මතක දිගහැරුම 70 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑවන දිගහැරුම ,

දකුණු ඉන්දීය කොදෙව් සංචාරයේ එක් තරග වාරයක දී වේග පන්දු යවන්නෙක් වු Courtney Walsh යැවූ බෝල පහරක් වැදීම හේතුවෙන් හෂාන්ගේ වැලමිට අසල මැණික් කටුව පුපුරා ගොස් තිබුණි.මා එම තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටි අතර හෂාන්ගේ අතෙහි බෝලය වැදී ඔහු අත දෙස බලමින් වේදනාවෙන් සිටිනවා මා දුටුවෙමි.ඔහු අප නවාතැනට පැමිණෙන විට ඔහුගේ අත සම්පූර්ණයෙන්ම වෙළා තිබුණි.

එදින හවස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බෝට්ටුවක උත්සවයක් සූදානම් කර තිබුණි.

” වෙනසකටත් එක්ක ඔයා ගිහින් එන්න.මම බබාලත් එක්ක කාමරේ ඉන්නම් “

හෂාන් එසේ කී විට මා උත්සවයට යාම සඳහා සූදානම් වූයෙමි.අප නවාතැනේ එහා මෙහා යාම සඳහා දෙදෙනෙකුට ගමන් ගත හැකි ත්‍රීරෝද රථයක් වැනි වාහන විය.මා සහ හෂාන් ව කැටුව යාම සඳහා එවැනි රථයක් පදවාගෙන Courtney Walsh පැමිණියේය.අතෙහි ඇති ආබාධය නිසා තමා උත්සවයට නොපැමිණෙන නමුත් මා එම උත්සවයට සහභාගී වන නිසා මා කැටුව යන ලෙසත් හෂාන් ඔහුට පැවසීය.එවිට Courtney Walsh එදින එම උත්සවයට මා කැටුව ගියේය. මා කැටුව යන අතර, ඔහු හෂාන් ගේ අතට බෝලය වැදෙනවාත් සමග cracking noise එකක් ඇසුනු බවත් එවිට අස්ති ඇටේ අනිවාර්යයෙන් පුපුරන්නට ඇති බව හැගුනු බව ඔහු කණගාටුවෙන් මා හට පැවසිය .කෙසේ හෝ හෂාන්ගේ අත වෙළා තිබුණු නිසා ඔහුට තවදුරටත් තරගවලට සහභාගි වීම කළ නොහැකි විය.ඒ හේතුවෙන් අප දෙදෙනා එංගලන්තයට යාමට තීරණය කළෙමු.එංගලන්තයේ පදිංචිව සිටින “කටුවාවල අංකල් ” ගෙ නිවසේ දින කිහිපයක් නවාතැන් ගෙන සිටි අප ලංකාවට පැමිණියේ ඉන් පසුවය

අප ජීවිතයේ බොහෝ දේවල් සිදුවූයේ ක්‍රිකට් සම්බන්ධව ය.නමුත් ක්‍රිකට් යනු දිගින් දිගටම යෙදිය හැකි වෘත්තියක් නොවන බව මා මුල සිටම තේරුම් ගෙන සිටියෙමි.හදිසියේ ආබාධයක් සිදු වූ විට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට නොහැකිවීමත් , ක්‍රිකට් ක්‍රීඩකයන් හට විශ්‍රාම වැටුපක් නොමැතිවීමත් නිසා හෂාන් විසින් උපයන මුදල් යම් කිසි දෙයක් වෙනුවෙන් ආයෝජනය කළ යුතු යැයි මා සිතුවෙමි.කාලය ගතවන විට අප නිවසේ බොහෝ වැඩ කටයුතු අවසන් කර තිබූ නිසාත් , දරුවන් කෙමෙන් කෙමෙන් උස්මහත් වන නිසාත් පසුකාලීනව අපට ප්‍රයෝජනවත් වන යම් දෙයක් වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම මගේ අදහස විය.වගා කිරිමට කිරිමට මා තුළ විශාල කැමැත්තක් තිබූ නිසා ඒ සම්බන්ධයෙන් යමක් කළ යුතු යැයි මා සිතුවෙමි.ඒ අනුව තේ වත්තක් වැනි යමක් ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තුවක් මා සිත තුළ වූ නිසා දන්නා හඳුනන අය මාර්ගයෙන් ඒ සඳහා සුදුසු බිම් කඩක් සොයා ගැනීමට මා උත්සාහ කළෙමි.

එවැනි වතු කිහිපයක් බැලීම සඳහා මා ගිය අතර එවැනි බොහෝ අවස්ථා වලට හෂාන්ට සහභාගි වීමට හැකියාව නොලැබුනෙ ඔහු තරඟ වලට සහ පුහුණුවීම් වලට සහභාගී වීම හේතුවෙන් කාර්ය බහුල වූ නිසාය.ඒ අතරතුර දී මතුගම පැලවත්ත ප්‍රදේශයේ බිම් කොටසක් පිළිබඳව මා හට තොරතුරක් ලැබුණි. අප නිවසේ වැඩ කටයුතු වලට සහාය දීම සඳහා සිටී තරුණයකු සමග මා එය බැලීමට ගියෙමි.එම බිම් කොටසේ හිමිකරු මුදල් හදිස්සියක් හේතුවෙන් එම බිම් කොටස විකිණීමට බලාපොරොත්තුවෙන් සිටි අතර එම ඉඩමට ඇතුළු වූ වහාම මගේ හිත ඉතා සුන්දර හැඟීමකින් පිරී යන්නට වූයේ කුඩා කල සිටම මා සොබා දහමට ඉතා ආදරය කළ අයෙකු වූ නිසාය.කෙසේ හෝ එම බිම් කොටස පිළිබඳව මා තුළ පැහැදීමක් ඇති වූ නිසා ඒ සඳහා ආයෝජනය කිරීමට මට උවමනා විය.මාගේ කැමැත්ත පරිදි සුදුසු පියවරක් ගැනීමට හෂාන් මා හට ඉඩ තිබුණ නිසා මා එම බිම් කොටස අපගේ වගා කටයුතු වෙනුවෙන් ආයෝජනය කළෙමි.මගේ සිත තුළ වූ වගා කිරීමේ බලාපොරොත්තුව සපල කර ගැනීමට මා මූලික අඩිතාලම දැමූයේ ඒ අයුරිනි.

එම වත්තේ වැඩ කෙරෙන ආකාරය සොයා බැලීම සඳහා මා නිරන්තරයෙන්ම අවධානය යොමු කළ අතර හෂාන්ට ඒවා පිළිබඳව සොයා බැලීමට අවස්ථාව තිබුණේ ඔහුට ලැබෙන විවේක වේලාවන් අතරතුරදී පමණක්ය.ඔහු එසේ පැමිණෙන අවස්ථාවන්වලදී අඩුපාඩු සොයා බලමින් , වැඩ කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව මා හට උපදෙස් දෙමින් විශාල සහයෝගයක් ලබා දුන්නේය.තේ , කුරුඳු ,පොල් ලි න් සමන්විත වූ එම බිම් කොටසෙහි පසෙක කුඹුරක්ද විය.වගා කටයුතු සඳහා ඉතා හොඳ සේවකයන් පිරිසක් අපට සිටියහ. ඇතැම් අය එම වත්තේම නැවතී සිටි අතර අනෙක් අය පිටින් පැමිණි අය වූහ.

වගාවන් කිරීමට මා තුල වූයේ අති විශාල ආශාවක් මෙන්ම දැඩි උනන්දුවකි.ඒවායෙහි හරි ආකාරයෙන් නියැලීමට නම් ඒවා පිළිබඳව ඉතා හොඳ දැනුමක් අප සතු විය යුතුය.තේ වගාවෙහි නියැළෙනවා නම් පොහොර යොදන ආකාරය ,ගස් කප්පාදු කරන ආකාරය , තේ දලු කඩන ආකාරය , තේ දළු කැඩිය යුතු කාලවකවානු ආදිය පිළිබඳව අප දැන සිටිය යුතුය.එම නිසා ඒවා පිළිබඳව ඉගෙනීමට මා අදහස් කළෙමි.අපගේ වගාව තිබූ බිම් කොටස අසල තේ පර්යේෂණාගාරයක් පිහිටා තිබුණි.ඉන්පසුව මා එහි ගොස් මට අවශ්‍ය දැනුම ලබා ගැනීමට කටයුතු කළෙමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles