සැප ඉපයීම

“අම්මේ, මෙන්න මම කංකුං ඉති ටිකක් ගෙනාවා.. මේව වැවිල තිබුනෙ උඩහ උක්කුක් මාමලගෙ වෙලේ වක්කඩ ගාව. මාම වෙලට ඇවිල්ල හිටිය, මං අහලම කඩාගෙන ආවා.. මේවත් ඉන්දන්න පුළුවන් නේද ?” නිලන්ති හවස් වරුවෙ ගෙවත්තේ වවලා තියෙන එළවළු පාත්තිවලට සාත්තු කරනකොට නිලන්තිලාගෙ ලොකු පුතා කිව්වා.

“අනේ ඔව් මගෙ පැටියෝ. පුතා මාමගෙන් අහලම කඩපු එක හොඳයි. අපි මේකත් අර හරියෙන් පාත්තියක් හදල පැළ කරමුකො.. මේව ඉක්මනට පැළවෙයි..” තවමත් අවුරුදු 13ක කොලුවෙක් උනු ලොකු පුතා ගැන නිලන්තිට තවත් ආදරේ හිතුනා

“ආ.. මං එනකොට ඈතින් ඉනෝකා නැන්ද එනව වගේ දැක්කා. මෙහෙට වෙන්න ඇති එන්නේ..” ලොකු පුතා කංකුං පාත්තිය හදන්න උදැල්ල අරන් යන ගමන් කියද්දිම වගේ ඉනෝකා නිලන්තිගෙ වත්තට ආවා.

“අනේ ගොඩක් කාලෙකින්.. එන්න එන්න ගෙට, ඉතින් කොහොමද ඉනෝකා ? .. එන්නකො වාඩි වෙන්න. ”  නිලන්ති තමන්ගෙ කුඩා සරල නිවසේ සාලයේ තිබුනු පුටු කීපයකින් එකක් පෙන්නුවා. ” මං මේ ළඟ ඉන්න අපේ පුංචිලගෙ ගෙදර ආව ගමන් මෙහෙත් ගොඩ වෙලාම යනවා කියල හිතුවා. නිතර එන්න වෙන්නෙත් නෑනෙ.. මේං පොඩි උන්ට ගත්ත පලතුරු ටිකක්.. ” ඉනෝකා කොමඩු පළුවකුයි, කෙසෙක් ඇවරියක් එක්ක තව මොනවදේ මන්ද ළඟ තිබුන මේසයෙන් තිබ්බා.

“හදිස්සියෙම පුංචිලගෙ දිහා ආවෙ මොකෝ?.. හැමෝම සනීපෙන් නේද? එන්නකො තේ එකක් බොන ගමන් කතා කරන්න..” දෙදෙනාම නිලන්තිගේ කුඩා කුස්සියට ගිහින් කතා බහ පටන් ගත්තා.

“මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ හිඟන ජීවිතේ නිලන්ති. අපේ මනුස්සයගෙ කිසි වගතුවක් නෑ. හැමදාම රස්සාවට යනව , ගෙදර එනව විතරයි.. එයාලගෙ අම්මල ඉඩම් බෙදනකොට රට ඉන්න මල්ලිට වඩා අපි ගැනනෙ හිතන්න ඕන… හරියට දෙකට බෙදන්නෙ නැතුව මේ ප්‍රශ්න ගොඩක ඉන්න අපිට ටිකක් වැඩිපුර දෙන්න තිබුනා, මොකද මල්ලි කියල සල්ලි නැති කෙනෙක්යැ දැන්. රට ගිහින් ආවට පස්සෙ ඔය හොයන සල්ලි වලින් එයා ඉඩමක් කොහෙන් හරි ගන්නෙ නැතෑ. අපි මේ සල්ලි හිර වෙලා ඉන්න වෙලාවෙ ඒ ටිකත් තිබුනා නම් විකුණල කීයක් හරි අතට ගන්න තිබුනා.. දැන් කාල බීල ඉන්නව කියන්නෙත් කොච්චර නම් අමාරු දෙයක්ද ? 

බලන්නකො බඩු වල ගණන්.. එළවලු තුනක් එක්ක බතක් කාපු කාලයක් මතක නෑ මට. පව් අපේ පොඩි උන්.. ලබන සතියෙ පොඩි පුතාගෙ උපන් දිනේ, ඇඳුමක් වත් අරන් දෙන්න සල්ලි නෑ.. මම ආවෙ පුංචිලගෙන් හරි කීයක් ඉල්ලගෙන යන්න නිලන්ති.. අපේ අම්මලත් දැන් නෑනෙ.. කෝ ඉතින් හිටිය කියල අපේ එක්කෙනාගෙ අම්මල ලොකු පුතාට බලනව කියල එකක්‍ යැ..” නිලන්තිගෙ පිළිවෙලට තියෙන , බඩු අඩු පොඩි කුස්සිය පුරාවටම ඇහැ යවන ගමන් ඉනෝකා තමන්ගෙ දුක කියන්න ගත්තා.

“හැබැයි ඉනෝකා , මේ දවස් වල කොහොමත් එළවලු ටිකක් ගණන් වැඩියි. වෙනදට වඩා කෑම වලට වියදම් වෙනවා. වෙලාවට අපිත් ඔයාල එක්කම වගේ කුඹුර අරගත්තෙ. කඩෙන් හාල් ගන්න ගියා නම් කොහොම කරගන්නද..” තේ හදන ගමන් එහෙම කිව්වට නිලන්තිට නම් තමන්ට තරම් අහේනියක් නැති වග මැස්සක් උඩ ගොඩ ගහල තියෙන වට්ටක්කා ගෙඩි හයයි, පුහුල් ගෙඩි දෙකයි,වේලෙන්න එල්ලල දාල තියෙන ලූණු, සුදු ලූණු ඵලදාවයි දැක්කම ඉනෝකට හිතෙන්න ගත්තා.

” කුඹුරු තිබ්බට බත් විතරක් කන්න බෑනෙ නිලන්ති . මම පෙරේදා මාකට් එකෙන් අමු මිරිස් සීයක් ගත්තෙ රුපියල් සීයට.  අනික් එළවළු සතියකට ගත්තත් රුපියල් දෙදාහක් තුන්දාහක් වත් යනවනෙ. අනික් ඒව ගන්න සල්ලි නෑ එතකොට. ඉතින් බලන්නකො කොහොමද ගෙදරක් නඩත්තු කරන්නෙ කියල. මල්ලි එවන සල්ලිත් ඔක්කොම අම්මල පොතකට දානව, ඒවයින් සතයක් හොල්ලන්නෙ නෑ බෙහෙත් ගන්න වත්.. එක කුසේ උපන් මල්ලි උනත් කිසිම හැඟීමක් නෑ තමන්ගෙ අයිය ගැන.. එයා නොදන්නව නෙමෙයිනෙ අපිට එක පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි කියල, අනික ළමයින්ට උගන්නන්න කොච්චර වියදම් ද?” තමන්ගෙ දුක බෙදා ගත්ත උනත් නිලන්තිගෙ ගෙදර වටපිටාවට අවදානෙ යන වාරයක් ගානෙ  මොකද්දෝ නුරුස්නා ගතියක් ඉනෝකාගෙ හිතට එන්න ගත්තා.. ” මට හිතෙන්නෙම මේක මගෙ මහ කරුම කාලයක් කියල. මගෙ පව්කාරකමට තමයි මෙහෙම මනුස්සයෙක් බඳින්න උනේ අනේ.. වෙන ගෙවල් වල මිනිස්සු මෙහෙමද ගෑනුන්ට සැපට ඉන්න දෙන්නෙ?

එයත් වචනයක් වත් කියන්නෙ නෑ අම්මලටයි මල්ලිටයි.. ඕව කියල කරගන්න ඕන දේවල් නෙ.. මට උනත් මෙහෙම නිතර නිතර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්ද?”

” උවමනාවයි උත්සාහයයි තියෙනවා නම් කර්මය උනත් යම් තරමකර වෙනස් කරගන්න පුළුවන් අනේ.. අනික මල්ලි උනත් රට ගිහින් සැප රස්සාවක් කරන්නෙ නෑනෙ, එයත් පව්.. මෙහෙට ආව කාලෙක රට ගිහින් මහන්සියෙන් හොයපු දේවල් වල ඉතුරුවක් නැති උනාම එයාගෙ තරුණ කාලෙ නිකන්ම නාස්ති වෙලා කියල හිතෙයි.. මට නම් හිතෙන්නෙ අයියලගෙ අම්මල මල්ලිගෙ සල්ලි ඉතිරු කරල දෙන එක හරි.. අයියට නොසලකා ඉඳල නෙමයිනෙ නේද ?.. ඔයලට සින්නක්කරවමනෙ ඔය දැන් තියෙන ඉඩමත් දුන්න කිව්වෙ?.. ඒකෙත් පුව්ක් ගස් දහයක් එහෙම තියෙනව කිව්ව නේද ?..  තව බෝග එහෙමත් ඇතිනෙ..දැන් කරුංකා කිලෝ එකක් කීයද දන්නවද?” ඉනෝකා අතට තේ එක දෙන ගමන් නිලන්ති කිව්වා. මේ අවුරුදු ගානටම වත්තෙ මොනවද තියෙන්නෙ කියල උනන්දුවෙන් බැලුව වගක් ඉනෝකාට මතක් කරගන්න බැරි උනා. ” මම මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා, ඉනෝකා ගෙදර වැඩක් නැති වෙලාවට මොකද කරන්නෙ? ” රෑට අමතරව දවල් දවසටත්  රූපවාහිනියෙ යන කතා බලන්න ඇබ්බැහි උනු ඉනෝකට ඒ ගැන නිලන්තිට කියන්න ලැජ්ජා හිතුනා. ” නිකං ඉන්නව කියන්නත් බෑ අනේ, ගෙදර මොන මොනව හරි වැඩ තියෙනවනෙ හැමදාම කරන්න.. ඒක නෙමෙයි, මේ එළවළු ඔයාට කොහෙන් හරි අඩුවට හම්බුන ඒවද? ශෝක් එකට පැහිලා..” වට්ටක්කා තිබුණ දිහාට ඇහැ යවල ඉනෝකා ඇහුවා.

“ආ නෑ.. ඒව ඔක්කොම මම අපේ වත්තෙ හදපුව, පැහිල නිසා ගෙට අරන් ආව. ආ, මේ වට්ටක්කා ගෙඩිය ගෙදර අරන් යන්නකො..” නිලන්ති ඉනෝකට තෑග්ගකූත් දුන්නා.

කුස්සියේ පුටුවෙ ඉඳගෙන තේ එක බොන ගමන් දොරෙන් එළිය බලපු ඉනෝකට වත්ත කෙළවරේ නිලන්තිගෙ පුතා තනියම පාත්තියක් හදන හැටි පෙනුනා. ඒ ලඟ පාතම තවත් පාත්තියක ලස්සනට හැදුනු ගෝවා ගෙඩි කීපයකුත් , පෝලිමට ඉන්දපු නයි කොච්චි පැළ කීපයකුත් , නිවිති මැස්සකුත් සරුවට හැදිල තියෙන බවත් පෙනුනා. ” ඔයාලගෙ වත්ත සෑහෙන්න වෙනස් වෙලා නේද ?..”

” මම මෙහෙම ගෙදර වවන්න පටන් අරන් අවුරුදු තුනකට කිට්ටුයි දැන්. මුලදි හරිම අමාරු උනා. සමහර එළවළු පැල තවන් දාන්න ඇට හොයා ගත්තේ පොලට ගිහින් විසි කරල තියෙන එළවළු අරන් ඇවිල්ල. සමහරු නම් ටික දවසක් ගියාම මට කතා කරලම අහක දාන එළවලු වල ඇට දුන්න. සමහර ඒව ගෙවල් වල හදපු අයගෙන් ඉල්ලගත්තා. ගොඩක් මිනිස්සු හරි හොඳයි , මන් ඉල්ලපු වෙලාවට කවුරුවත් බෑ කිව්වෙ නෑ. ඒකම ඇතිනෙ මට තියෙන දේ වෙන මේ වත්තෙන් ප්‍රයෝජනයක් ගන්න.  මිරිස් කොටන්න ගෙනල්ල වේලපු මිරිස් සෝදල විසි කරපු වතුරෙ තිබ්බ ඇට වලින් හැදුනු පැල වලින් ගත්ත ඵලදාවෙන් මට හොඳ අමතර ආදායමකුත් ලැබුණා. ඒවයින් තමයි නිතර හම්බෙන්නෙ නැති එළවලු බීජ සල්ලි දීල ගත්තේ. දැන් නම් වත්තේ හැදෙන එළවලු ඕනවටත් වැඩි. මම සතියට සැරයක් ළඟ ගෙවල් දෙක තුනකට යනවා වැඩි එළවලු අරන් විකුණන්න.  ඒවයින් එන ආදායම නිසා අපිට කරදර අඩුයි ටිකක්.” නිලන්ති කියන වචනයක් ගානෙ මොකක්දෝ ලැජ්ජාවකින් ඉනෝකගෙ මූනට ලේ පුරන්න ගත්තා. අද දවල්ට කන්න උයන්න දෙයක් ගෙදර හරියෙ නැතිව තරහින් තමන්ගෙ දරුවට පවා බැන වැදුණු හැටි ඉනෝකට මතක් උනා. සාලයට එනකොට නිලන්තිගෙ දරුවො දෙන්නා ඉනෝකා ගෙනත් දුන්න කොමඩු කාල ඇට ටික තවන් දානව දැකපු ඉනෝකට දවස පුරාම ෆෝන් එක ඔබන ලොකු පුතයි, ටීවි එකේ එල්ලිල ඉන්න පොඩි පුතයි මතක් උනා.

“නරකද ඉනෝකත් වත්තේ මොනව හරි වවාගන්න බැලුව නම්? මේ වත්තට වගේම ඇති නෙ ඔයාලගෙ වත්තත් නේද ? කරල බලන්නකො. ගෙඩි හැදෙනකොට හරි ආස හිතෙනවා..”

“ඒක තමයි. ඒ උනාට උපාලි අයිය පියල් වගේ වතු වැඩ කරන්න කැමති නෑ අනේ. කුඹුරට යන එක විතරයි.. වෙලාව තියෙයිද දන්නෙ නෑ.. ඒ උනාට බලමුකො නේද.?.”  උපාලිගෙ කම්මැලිකමටයි, තමන්ට සලකන්න බැරි කමටයි හිත යටින් දෙස් දෙවොල් තියන ගමන් ඉනෝකා කිව්ව. 

” අපේ එක්කෙනත් උදව් කරන්නෙ නිවාඩු දවසට විතරයි අනේ.. ගෙදර එද්දි ගොඩක් හවස් වෙනවනෙ. අනික මම දවසම ගෙදර නිකන්නෙ ඉන්නෙ. එයාට කියල මට බැරි වැඩ ටික විතරක් කරගන්නවා. ඔහොම තමයි ඉතින් දෙන්නම ගෙදර දියුණුව වෙනුවෙන් මොන මොනව හරි කරන්නත් ඕනනෙ..” ඉනෝකාගේ හිත කියවන්න පුළුවන් උනු නිලන්ති කිව්වා. 

“ගොඩක් හවස් වෙලා නේද ? මං යන්නම් එහෙනම්. පස්සෙ දවසක ආයෙ එන්නම්කො..” ඉනෝකා යන්න කියල  නිලන්ති තෑගි දුන්න එළවලු මල්ලත් අරන් පාරට ගියා.

” එනව මෙතන මට වවන්න උගන්නන්න.. තනියම නම් කරයි ඔච්චර දෙයක්. මනුස්සය දැනගන්න ඕන ගෙදර ගෑනිටයි ළමයින්ටයි කන්න දෙන්න.. මම උදේ නැහීගෙන නැගිටල කන්න හදල ගෙවල් දොරවල් අස් කරගෙන ඉන්නව මදිද? මේ මොන වහල් කමක්ද? වවල බලන්න! අනෙ මගෙ කට!. . මහ ලොකු යාලුව.. අනික් උන් මට කරන දේවල් වලට ආවඩනව.. ලේසියෙන් සල්ලි හොයාගන්න විදියක් කියන්නෙ නැතුව, මටම තමයි නැහෙන්න කියන්නෙ..” එළවලු මල්ලෙ තිබුණ වට්ටක්කා ගෙඩියෙ බරට අත රිදෙන එකට බැන බැන ඉනෝකා බස් එකට නැග්ගා.

” එක්කොත් අද රෑට වට්ටක්කා හොද්දක් එක්ක තිබ්බටු මැල්ලුමකුත් හදනව..”

ත්තරා සඳමාලි

More Stories

Don't Miss


Latest Articles