නිබ්බුත ගීත -37

ලෝචන මදුරාපුර සඳනි ගේ විවාහ උත්සවය සඳහා පැමිණියේ නැත. ඊට පෙර දින මට ඔහු මදුරාපුර මැදුරේ දී කුඩා වෙලාවකට හමු වූ අතර, ඒ වෙලාවේ ඔහු රියට ගොඩ වීමේ සූදානමක සිටියේ ය.

“හෙට එනෝ නේ…”

කියා මා විමසත්දී ලෝචන මදෙස බලා සිටියේ මීට පෙර නොදුටු කෙනෙකු දෙස බලන්නා බඳු ඇස් දෙකකිනි. අමුත්තක් දැනුණත් මා අමුත්තක් සිතුවේ නැත. ඔහු සුසුමක් හෙළමින් රියට නැගුණේ ය. මගේ පැනයට පිළිතුරු දුන්නේ ඉනික්බිති ය.

“මට එන්න වෙන්නැති වෙයි නිබ්බුතා. ට්‍රින්කො වල සයිට්  එකකට යන්න වෙලා තියනව. මං දවස් කීපයක් එහේ ඉඳියි. ඇවිත් මං ඔයාට කතා කරන්නං”

ඔහු ගේ ඉරියව් වල කලබලයක් විය. ඒ රාජකාරී වැඩ බහුල වීම නිසා යයි සිතන්නට මම කැමති වීමි. ලෝචන කියන්නේ වැඩ ගැන විශේෂ කැපවීමක් සේ ම උනන්දුවක් දක්වන තැනැත්තෙකි. ඔහු රාජකාරිය දේව කාරිය සේ සලකා කටයුතු කරයි. ඒ දින වල ත්‍රිනුණාමලයෙහි ගොඩනැගිල්ලක් ඔවුන් ගේ ඉංජිනේරු ආයතනයෙහි ප්‍රධාන ඉදිරිකිරීමක් ව තිබි අතර ලෝචන ඊට සම්බන්ධ ව සිටියේ ය. 

සඳනි ගේ විවාහය දිනයේ ඔහු නැති අඩුව මට දැනිණ. සඳනි මට නැතිව යනවා කියන එකට වෙන ආදේශක වූයේ නැත. අඩු තරමින් ලෝචන සිටියා නම් මට  වාරු වෙන්නට ඔහු සිටිනු ඇත. මදුරාපුර මැතිණිය පැමිණ සිටිනු එක වෙලාවක මා දුටුවත්, කතා කරන්නට සොයත්දී ඇය නික්ම ගොස තිබිණ.

“ආන්ටි වැඩිය මේ වගේ ෆන්ක්ශන්ස් වල ගැවසෙන කෙනෙක් නෙවෙයිනෙ. ඉන්වයිට් කරන නිසා යුතුකමක් විදිහට ඇවිත් ඉක්මනට යනව”

සඳනි කීවා ය. 

මධාරා අක්කා ගේ විවාහය මෙන් නොව මෙහි දෙවන මනාලිය ලෙස පෙනී සිටීම මට තරමක් අපහසු අත්දැකීමක් විය. ඒ පළමු වැන්නෙහි අත්දැකීම් වල මතකය මගේ මනසේ හොල්මන් කිරීම නිසා ය. තව නොබෝ වෙලාවකින් සමු ගන්නට යන සඳනි ගැන සිහි වෙත්දී කල් ඇතිව ම මගේ ඇස් තෙමෙනා එක කෙසේවත් වැළකිය හැකි වූයේ නැත.

පවුලේ අයගෙන් සමු ගත්තාට පසු උදා වූයේ සඳනි මගෙන් සමු ගන්නා වෙලාවයි. එය මදිවියෙහි මා මුහුණ දුන් කටුක ම සමු ගැනීම් ද්විත්වයෙන් එකකි.

“නිබ්බූ” කියා ගෙන මා වැළඳ ගත් සඳනි ඉකි බිඳිමින් හඬන්නට වූවා ය..අමුතුවෙන් හඬන්නට දෙයක් මට නොවුණේ ඒ වෙත්දීත් මා හඬමින් සිටි නිසාවෙනි. මගේ පාලනයකින් තොරව කඳුළු ඔහේ ගලා ගියේ ය.

“දැන් පිටත් වෙන්න වෙලාව හරි”

කියා කිසිවෙකු කියත්දීත් අප දෙදෙනා සිටියේ උනුන් වැළඳ හඬමිනි.

 “පොඩි කාලෙ ඉඳල එකට හිටිය යාළුවො දෙන්නනෙ”

යමෙකු පවසනු ඇසිණ. 

“හපොයි ඔව්. ඉඳිකට්ටයි නූලයි වගේ. ඉස්සර උදේට ඔෆිස් යන්න බස් හෝල්ට් එකේ ඉද්දි මේ දෙන්නගෙ සිරික්කිය බලං ඉන්න ආසයි”

“කඩේකට ගියත් දෙන්නා එකටනෙ. ඔය ඉස්කෝල ගමන නතර වෙලා වෙන පැති වලට ගියාට පස්සෙ තමයි පාරවල් ගානෙ කොල්ලො වගේ මේ දෙන්නව දකින එක අඩු වුණේ”

ඒ වගේ කතා අප වට කොට එක එක්කෙනා ගේ මුවින් මිමිනුණි. අවසන අප අපෙන් මිදුණේ හඬා හොඳට ම හෙම්බත් වීමෙන් අනතුරුව ය.

“සතුටෙන් ඉන්න ඕන හොඳේ”

අවසාන වශයෙන් මම ඇයගෙන් ඉල්ලා සිටියෙමි. සඳනි කඳුළින් ම හිස සැළුවා ය.

“ඔයා සතුටෙන් හිටියෙ නැත්තං මට මැරෙන්න හිතෙයි”

කිසිවෙකු ට නෑසෙන සේ මම ඇයට මුමුණා කීවෙමි. ඇය මගේ අතක් තද කොට අල්ලා ගත්තා ය. මංගල රියෙහි නැගී ඇය නික්ම යත්දී මහත් හිස් හැඟීමකින් මා පිරී යන්නට විය. මල්ලී විත් මා කැටිව ත්‍රීරෝද රියකට නැගුණේ ය. ගෙදරට එන තුරුත් මම වරින් වර අපේ ළමා වියේ සුන්දර ම මතකයන් සිහි කොට කඳුළු සැළුවෙමි. අප තරහා වූ හෝ රණ්ඩු වූ අවස්ථා ගණනාවකි. විශේෂයෙන් ම තරහා වූයේ සඳනි ය. නමුත් අපට තරහ වී දින කිහිපයක් නොව පැය කිහිපයක් හෝ සිටිත නො හැකි තරම් විය. මා ලෝචන ට පෙම් කරනා බව දැන මගේ කම්මුල් වලට රිදෙන්නට පහර දුන් දවසේත්, පසු දාට එළි වූ ගමන් ඇය අපේ දොරකඩ සිටියා ය. මොන විදිහේ මත ගැටුම් වී ද මිතුරියන් වශයෙන් අපට අප නැතිව බැරි බව වඩාත් තදින් හිතට දැනුණේ මේ සමු ගැනීමත් එක්ක ය.

“එක ළඟ ගෙවල් නැති වුණා කියල යාළුකං නැති වෙන්නෙ නෑනෙ. මොකද මධාරා අක්කා එහෙම වුණාද…පොඩි ළමයි නෙවෙයිනෙ දැන්…ඕන වෙලාවක හම්බ වෙන්න පුළුවන්නෙ”

මල්ලී ඔහු දන්නා වචන වලින් පරිස්සමෙන් තෝරා ගත් සියුම් ම වචන යොදා ගෙන මා සනසන්නට උත්සාහ කළේ ය. ඔහු දැන් පොඩි එකෙකු නොවේ. ඉස්සර  බයිසිකල් රිම් එකක් තල්ලු කර ගෙන විත් පාසල් බස් රිය එන තුරු මග බලා උන් පොඩි කොලුවා නොවේ. නමුත් මල්ලී තවමත් මහිතේ ඉන්නේ ඒ පොඩි කොලුවා ලෙසිනි. මා පාසලෙන් ගෙන එන බනිස් ගෙඩිය දකිත්දී ලස්සන සිනහවක් මුහුණේ ඇඳ ගන්නා අහිංසක කොලු පැටියා ලෙසිනි.

නමුත් දැන් ඔහු ලොකු මිනිසෙකි. මල්ලී දියුණු වීමේ දැඩි වෙහෙසක් දරනා තුරුණු ව්‍යවසායයෙකි. ලෝචව ගේ මාර්ගයෙන් හැඳින ගත් නීතීඥවරයෙකුට ඔහු මීට කිහිප දිනකට පෙර ඔහු වෙනුවෙන් නඩුවකට කතා කිරීම පවරාලූයේ ය. ඒ මහ ගෙදර ඉඩමේ අම්මාගේ හිමිකම හා අපේ උරුමය අප වෙත ලබා ගැනීම වෙනුවෙනි. අම්මා මේ විදිහට නඩුවක් ගොනු කිරීම ගැන කණස්සලු වූවා ය. කවරක් සිදු වී ද ඇයගේ සහෝදරයන් සමග ගෙයකට ඉඩමකට නඩු කීම අමමා ගේ හිතට පහසුවක් දැනවූයේ නැත.

“එක අම්මගෙ නොවුණට අපි එක තාත්තගෙ දරුවො ළමයිනේ. එහෙව සහෝදරයො එක්ක ගේකට නඩු හබ පටලෝ ගන්නව කියන්නෙ…”

“අම්මෙ…ඒක තමයි සහෝදරයො විදිහට උනුත් අම්මගෙ කොටස දෙන්න ඕන කියන්නෙ. ඔය විදිහට අම්මට අයිති දේට වංචා කරල උංම බුක්ති විඳින එකට කියන්නෙ සහෝදරකම කියලද…”

මල්ලී මේ වතාවේ අඩිය පස්සට තබන්නට කිසි සේත් සූදානම් වූයේ නැත. කොහොමත් මේ ඔහු සිය වයස සම්පූණ වන තුරු ලබා ගන්නට නො ඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාවකි. 

“අනිත් එක ඔය බූදල් නඩු කියන්නෙ බඩවැල් වගේ අවුරුදු ගණන් ඇදෙන ඒව. හම්බ කරන තුට්ටු දෙක ලෝයර්ලට පුදනවට වඩා දෙයක් නෑ. ඒවට වියදං කරන සල්ලි වලින් අලුතෙන් ඉඩං කෑල්ලක් ගන්න පුළුවන්”

“ඉඩමක් ගන්න පුළුවන් තමයි දවසක. ඒක නෙවෙයි මට ඕනෙ. මුං කරපු බලු වැඩේට පාඩමක් උගන්නන්න. අපි මෝඩ හරක් නෙවෙයි කියන එක උන්ට කියල දෙන්න. ඒක නිසා අවුරුදු ගාණක් නඩුවට වියදං කරල හරි මං අපේ කොටස ගන්නව”

මල්ලී ගේ අධිෂ්ඨානශීලී බව ගැන මම හිත යටින් සතුටු වීමි.

වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගය ආසන්න වෙමින් තිබුණෙන් මම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළෙමි. ඇතැම් දින වල නේවාසිකාගාරයේ ම නතර වී වෙහෙසී පාඩම් වැඩ වල නිරත වීමි. ඒ හැම වෙලාවක ම ලෝචන මදුරාපුර සිහිනයෙන් ගෑ සුවඳක් සේ හිතේ දැවටී සිටියේ ය. මම කාසි දමන දුරකතන පෙට්ටියකට කාසියක් දෙකක් දමමින් ඔහු ගේ දුරකතනයට ඇමතුම් ගත්තෙමි. 

“මට කෝල් කර ඉන්න හදන්න එපා. ඔයා මහන්සි වෙලා වැඩ ටික කර ගන්න. අපිට පස්සෙ කතා කරන්න පුළුවන්නෙ”

එහැම විටෙක ම ඔහු කීවේ ය. ඒ මගේ ම යහපතට යයි හිතන්නට තරම් ඒ දින වල මම බොළඳ වීමි. ඔහු කළේ හැකි තාක් සියුම් ලෙස මා මග හරින්නට උත්සාහ කිරීමයි කියා වැටහුණේ තව ටිකක් පමා වී ය.

ඇතැම් දින වල ඔහු මගේ දුරකතන ඇමතුම් මගහැරියේ ය. වැඩ වැඩි නිසා යයි මම සිතුවෙමි. පෙර දී වාගේ වෛද්‍ය පීඨය ඉදිරියේ ඔහු ගේ මෝටර් රථය සුලභ දසුනක් නොවී ය. පුංචි බොරැල්ලට පයින් ඇවිද විත් මම බස් එකේ ගෙදර ආවෙමි.

ලෝචන වරඩිපුර ගෙදරදී දැකිය නො හැකි බව අම්මා කීවා ය. සති අන්ත වල පවා ඔහු වැඩ දමා ගෙන තිබුණේ ය. නමුත් මේ තත්වය කිසි සේත් ම මම බරපතල ලෙස නො ගත්තෙමි. ලෝචන මගෙන් දුරකට යමින් සිටින බවක් සිහිනයෙන් හෝ හිතන්නට මට බැරි වූයේ එවැන්නකට හේතුවක් අප අතරේ නොවීම හා ඔහු මට  වෙන් වීමක් ගැන ඉඟියක් හෝ නොදී සිටීම නිසාවෙනි.

ප්‍රේමය වූ කලී නිරතුරු ළඟ දැවටිය යුතු යමක් නොවෙතැයි මම විශ්වාස කළෙමි. ශරීර වලින් දුරක සිටියාට මනසින් ප්‍රේමය නඩත්තු කළ හැකි බව මම විශ්වාස කළෙමි. 

මේ අතරේ ඉඳ හිට දවසක ඔහු මට හමු වූයේ ය. එවන් දිනෙක උහුලා ගත නොහැකි ආදරයකින් ඔහු මදෙස බලා සිටියායි සිහිපත් වන්නේ දැන් ය. 

“ඉස්සරහට තියපු අඩියක් කොහොමවත් පස්සට ගන්න බෑ නිබ්බුතා. මං ටිකක් බිසී. ඉස්සරහට අපිට මීටත් වඩා අඩුවෙන් මුණගැහෙන්න වෙයි. ඔයා ඒව ගැන හිත හිත ඔයාගෙ වැඩ අවුල් කර ගන්න එපා. පුළුවන් වෙච්ච ගමන් මං ඔයා ළඟට එනව. එතකල් ස්ටඩීස් නිග්ලෙක්ට් කර ගන්නෙ නෑ කියල ඔයා මට පොරොන්දු වෙන්න ඕන”

මම සතුටෙන් ඒ පොරොන්දුව දුන්නෙමි. 

“පොරොන්දු තියෙන්නෙ ඉෂ්ට කරන්න බැරිනං කඩ කරන්නනෙ”

කියමින් සිනහ වෙවී කීවේ ඔහු ට වූ පොරොන්දුවක් කඩ කරන්නට මියෙන මොහොත තෙක් ද මට නො හැකි බව ඉඳුරා දැන ගෙන ය. 

වහින්නට කිට්ටුව තදින් හිරු පායයි. වස්සානයට පෙර කටුක ගිම්හානයක් වේ. ශීතලට පෙර තද උණුහුමක් අත්විඳිනු හැකි ය. වැහි බර අහසේ දේදුනු ද පායයි. ඒ වගේ මගෙන් මිදී යන්නට පෙර ඔහු දැඩි ස්නේහයක් දරා ගෙන සිටියේ ය. එය මට නො පෙන්වන්නට ද නො දනවන්නට ද ඔහු උත්සාහ කළා කියා ද මට හැඟුණේ ආපසු ඒ දින හා සිදුවීම් ගැන මෙනෙහි කරත්දී ය. 

“මං ඔයාට හරි ආදරෙයි”

වෙන්වීමට පෙර අවසාන වශයෙන් අප හමු වූ දා ඔහු තදින් මා වැළඳ ගෙන කීවේ ය. එදා වෛද්‍ය පීඨය අසලට ඔහු පැමිණ සිටි අතර මගේ අත අල්ලා ගෙන අගනුවර පාරවල් වල මෝටර් රථය ඔහේ පැද ගෙන ගියේ ය. ඒ ටික දිනක් හමු වෙන්නට නො හැකිව තිබි නිසායි මා සිතන්නට ඇත. මම ආදරය හදින් තුරුලු කර ගෙන ඔහු ට අවනත පෙම්වතිය ව සිටියෙමි. සැන්දෑව මඳ අඳුරේ නැහැවෙමින් ද නගරය නියොන් එළි වල කෘතිම ආලෝකයෙන් ආලෝකවත් වෙමින් ද තිබිණ. හුදෙකලා මගක රිය නතර කළ ලෝචන මදුරාපුර මඳක් ඇලයට හැරී මදෙස බලා ගත් වන සිටියේ ය. ඒ වෙලාවේ ඔහු ගේ ඇසක ශෝකයක සේයා වැතිර තිබූ බව පසුව මම සිහි කොට ගතිමි. ඒ වෙලාවේ ඔහු ගේ මුහුණ පුරා වැවී තිබූ රැවුල් කොට නිහඬව කියා පෑවේ, වෙනදාට ජැන්ඩියට තමන්ව ලෝකයට පෙන්වා සිටීමට කැමැත්තක් දැක්වූ ලෝචන තමන්ව ම අත් හැර දමා තිබූ බව ද? මම නො දනිමි. 

“ඇයි…අනේ..”

මා ඇසුවේ ආදරය ද නෝක්කාඩුව ද හුරතලය ද මුහු වූ හඬ තානයක් මවා ගනිමිනි. ලෝචන වැරෙන් මා සිය පපුවට තුරුලු කර ගත්තේ ඒ වෙලාවේ ය. ඒ තරම් තදින් ඉන් පෙර කිසි දාක ඔහු මා වැළඳ ගෙන තිබුණේ නැත.

මම ඇස් දෙක පියා ගෙන සිටියෙමි. රාත්‍රී මඳ අඳුර ද හුදෙකලාව ද පෙම්වතුන් ගේ හිත් වල මඳ මත් බවක් තවරා ලන්නේ ය. ඒ මත් බව ඇතුළේ  අවදියෙන් සිටීම තුළ වෙනම ම මිහිරක් අත් විඳින්නට පුළුවන. කොහොමටත් ලෝචන ගේ පපුවත් අත් යුගත් අතරේ සදෙව් ලොවක සුවය වන බව මීට පෙර ද මා අතින් කියවී තිබෙනවා ඇත!

කොයි තරම් වෙලාවක් මා ඔහු ගේ පපුතුරට ගුලි වී ගෙන සිටියා ද කියන්නට නො දනිමි. අප දෙදෙනා තිගැස්සී ගෙන අපෙන් මිදුණේ රියෙහි පැති වීරුවකට තට්ටු කරනා හඬකිනි. පොලිස් නිල ඇඳුම් හැඳි තැනැත්තන් දෙදෙනෙක් අපට එතැනින් නික්ම යන ලෙස අතින් ඉඟි කළේ ය. ලෝචන සුසුමක් ඉහළට ඇද ගන්නවා මට පෙනිණ. ඔහු රිය පෙරට ගත්දී ඒ අවසාන හමු වීමක අවසාන මොහොත බව මා සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles