මතක දිගහැරුම 54 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් හතරවන දිගහැරුම ,

මගේ නිවාඩු දින අවසන් වීමෙන් අනතුරුව ඩුබායි බලා පිටත්ව යාමට මට නියමිතව තිබුණි.එම නිසා හෂාන් ඔහුගේ මිතුරා වන සජී සමග ගුවන්තොටුපොළ වෙත මා ඇරලවන්නට පැමිණියේය.ගුවන් තොටුපලට යන අතරතුර හෂාන් වාහනය ධාවනය කරන්නේ ඉතා සෙමෙන් බව මට මෙන්ම සජීට ද හැඟෙමින් තිබුනි.මා පිටත් වීමට නියමිතව තිබූ වේලාව සහ හෂාන් වාහනය ධාවනය කරන වේගය සමග බලන විට , මා හට ප්‍රමාද වීමට තිබුනෙ වැඩි ඉඩකඩකි. එදින මා සාමාන්‍ය ගුවන් මගියෙක් වීම නිසා සහ එය රාජකාරි ගමනක් නොවන නිසාත් මගේ ගුවන් ගමන් වාරය යෙදී ඇති වේලාව මා හෂාන් හට නැවත මතක් කළෙමි.ඒ අතරතුර හෂාන්ගේ මිතුරු සජීද , මට ප්‍රමාද වන බව කියමින් වේගයෙන් රිය ධාවනය කරන්නැයි හෂාන්ට පැවසුවේය.අප දෙදෙනා පැවසූ කිසිම දෙයකට හෂාන් වැඩි ප්‍රතිචාරයක් දැක්වූයේ නැති අතර ඔහු වාහනය ධාවනය කළේ වෙනම කල්පනාවක නිරත වෙමින් ය.

සීදුව ප්‍රදේශයේදී හෂාන් එකවරම වාහනය හැරවූ අතර නැවතත් කොළඹ දෙසට වාහනය ධාවනය කරන්නට විය.එයින් මා මෙන්ම සජීද ඉතා පුදුමයට පත් වූ අතර ” මේ මොකද ” කියා අප දෙදෙනාම හෂාන්ගෙන් ඇසුවෙමු.

” ඔයා ඩුබායි යන්න ඕනේ නෑ.ජොබ් එකක් කරන්න ඕනෙත් නෑ “

හෂාන් කීවේ එපමණකි.සිදුවන්නේ කුමක්දැයි අප දෙදෙනාටම සිතා ගත නොහැකි වූ අතර හැකි ඉක්මනින් මා ගුවන්තොටුපොලට ඇරලන ලෙස සජී දිගින් දිගටම හෂාන් හට කියන්නට විය.

” ඔයා අස් වෙන්න “

හෂාන් නැවත කීවේය.

” මම කොහොමද අස්වෙන්නේ ? මට තව ගොඩක් වැඩ තියෙනවා කරන්න.ගෙදර අයව බලා ගන්නෙත් මම.කොහොමද එහෙම එකපාරටම අස්වෙන්නේ ? “

අනපේක්ෂිත ලෙස මා මැදි වූයේ නොසිතූ දෙයකට බැවින් මගේ සිත බොහෝ සේ කැලඹී තිබුණි

” මට ඔයාගේ සල්ලි ඕනෙ නැහැ.මට පුළුවන් මගේ වයිෆ්ට කන්න අඳින්න දෙන්න “

එසේ කියමින් හෂාන් අප නිවස දෙසට වාහනය ධාවනය කළේය.හෂාන් ඒ මොහොතේ සිටින තත්ත්වය එතරම් හොඳ නොවන බව තේරුම් ගත් නිසා මා ඒ මොහොතේ සිට නිහඬ වූයෙමි.නමුත් සජී උත්සාහය අතහැරියේ නැත. මට රැකියාවට යාමට ඉඩ ලබා දෙන්නැයි කියමින් ඔහු දිගින් දිගටම හෂාන් හට ඇවිටිලි කළේය.නමුත් හෂාන් ඒ කිසිවකට ඇහුම්කන් දුන්නේ නැත.

මා ගුවන්තොටුපළට නොයා නැවත නිවසට පැමිණීම පිළිබඳව අම්මාත් තාත්තාත් අතිශයින්ම පුදුමයට පත්විණි.මා නිවසට ඇරලවූ හෂාන් , සජී සමඟ පිටත් වූයේ තීරණයක් ගන්න යැයි මට පවසමිනි.සිදුවූයේ කුමක්දැයි අම්මාත් තාත්තාත් විමසන විට මා සිදු වූ සියලු දෙය මුල සිට ඔවුන් දෙදෙනාට පැහැදිලි කළෙමි.

” ඔයා අපිට හැම යුතුකමක්ම ඉෂ්ට කරපු දුවෙක්.දැන් ඔයා ඔයාගේ අනාගතය ගැන හිතලා බුද්ධිමත්ව තීරණයක් ගන්න “

ඒ වන විට හෂාන් සිටි තත්ත්වය පිළිබඳව සියලු කාරණා දැන සිටි තාත්තා කීවේ එපමණකි.ඇත්තෙන්ම එවැනි පිළිතුරක් මා ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ ම නැත.මන්ද මගේ පවුලේ සියලු යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ සියලුම ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් පවුලේ කොඳුනාරටිය ලෙස සිටියේ මා නිසාය.නමුත් මගේ තාත්තා පුන පුනා කියා සිටියේ ඔවුන් වෙනුවෙන් තවදුරටත් වෙහෙසීම නවතා මගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගන්නා ලෙසයි.

මගේ ඉදිරි අනාගතය පිළිබඳව තීරණය කළ යුතු තීරණාත්මක මොහොතක් එළඹ තිබුණි.හෂාන් මා නිවසට ඇරලවා ගිය පසු ඉදිරියට කළ යුතු දෑ පිළිබඳව මා කල්පනා කළෙමි.හෂාන්ගේ හමුවීම අහම්බයක් නොව, එය මගේ දෛවයේ ලියැවී තිබුණු ලෙසටම සිදුවීමට , සිදුවීම් පෙළගැසුන බව මා විශ්වාස කළෙමි .එම නිසා මගේ ජීවන සහකරු ඔහුම වන බව මා ඒ වන විටත් තීරණය කර සිටි අතර ඔහුගේ ගතිගුණ වලට මා බොහෝ සේ ආදරය කළෙමි.එපමණක් නොව ,ජීවිත කාලය පුරාවටම ඔහු මගේ අත නොහරින බවට ඔහු පිළිබඳව ලොකු විශ්වාසයක් සහ ආත්ම විශ්වාසයක් ද මා තුළ තිබුණි.

ඒ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ස්ථානයක සිටි දක්ෂ ක්‍රීඩකයෙකු වූ හෂාන්ට ඉතා හොඳින් සහයෝගය ලබා දිය හැකි සහකාරියක් වීම සඳහා සියල්ල පසෙකලා හෝ මා කැපවිය යුතු යැයි මට සිතුණි.ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එන හෂාන්ගේ ජීවිතයේ ඉදිරි කාල සීමාව තුළදී ඔහුට ශක්තියක් වීමට මට උවමනා විය.මගේ අම්මාගේ සහ තාත්තාගේ ජීවිත දෙස බලන මට සෑම විටම අවශ්‍ය වූයේ කවදා හෝ ඉතා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටයි.මේ සියලු කාරණා පිළිබඳව සිතා බලා මගේ ජීවිතය පිළිබදව අතිශය වැදගත් තීරණයකට මා එළඹුණේ ඉන් පසුවය

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles