඔහු ඉටා ගත්තේ ය.

තරිඳු මේඝාගෙන් සමු ගත්තේ යළි පෙරිමියන්කුලමට එන බවට පිළිණ දීමෙනි. ඉනුලිව බොහෝ වෙලාවක් වැළඳගෙන ඇගෙන් සමුගත් තරිඳුට මේඝා සමුදුන්නේ ඔහු ගැන පැහැදුණු සිතකිනි.

“දිනිඳු අයියා වගේම ඒ අයියත් හරි හොඳයිනෙ.දිනිඳු අයියා දැන් කෝන්තර අමතක කරල කොළඹ යන්න තියෙන්නෙ..මොනව උනත් ඒ ෆැමිලි එකේ අනිත් අයත් මේ වගේම හොඳ ඇති..”

හොඳින් දන්නා මිනිසෙකු ගැන මේඝා එවැනි සිතුවිලි ඇති කර ගත්තා ය.කුඩාවුන්ට සෙල්ලමට ඉඩ දී ඇය ලා හෙවණකින් හිඳ ගත්තේ මඳ වෙලාවකින් ආහාර ගන්නට නිවෙසට යන්නට සිතමිනි.දවල් වරුවේ ඇති විශ්ව විද්‍යාල දේශන සඳහා තරිඳු සමඟම පිටව ගිය බිනර මේ මොහොතේ මෙතැන හුන්නා නම් කියන්නට ඇති ඕපාදූප සිහි කරමින් ඇය දැරියන් දෙදෙනා වෙත නෙත් අලවා ගත්තා ය.

“මං මෙහෙට ආවේ අයියව හොයාගෙන අයිය එක්ක මේඝා හොයන්න මල්ලි..”

මඳ දුරක් රිය ධාවනය කළ තරිඳු බිනරට කීවේ නැවතිල්ලේ ය.අහම්බයකින් මේඝාව තරිඳුට හමු නොවූවා නම් දිනිඳු ඒ රහස හෙළි නොකරන බව හොඳින් දත් බිනර කළේ මඳ සිනාවක් තොල් මත තවරා ගැනීම ය.

“මං ඇත්තටම හිතාගෙන හිටියේ මේඝාව හොයාගෙන එයා මැරි කරන්න.අපේ බූරුවට රිද්දවන්න ඊට වඩා විදියක් නෑ කියල මං දන්නව.ඇමරිකාවල අවුරුදු ගාණක් මාත් එක්ක ලිවින් ටුගෙදර් හිටිය කෙල්ලටත් මං ඇත්ත කිව්ව. මේඝා ජීවත් වෙන්න බැරිතරම් ලැජ්ජ වෙලා අසරණ වෙලා නම් ඒක තමයි හොඳ ඔප්ෂන් එක කියල ඇත්තටම එයත් කිව්ව..ඒත් මං මෙහෙට ආවට පස්සෙ ඒ අදහස අතෑරියා..උඹ හිතන්නෙ ඒ ඇයි කියලද මල්ලි..”

තරිඳු අසද්දී බිනර මොහොතක් නිහඬව සිටියේ ය.

“මේඝා ඩිප්‍රෙස් වෙලා වගේ නිසා රිස්ක් එකක් ගන්න බෑ හිතුණ ද?”

දිනිඳු තමන්ගේ හොර වැඩක් අල්ලා ගන්නා ඕනෑම මොහොතක හෙලන සමච්චල් සිනාව තොල් මතට ගත් තරිඳු දෙස බලමින් බිනර පැවසී ය.

“ඒ ළමයට උඹ ආදරෙයි කියල මට හිතෙන නිසා..”

බිනර උස් හඬින් සිනාසුණේ ය.

“මං මේඝාට හරි ආදරෙයි අයියෙ.ඒක මදූ අක්කට තියන ගෞරවෙයි අපේ නංගිට තියන හුරතලෙයි මැද තැනක්.මේඝා මගෙ හොඳම යාළුවා..ඒකෙ වෙනසක් නෑ. ඒක වෙනස් නොවෙන්නෙ මටත් කෙල්ලෙක් ඉන්න හින්දම නෙවෙයි..ඔයාටයි මටයි එයාට දෙන්න තියා හිතන්නවත් බැරි ආදරයක් මේඝාට දෙන්න බලාගෙන කෙනෙක් ඉන්න නිසා.ජනිඳුට ගොඩක්ම රිදෙන්න ඉඩ තියෙන්නෙත් ඒක නිසා..”

තරිඳු අණගුණ නැති මෝටර් සයිකලයකට ඉඩ දී මඳක් වාහනයේ වේගය බාල කළේ ය. අනතුරුව තරිඳුට හෙළුවේ විමසුම් බැල්මකි.

“මට ඊගාවට හිතෙන දේ ඇත්ත කියලද ඔය කියන්න යන්නේ?”

බිනර කිසිත් නොකියා මඳ වෙලාවක් රැඳුණේ ය.මේඝාට යහපත සොයා දෙන්නට කැමති තරිඳුට එය කළ හැකි හොඳම ක්‍රමය යෝජනා කරන්නට ඔහුට ඕනෑ විය.

“දිනිඳු අයියා ඉන්නේ මේඝා ගැන කැමැත්තෙන් අයියේ.මේඝා ඉන්නෙත් අයියා ගැන කැමැත්තෙන්.තාම දෙන්නට දෙන්නා ඒ ගැන දන් නෑ.හැබැයි දැන් දැන ගන්න කාලේ කියලයි මං හිතන්නේ..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles