මතක දිගහැරුම 114 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දාහතර වන දිගහැරුම ,

තාත්තා මිය යාමට ආසන්න දිනයකදී, හෂාන්ට අහේතුකව ම තාත්තාව ,හෂාන්ගේ දෙමව්පියන් ව සහ හෂාන්ගේ නැන්දාව දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා කැටුව යාමට සිතුවිල්ලක් පහල විය.හදිසියේම පහළ වූ එම සිතුවිල්ලට අනුව ඔවුන්ව කෙසේ හෝ ඒ සඳහා කැටුව යාමට හෂාන්ට උවමනා විය . සාමාන්‍යයෙන් හෂාන් උදෑසන වරුවේ ක්‍රිකට් පුහුණුවීම් වලට සහභාගි වනවා නම් හවස් වරුවේ වෙන කිසිදු කටයුත්තක් සඳහා සහභාගී වන්නේ නැත .එයට හේතුව වන්නේ ඔවුන් තද අව් රශ්මිය සහිත ක්‍රීඩා පිටියක සිට දවස පුරාම පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් වෙහෙස මහන්සි වන නිසාය.ජූලි මස පළමුවන දින එසේ පුහුණුවීම් අතරතුර හෂාන් මා ඇමතුවේය

” අම්මිලා තාත්තිලා ඔක්කොම අරගෙන එන්න ග්‍රවුන්ඩ් එකට .මම මෙතනින් ඇඳගන්නම්.අපි එහෙම්මම යමු දළදා වඳින්න “

මයුර රොශාන් කුමාර නැමති මගේම සහෝදරයකු වැනි හිතවතෙකු දළදා මාලිගාවේ සේවය කරන අතර මම ඉක්මනින්ම ඔහු ඇමතුවෙමි.

” මල්ලි අපිට තාත්තලව දළදා
වන්ඳන්න ඕනේ. ඒක නිසා එක්කගෙන එනවා “

” ආ. අක්කා එක්කං එන්න හවසට, මමත් ඉන්නවා “

යැයි ඔහු පැවසුවේය. හෂාන් පුහුණුවීම් අවසන් වන විට අප ඔහු සිටින ස්ථානයට ගොස් ඔහු සමඟ දළදා මාලිගාව බලා පිටත් වූයෙමු.මයුර මල්ලි මගේ තාත්තාට බෙහෙවින් ආදරය කරන අතර ඔහු අප සියලු දෙනාවම දළදා වහන්සේ වන්දනාමන කිරීමට කැටුව ගියේය .අට පිරිකර ද පූජා කරමින් සියලු දෙනාම දළදා වහන්සේ වැඳ පුදා ගත්තේ ඉතාම සතුටින් ය.අහම්බෙන් හෝ හෂාන් හට එවැනි වූ සිතුවිල්ලක් පහළ වීම මොනතරම් හොඳ දැයි ඔහුට මෙන්ම මා හට ද පසුව සිතුනි.

වරක් තාත්තා ගේ කකුලේ තුවාලයක් හට ගෙන එයට බෙහෙත් දැමීම සඳහා කරාපිටිය රෝහලේ සේවය කරන දක්ෂ වෛද්‍යවරයකු වන වෛද්‍ය රංජුක උබයසිරි පෞද්ගලික සායනයක් වෙත මා තාත්තාව කැටුව ගියෙමි. එහිදී තාත්තගේ තුවාලයට බෙහෙත් දැමූ වෛද්‍යවරයා ඒ මොහොතේදී අපගේ මුදල් ලබා ගත්තේ ද නැත.වෛද්‍යවරයා තාත්තා සමග විහිළු කරමින් ඔහුගේ කාර්යය ඉටුකරන අතර තාත්තගෙන් වයස කීයදැයි විමසුවේය.එවිට මා සිනාසෙමින් වෛද්‍යවරයා හට පැවසුවේ තාත්තා ඔහුගේ වයස පිළිබඳව නොපවසන බවයි.

” වයස කිව්වම ඇස් වහා වදිනවා “

තාත්තා කියන්නේ එලෙසින්ය.තාත්තා ජීවිතයෙන් සමුගත් පසු දවසක මා වෛද්‍යවරයා අමතා ස්තූති කළෙමි.මා තාත්තාව වෛද්‍යවරයා වෙත කැටුව ගියේ තාත්තා මියයාමට ආසන්න දිනයකදී නිසා තාත්තාගේ වියෝව පිළිබඳව වෛද්‍යවරයා බොහෝ සේ කණගාටු වූයේ ය.කෙසේ හෝ තුවාලයට බෙහෙත් දමා ආපසු නිවසට පැමිණෙන අතරතුර දී තාත්තා පීසා කෑමට ආසා කරන බව අප හට පැවසුවේය .නංගී සහ මම තාත්තාව නුගේගොඩ පිහිටි ” Pizza Hut ” එක වෙත රැගෙන ගොස් ඔහුට පීසා අරන් දුන්නෙමු.තාත්තා ඔහු කැමති දේවල් පිළිබඳව ඉඳහිට හෝ අප සමග පැවසීම අපට සතුටක් විය.ඉතාම කාර්යබහුල ජීවිත ගතකරන අප බොහෝ දිනවල දී නිවසට පැමිණෙන්නේ රෑ බෝ වී වන අතර සමහර දිනවල දී තාත්තා සමග කතා කරන්නට ලැබෙන්නේ වචන කිහිපයක් පමණි.ඒ නිසා ඉඳහිට හෝ එවැනි වූ අවස්ථාවක් ලැබීම අගනා ලෙස මම සලකමි.

තාත්තා ගේ වියෝවෙන් පසුව මගේ ජීවිතයේ මා හට දැනුනු අඩුව අම්මා ගේ වියෝවෙන් පසුව දැනුනු අඩුව ටත් වඩා වැඩි විය.අම්මා ජීවිතය හැර යාමත් සමග තාත්තා ජීවත් වූයේ අප සමගම නිසා තාත්තාගේ වියෝව දරා ගැනීමට මා හට අතිශයින්ම අසීරු විය.අදටත් තාත්තා ගේ කාමරයට යන මා ඔහුගේ මතක සමග තනි වී කෑගසා හඬන අවස්ථාද ඇත.සමහර දිනයන් වලදී රාත්‍රී නින්ද අතරතුර තාත්තාව සිහිපත් වී මා අවදි වන අවස්ථා ද ඇත .එවැනි අවස්ථාවලදී ද තාත්තගේ අසීමිත ආදරය සිහිපත් වී මා හට හැඬුම් එයි.ඕනෑම කෙනෙකුට තම සහකරුවාගේ හෝ සහකාරියගෙන් ලැබෙන ආදරය ටත් වඩා වෙනස්ම සහ සුවිශේෂී ආදරයක් ලැබෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ය.ඒ ආදරය අපට ලබා දීමට වෙනත් කිසිවෙකුට කිසිසේත්ම හැකි වන්නේද නැත.ඒ ආදරේ ඇති සුවිශයේ ඇති සුවිශේෂීත්වය අප සැබෑවටම වටහා ගන්නේ ඔවුන්ව අපට අහිමි වූ දිනකය.තාත්තා වියෝවී වසර තුනක් ගතවී ගිය ද අදටත් ඔහු සිහිපත් කරන මා හඬමි.විශේෂයෙන්ම මා දුක් වන්නේ ඔහු අවසන් හුස්ම හෙළන අවස්ථාවේදී මා හට ඔහුගේ ලඟ සිටීමට නොහැකි වූ නිසාය.අනෙක් අතට අපගේ පුතු හෝ ඔහු අසල සිටීම පිළිබඳව සිතමින් මා සතුටු වෙමි .

” කවදාවත් මම ඔයාලට කරදරයක් වෙන්න නම් ඉන්නෙ නැහැ.මම එක්තැන් වෙලා , ඔයාලට මම නිසා මහන්සි වෙන්න වෙන්න නම් වෙන්නෙ නෑ.මම නින්දෙන්ම තමයි මැරෙන්නෙ “

එය තාත්තා සිනාසෙමින් නිතරම කියූ දෙයක් විය.එක වරක් තාත්තගේ කේන්දරය පරික්ෂා කර බැලූ අයෙකු පවසා තිබුණේ තාත්තා ජීවත් වන්නේ අවුරුදු 85ක් පමණ කියාය.මීට පෙර කලකදී තාත්තා අසනීප වූ විට ද ඔහුගේ කේන්දරය පරික්ෂා කර බැලූ බොහෝ දෙනා එසේ පැවසූ නිසා ඒවා පිළිබඳව මා හට නො පවසන ලෙස මා තාත්තාට පැවසුවෙමි.

තාත්තගේ නංගිගෙ පුතු වන ලලිත් ද සිල්වා නැමැති මාගේ සහෝදරයෙකු තාත්තාගේ අවසන් කටයුතු වල දී මට මුණ ගැසුණි.

” නංගි දන්නවාද සුදු මාමා එහෙ ආපු වෙලාවේ මොකක් හරි කතාවක දී අපිට කිව්වා , මම හරිම සතුටින් ඉන්නේ ,මම හොඳට පින් කරලා තියෙනවා. මගේ ලොකු දූයි හෂානුයි මාව හොඳට බලා ගන්නවා ,මට කිසිම කරදරයක් නැහැ. මම ඕන වෙලාවක මැරෙන්න වුණත් සූදානම් “

තාත්තා එසේ පවසා තිබුණි.එසේ පැවසූ තාත්තා මද වේලාවක් නිහඬව සිට ,

” මැරෙන්න නම් පුළුවන් මට ඒක ප්‍රශ්නයක් නෑ.හැබැයි මට තව ටිකක් ජීවත් වෙන්න ඕනේ, දැම්ම මැරෙන්න බෑ .මගේ ලොකු දුවට මාව ඕනේ .එයා ගොඩක් වැඩ කරන කෙනෙක් .ඒ නිසා එයාට මාව ඕනේ “

යැයි පවසා තිබුණි.මා හදවතින් සහ සිතුවිලි වලින් මොන තරම් ශක්තිමත් කාන්තාවක් වුවද තාත්තා මා හට ලබා දෙන ශක්තිය ඒ සෑම දෙයකටම වඩා බලවත් බව තාත්තා දැන ඉන්නට ඇත.තාත්තාගේ වයසත් සමග ඔහු මගේ ජීවිතයට ලබා දුන් සහයෝගය පිළිබඳව මා හට කියා නිමකල නොහැක.

තාත්තාට භාවිතා කිරීම සඳහා නංගී ලී වලින් නිමවන ලද හැරමිටියක් ගෙනැවිත් තිබුණේය.නමුත් තාත්තා එය භාවිතා කලේ නැත.වරක් තාත්තා ඇවිදිමින් සිටින අතරතුර දී සමබර තාවය ගිලිහී ගොස් වැටෙන්නට ගිය නිසා එම හැරමිටිය භාවිතා කරන්න යැයි මා පැවසුවෙමි.නමුත් තාත්තා එය භාවිතා කරන්නට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත

” අපෝ මට ඕවා ඕනෙ නැහැ.මට තනියම ඇවිදින්න පුළුවන්.මට කිසි ලෙඩක් නැහැ “

තාත්තා පවසන්නේ එසේය.අප ගෙවන කාර්යබහුල ජීවිතයත් සමග හදිසියේ හෝ ඔහු අසනීප වී එක්තැන් වුවහොත් අපට විශාල අරගලයක යෙදීමට සිදුවන බව ඔහු දැන සිටියේය.එම නිසා ඔහු සැමවිටම ප්‍රාර්ථනා කළේ අපට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවන පරිදි ජීවත් වීමටය.ඔහු ප්‍රාර්ථනා කළ පරිදිම අවසානයේ සියල්ල සිදුවිය.

