සුහදිනී -69

සකී හදිසියේ ම අහස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයකින් මතු වීම ඇය දන්නා හඳුනන සෑම කෙනෙකුටම මහත් පුදුමයක් ඇති කර තිබිණ.ඒ ප්‍රේමය ගැන සැබෑවටම දැන සිටියේ නිම්නා සහ සියුම් ය. රන්මිණි පවා පැවසූ දෙයට වැඩි දෙයක් නොදනී.නමුත් දැන් කිසිවෙකුට එය රහසක් වූයේ නැත.

“මොකක්ද අර වෙලා තියෙන්නේ?”

සමහරුන්ට නිම්නාගෙන් එසේ නාසා සිටින්නට නොහැකි විය.නිම්නා පැහැදිලි සිනාවක් නැඟුවා ය.

“උන් දෙන්නා යාලුයි.එච්චරයි ඉතිං.”

ජීවිතයේ සියළු කම්කටොළු කාල දරා ගන්නට උදව් දුන් ප්‍රේමවන්තියක ගැන අහස් පවසයි.ඇය සකී බවට හෙළිදරව් වූ පසු එය උසුලා ගන්නට බොහෝ අයට පහසු වූයේ නැත.

“අහස් කියන්නේ සියුම්ගෙ හොඳම යාලුවෙක්ලු නේද? මෙයාව කොහෙන් හරි දැකලා අහස් නිකං ජොලියට සෙට් කරගන්න ඇති.ඉතිං සකී ඇයි මේ යූස් වෙන්නේ.”

බැලූබැල්මට එසේ කියන්නට හැකි බව නිම්නා ද දනියි.අප නොදන්නා කාරණා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුත්තේ ම එනිසා ය.සැබෑව දන්නා අයට විහිළුවක් නොවී හිඳීම එවිට පහසුවකි.

“එයා යූස් වෙන් නෑ කියන්න මං මොනතරම් හේතු කිව්වත් ඔයාලට ඒවගෙත් ඇදක් වැරැද්දක් පෙනෙයි.ඒ හන්දා ලේසිම විදිය තමයි ඔයාලට ඕන දේ හිතන්න ඉඩ දෙන එක.”

අහස් සකීගේ දෙමාපියන් මුණ ගැසෙන්නට ගිය කතාවත් පුදුමාකාර ලෙස ගැළපෙන කේන්දරවල කතාවත් අහස් ඉක්මනින් විවාහ වන්නට කැමැත්තෙන් හිඳින බවත් මේ කොරහේ කිඹුලන් දකින්නියන්ට පවසා පලක් නැති බව නිම්නා සිතුවා ය.ඔවුන්ට ඔවුන්ගේ මට්ටමෙන් දේවල් සිතන්නට ඉඩ හැරීම මිස කළ හැක්කක් නොවේ.

“අහස් ජනප්‍රිය නොවුණානම් එයාලා එහෙම හිතන එකක් නෑ නේද?”

සකී නිම්නාගෙන් ඇසුවේ සිතිවිල්ලේ ය.අතීතයේ මෙන් දැන් ඇය මෙවැනි දේට කම්පා නොවන්නී ය.නමුත් ක්ෂණික ආවේග සහ වේදනා නිම්නා ළඟ දිය කර දැමීම සකීට පහසුවකි.හොඳ මිතුරියක හිඳින්නේ එවැන්නකට ය.

“ජනප්‍රිය වුණත් නැතත් මේ මිනිස්සු රිලේෂන්ශිප් ගැන හිතන්නේ ඔහොම තමා.”

නිම්නා කියන්නේ බරපතල හඬකිනි.

“මම ඇත්තටම හේතුවක් නම් දන් නෑ.ඒත් රිලේෂන්ශිප් එකක් ඇතුළේ එක්කෙනෙක් රැවටෙනව ඇති කියලා හිතන එක තරම් සතුටක් ගොඩක් අයට නෑ.එහෙම හිතන්නේ දන්න කාලේ ඉඳන්ම එයාලා රැවටිල තියන නිසාද දන්නෙත් නෑ.ඒත් ඕක තමයි පොදු සිතුවිල්ල.ඒ නැතුව එයාලා සතුටින් ඉඳී.ඒ දෙන්නා පුදුම විදියට මැචින් වගේ දේවල් හිතන්නෙ නැතිම තරම්.”

නිම්නා එසේ කියද්දී සකීට තවත් දෙයක් සිහිපත් විණ.ඈ එය සැබෑවටම සරදමක් ලෙස බාරගත් දෙයක් නිසා වේදනාවක් නොතිබුණු තරම් ය.

“අපි දෙන්නගෙ ෆොටෝ එකට සමහරු කමෙන්ට් කරල තිබ්බා ඕක බඳින්න වෙන් නෑ කියලා.ඒක ඉතින් ප්‍රසිද්ධ විහිළුවක් නිසා මට හිනා ගියා.”

නිම්නා ඒ කතාව ද සරදමක් කර බාර ගත්තේ නැත.ඇය ඒ ප්‍රතිචාර කියවා බලන්නට තරමක් වෙලා ගත කළා ය.

“ඕක විහිළුවක් කියන්න පුලුවං තමා.හිතේ කිසිම කුණක් නැති අයත් ඕක කියනව.ඒ වුණාට සමහරු ඔය කතාව පිටින් දාලා ඇත්තටමත් ඒක කියනව.එච්චර කුහක මිනිස්සු තමයි ඉන්නේ.”

නිම්නා එසේ පවසා කතාන්දරයක් කියන්නට පටන් ගත්තා ය.සකීට එතරම් යහළුවන් නොවේ.ඇය දන්නා කාලයේ පටන් ම අන්තර්වාර්තික (introverts) දැරියක වූවා ය.නමුත් නිම්නා එහි විලෝමය ය.සකී මේ කාලයේ හොඳම මිතුරිය වුවත් නිම්නාට තවත් යහළුවන් බොහෝ සිටියි.

“ඉස්කෝලෙ කාලේ අපි දැක්ක ලස්සනම ලව් ස්ටෝරි එකක් සමාලිගෙයි මුදිතගෙයි ලව් ස්ටෝරි එක.කේලං අහන එකයි ඔලුවෙ විස පුරෝගන්න එකයි ගොන් වැඩක් තමයි.ඒත් මුදිත ඒක කරා.සමාලි අවුරුදු ගණන් ඩිප්‍රෙෂන් වලට බේත් බිව්ව.මං දන්න හැටියට තාම බොනවා.ආදරයක් ඩිප්‍රෙෂන් බෙහෙත් වලින් ඉවර වෙන එක මොනතරම් අපරාදයක් ද සකී.”

හසාරා හන්දා රිදවා ගත් හදවතක් සහිත අහස් සකීට මතකයට නැඟිණ.ඔහු ඒ රිදවීම පළිගැනීමක් පිණිස යෙදවූයේ ය.එහෙත් තෝරා ගැනීම් විවිධ වේ.ඒ හන්දා ප්‍රේමය නිසා මානසිකව ඇද වැටෙන්නන් සුලබ බව සකී දන්නී ය.

“ඒ කාලේ මුදිතට කේලං කියන එක තමන්ගෙ එදිනෙදා රස්සාව කරගෙන ඌට සමාලිට වඩා හොඳ කෙල්ලක් හොයා ගන්න පුලුවන් කියලා උදේ හවස කිව්ව කෙනෙක් තමයි මේ ඔයාලට කමෙන්ට් කරලා තියන චතුරිකා.මට මේකිට රිප්ලයි කරන්න තරම් කේන්ති.උඹ කොහොමටත් මිනිස්සුන්ට ඕව කියන්නෙ ඇත්තටමනෙ කියලා.”

සකී මිතුරිය දෙස බලා උස් හඬින් හිනැහුණා ය.ඊර්ෂ්‍යාව සහ කුඩුකේඩුකම් තරම් නිම්නා කිසිවක්ම අප්‍රිය නොකරයි.ඇය සෑම මොහොතකම අනෙකා වෙනුවෙන් පෙනී සිටින්නේ අවංක හදවතකිනි.ඒ හන්දාම ඇයට අන් අය තළාපෙළා දමන්නන් වහකදුරු ගාණ ය.

“ඔය වගේ අයට අහස් කියන්නෙ ඉස්සෝ කියලා.ඔලුවෙ ජරාව පුරෝගත්තු මිනිස්සු.වැඩිපුර ඉන්නෙ එහෙම අය කියලා ඒ වගේ අය නිසා ලේ නරක් කරගන්න එපා කියලා එයා තිස්සෙම කියනව.”

සකී එසේ පවසා වැදගත්ම කතාව ඉන්පසු පවසන්නට වූවා ය.

“මං ඇත්තටම හිතුව මැරි කරන්න මං තාම ලෑස්ති නෑ කියලා නිම්.ඒත් මේ දේවල් පේනකොට මට හිතෙනව ඉක්මනින් අහස්ගෙ වෙන එක හොඳයි.”

අහස් අහසක් බවත් සකී පොළොවක් බවත් කියන අය ඔවුන් දෙදෙනා එක් නොවන බව කියන්නට නොපැකිළෙන බව සකී දනියි.දිගින් දිගටම ඒවා අසා හිඳීම සැබෑ මානසික පීඩනයකි.පෙම්වතිය වී ඒවා දරා ගන්නවාට වඩා බිරිඳ වී ඒවා දරා ගන්නට සකී තීරණය කළා ය.

“කසාදයක් බඳින්න කලින් ආයේ ආයෙ හිතන්න ඕන හොඳෙ.ඔයා කවදා බැන්දත් බඳින්නෙ අහස්ව කියලා මං දන්නවා ඒක ලබන මාසෙද තව අවුරුද්දකින්ද අවුරුදු පහකින්ද කියලා හොඳට හිතලා තීරණය කරන්න.කොහොම වුණත් ඔයාට වරදින් නෑ.”

නිම්නා එසේ කියන්නේ ආදරයෙනි.සකී ඇය වැළඳ ගත්තා ය.

“කොහොම කවදා වුණත් ඔයා තමයි මගෙ බ්‍රයිඩ්ස්මේඩ්.”

එහෙත් නිම්නා මිතුරියගේ හිසට තට්ටුවක් දැම්මේ සංවේදී වීමෙන් වළකින්නට ය.සකීට හඬන්නට ලොකු හේතු අනවශ්‍ය බව ඇය දනියි.

“මං කියන බෙස්ට්මන්ලා නොගත්තොත් මං නම් ඔය වෙඩින් එකටවත් එන් නෑ හැබැයි.”

සාංකාමය සිතුවිලි අහකට දැමූ මිතුරියෝ එක පොදියට හිනැහෙන්නට ගත්හ.

(🌻 මල් අඳින්න පුලුවන් දවසක් අද.සකී සහ අහස් වෙනුවෙන් ආදරය ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles