ප්‍රේමයෙන් රැවටෙන්න එපා

මාධවී පැහෙන ඉස්සෝ කරි එක දිහා බලාගෙන හිටියේ වෛරයෙන්. කියා ගන්න බැරිතරමක වෛරයෙන්. අතේ තියන පුංචි බෝතලෙන් බිංදුවක් දෙකක් මේ වෛරය පිරිමහගන්න හොඳටම ඇති කියලා මාධවී දන්නවා.

“කාංචන මහත්තයා කැමතිම කෑමනෙ.”

කමලා එහෙම කියලා මෙතනින් ගියේ ටික වෙලාවකට කලින්. කැමතිම කෑමත් හදලා ගිල්ලන්න ලැජ්ජා නැද්ද කියලා අහන්න බැරිකමට කමලා කට පියාගෙන ඉන්නවා කියලයි මාධවීට හිතෙන්නේ. එක්කෝ කමලා මේ ගැන කතා කරන්න ඕනෑ. එහෙම කරන්නෙත් නෑ. හැමෝම හැමදෙයක්ම දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා.

සේරම පටන් ගත්තේ අම්මාගේ හදිසි නික්ම යාම එක්ක අවුරුදු දාහතරක ගැහැනු ළමයෙක්ට අම්මා හදිසි ගර්භාෂ පිළිකාවකට ගොදුරු වීමත් ඉන් අකාලයේ මියැදෙන්න වීමත් දරාගත හැකි සීමාවක තිබුණේ නෑ. නමුත් මොනවා කරන්නද? ඒ තත්වය දරා ගන්න මාධවී හිත හදා ගත්තා.

ඊළඟ බෝම්බේ ඊළඟට!

“බබා, මම ආයේ මැරි කරන්න හිතුවා”

තාත්තගේ ඒ කතාවට මාධවීගේ මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. ඒත් තාත්තාගේ ව්‍යාපාරික ජීවිතයට උදව් කරන්න කවුරුහරි ඉන්න ඕනෑ බවත් තාත්තාට පාළු බවත් ඇයම පස්සේ තීරණය කළා. ඒ තීරණය තාත්තට කැමැත්ත දෙන්න හේතුවක් වුණා.

“රුචී ආන්ටි.”

අලුත් පුංචි අම්මා, රුචිරාට මාධවී කතා කරේ එහෙම. රුචිරා මාධවීට වඩා අවුරුදු දහයක් වැඩිමල්.  හරියට බැලුවොත් අක්කා කෙනෙක්. ඒත් අලුත් අම්මා කෙනෙක් ලැබුණු හැඟීම හිතට ධාරණය කරගන්න මාධවී උත්සාහ කළා. ඒක සාර්ථක වුණේ නැහැ. මේ අක්කා කෙනෙක් කියන හැඟීමත් ඇගේ සමහර හැසිරීම් ද මාධවී අවුල් කළා විතරයි.

“ඔයාගේ කුඩම්මා හරියට කාජල් වගේ.”

මාධවී කාංචනට ආදරේ කරන්න පටන් ගත්තේ විසි හතරෙදි. කාංචන රුචිරාව දැක්කම මුලින්ම කියා සිටියේ වගේ කතාවක්. කාජල්ට ඊට වඩා වයස බවත් ඕනැනම් රුචී ආන්ටිට ප්‍රියංකා චොප්‍රා වගේ නමක් ලබා දෙන්න පුළුවන් බවත් කියලා හිනා උනාට මාධවීට සැක මතු වෙන්න පටන් ගත්ත. මේ මාදවීගේ පුංචි අම්මා. අම්මාගේ හිස්තැන පුරවන්න ඉන්න කෙනා. එයාගේ රූප ගැන එච්චර ඇස් උඩ දාගෙන කතා කරන්න උවමනා ද කියන එක සැකයක්.

නමුත් රුචී ආන්ටිගේ වයස විවාහයේදී ගැටලුවක් වුණොත් වෙන්නේ ඇය ඉතා ළාබාල කෙනෙක් නිසා බව සිතමින් හිතමින් මාධවී හිත හදා ගන්න පටන් ගත්තා.කාංචනගේ අම්මලා තාත්තලා ඒ දෙයට අකමැති වෙන්න පුළුවන්. අනිත් කාරණාව මල්ලි. මල්ලිට තාම අවුරුදු හයයි. නමුත් කාංචනගේ ගෙදරට ඒ මොකුත්ම ගැටළුවක් වුණේ නැහැ.

 “ඔයා කාංචන මැරි කරන්න කලින් තව කීප පාරක් හිතන්න.එයා ගැන හොයන්න. එයා අවුරුදු පහළොවක් වැඩිමල් ගෑනු කෙනෙක් එක්ක තිබුණු සම්බන්ධයක් නිසා තමයි මං එයාව අත් ඇරියේ. “

කාංචනගේ පරණ පෙම්වතිය, උත්පලා එහෙම පණිවිඩයක් එව්වේ වෙඩින් එකට හැමදෙයක්ම ලෑස්ති වෙනකොට. මාධවී ඒක ඉරිසියාකාරී පැරණි පෙම්වතියගේ කතා භාජනයට දාලා වහලා මුහුදට විසි කළා.

“ඔයාට ඒ සාරිය වැඩිය හැඩ නෑ. ආන්ටි රුචීටනම් හැඩට තියෙයි.”

අන්න එදා තමයි මංගල්ලේ නවත්තන්න තිබුණු දවස. ඒත් මාධවී මුහුණ ඇද කරලා, ඒ විහිළුවට මං කැමති නෑ කියලා හිත හදා ගත්තා. 

“යසෝ මේක දෙන්න කිව්වා.”

විවාහයෙන් ටික දවසකට පස්සේ කාංචන මට්න් කරි භාජනයක් මාධවී අතින් තියනකොට මාධවී පුදුම වුණා. යසෝ කියන්නේ තාත්තලාගේ නිවසේ සේවිකාව. 

“ඔයා ගෙදර ගියාද?”

එහෙම අහද්දී කාංචන කලබල වුණේ නැහැ.

“ඔව්, බිස්නස් වැඩක් කතා කරන්න අංකල් මට එන්න කියලා තිබුණනෙ.”

එහෙම කියන දවස් ඕනෑතරම් ආවා. කාංචනට කියන්න අමතක වෙන වෙලාවට චූටි මල්ලිගෙන් කෝල් එකක් ආවා. 

“ඔයාට තමයි මාව බලන්න එන්න බැරි. කාංචන අයියා නම් අම්මාව ඇරලවන්න අදත් ආවා.”

කාංචන කියන්නේ බිස්නස් වැඩ කතා කරගන්න යන කතාවක්. ඒත් කාංචනට බිස්නස් ගැන කිසිම උනන්දුවක් නැති කතන්දර තාත්තගෙන් ඇහෙනවා. ඒ අතරේ චූටි මල්ලි කියන කතාව වෙනමම එකක්. සමහර ප්‍රහේලිකා විසඳන්න අවශ්‍ය වෙලාවේ නොවිසඳීම මහා ලොකු ගැටළු ඇති කරන බව මාධවී තේරුම් ගත්තා. ඇය තුළ හිටිය ෂර්ලොක් හෝම්ස් අවදි වෙන්න පටන් ගත්තේ ඉන්පස්සේ.ලැබුණු තොරතුරු අහන් ඉන්න බැරිතරම් අප්‍රසන්නයි.වැඩුණු මිනිස්සු දෙන්නෙක්ට සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනෑතරමට අවසර ඇති බව මාධවී දන්නවා. නමුත් මේ ඇගේ පුංචි අම්මා. වයස් පරතරය අල්ප වුණත් ඇය එක්ක නොබැඳෙන්න කාංචනට තිබුණා.

ආදරයට කිසිම දෙයක් අදාළ නැති බව ඇත්ත. ඒත් රැවටීමක් විය යුතු නැහැ. ඒ දෙන්නට ඒ දෙන්නා ඕනෑනම් තාත්තාවත් මාධවීවත් රැවටෙන්න ඕනෑ නෑ.

“අර ගෙදර ඉන්න යසෝ ගෑනි කියනවා වගේ ඕක මේ හැමදාම වුණු දෙයක් නෙවෙයි. මට පොඩ්ඩක් වැදිලා හිටිය දවසක්. ආන්ටි රුචී මාව රවට්ටා ගත්තා.”

අන්තිමට කාංචන වරද පිළිගත්තා. ඒ පිළි ගැනීම  මාධවීට අරන් ආවේ මහ හිනාවක්. රවට්ටා ගන්න කාංචන බබෙක් නෙවෙයි. අවුරුදු තිහක මනුස්සයෙක්. අඩුම තරමේ වුණු වරදට සමාව ගන්නවත් අවංකකමක් නැති හැටි!

“ආන්ටි රුචී කොහොම ඔයාලගෙ තාත්තව රවට්ටන්න ඇතිද?”

කාංචන ආයේ කෙහෙල්මලක් කියනවා. කිසිම ආදරේකට අවංක නැති නරුම මිනිහෙක් කියන දේවල් අහන් ඉන්නවත් මාධවීට ඕනෑ නැහැ.සමහරවිට ආන්ටි රුචීත් ආදරයට බැඳෙන්න ඇති. ඒ රාගයම විතරයි කියන්නේ කාංචන. මෙහෙම බොරුකාර මනුස්සයෙක් කියන කතා විශ්වාසෙට ගන්නේ මොකටද? 

මාධවීට ඉස්සෝ කරිය හදන්න හිතුණේ සේරටම පස්සේ. බොරුකාර මිනිහෙක් තමන් විතරක් නෙවෙයි තමන්ගේ තාත්තවත් රවට්ටමින් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ එහෙම මිනිහෙක්ට ජීවත් වෙන්න දෙන්නේ මොකටද?

“චූටි මැණිකේ, ඉස්සෝ එක බාන්නද?”

තව තත්පරයකින් කමලා ලුණු ඇඹුල් බලනවා. බිංදු කිහිපය දැනටමත් ඇතිලියේ. මාධවී ලිප ළඟට පැන්නේ තත්පරේට. ලිප නිවලා දාපු ඇය ඉස්සෝ වෑංජනේ එහෙමම කුණු බක්කියට හලන හැටි කමලා බලන් හිටියේ පුදුමයකින්. ඊළඟ තත්පර කිහිපයේ සිහි එළවාගත්තු ඇය උද්‍යානයට යන්න ගියේ පුංචි පිහියකුත් අරන්.

“මොන දේවල් හිතට ආවත් කල්පනාවට වැඩ කරන්න රත්තරං නෝනේ. මං මේ කෝමාරිකා පිත්තක් ගෙනාවා. අර රත්වුණු භාජනේ අල්ලලා අතේ දිය බිබිළි එන්නැති.”

මාධවී කෝමාරිකා පිත්ත ගත්තේ හිනා වෙන ගමන්.

“අතේ කෝමාරිකා ගෑවට හිතේ කෝමාරිකා නොගා වැඩක් නෑ කමලා. තව ටිකකින් දේවප්‍රිය අංකල් එනවා.බොන්න තියෙන්නෙ මොනවද බලන්නකො.”

අත පිච්චිලා ගිය තැන්වල කෝමාරිකා අතුල්ලන ගමන් එහෙම කියන මාධවී දිහා බලන් ඉන්න කමලාට එක දෙයක් මතක් වුණා 

“දේවප්‍රිය කියන්නේ අර ලෝයර් මහත්තයා නේද!!”

More Stories

Don't Miss


Latest Articles