” ඔයා සතුටු වෙන්න තාත්තා කවදාවත් ඔයාට කරදරයක් දුකක් වෙන්න හිටියේ නැහැ .දුක් විඳ විඳ එක්තැන් නොවී අම්මි වගේම තාත්තිත් එකපාරටම නැතිවුනේ.ඔයාලට හිත හිත දුක් වෙන්න එයාලා ඉඩ තිබ්බෙ නැහැ .ඒවා වාසනාවන්ත මරණ .දෙන්නම එකම විදිහට නැති උනේ කිසිම දුකක් විඳින්නෙ නැතුව “

තාත්තගේ වියෝවෙන් පසුව බොහෝ දෙනා මා හට පැවසුවේ එසේය.කෙසේ නමුත් මගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම කොහේ හෝ සිට අප දෙස බලා සිටින බවට හැඟීමක් මා සිත තුළ පවතී.ඇතැම්විට මේ වන විටත් ඔවුන් හොඳ ආත්ම වල යළිත් උපත ලබා තිබෙන්නට හැකියාව ඇත.ඔවුන් දෙදෙනාවම සිහිනයෙන් දකින්නේ ඉඳහිට නමුත් එසේ දකින්නේ ද මා හට යමක් පෙන්නුම් කිරීමටය.ඔවුන් දෙදෙනාගේ ආශිර්වාදය සහ ආරක්ෂාව මා ඇතුලු පවුලේ සියලු දෙනා වෙතම තිබෙන බව මා විශ්වාස කරමි.සෑම දිනකම බුදුන් වඳින මා ඔවුන් දෙදෙනා සිහිපත් කර ඔවුන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම සිදු කරමි.එපමණක් නොව මට හැකි සෑම අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා වෙනුවෙන් කළ හැකි පින්කම් මා සිදු කරමි.කෙනෙකුට මුදලින් , ශ්‍රමයෙන් හෝ අඩුම වශයෙන් වචනයකින් හෝ උපකාරයක් කිරීමෙන් මා ලබන්නේ අසීමිත සතුටකි.කෙසේ වුවත් තාත්තා නැති අඩුව ජීවිතයේ සෑම මොහොතකම මා හට දැනෙන අතර අපගේ නිවසට පිවිසෙන මාර්ගයෙන් නිවස දෙසට එන විට නිවස ඉදිරිපිට ඇති පුටුවේ තාත්තා වාඩි වී සිටිනු පෙනෙයි .තාත්තා පුරුද්දක් ලෙස වාඩිවී සිටි එම පුටුව අසලට මා යන්නේ කලාතුරකිනි.ඒ අසඑය අසලට ගිය විට මා හට තාත්තාව පෙනෙන අතර ඔහුගේ කාමරයට ගිය විට ද මා හට ඔහුව පෙනේ.ඕනෑම දියණියකගේ ජීවිතයේ තාත්තාට ඇත්තේ සුවිශේෂී ම ස්ථානයකි .ඒ ආදරය සහ බැඳීම දිනෙන් දින වර්ධනය වනවා මිසක අංශු මාත්‍රයකින්වත් අඩු නොවන බව මම විශ්වාස කරමි.මා ඉතා තරුණ අවධියේ සිටම අම්මා සහ තාත්තා වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටු කළ නිසා මා දන්නා හඳුනන සෑම අයකුටම ද පවසන්නේ දෙමව්පියන් ජීවත්ව සිටියදී ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන ලෙසයි.ඔවුන්ගේ වියෝවෙන් පසුව ඔවුන් හට යම් දේවල් ඉටු කිරීමට නොහැකි වුනා යැයි දුක් වීමට කාරණාවක් මා සතුව නැත.මා දුක් වන්නේ තාත්තා අවසන් හුස්ම හෙළන මොහොතේ ඔහු අසලින් සිටීමට නොහැකි වීම පිළිබඳව පමණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content