පවුලේ ගෞරවය වෙනුවෙන් මරා දැමෙන ගැහැනු

 ලෝකයේ  වෙන ඕනෑම කෙනෙකුට ගෞරවනීය ජීවිතයක් හිමි විය යුතුයි.ගෞරවනීය මරණයක්? ඔව් එයද මිනිසෙකුට හිමිවිය යුතුම දෙයක්.නමුත් කෙනෙකු තමන්ගේ පවුලේ ගෞරවය වෙනුවෙන් පවුලේ වෙනත් සාමාජිකයෙකු ඝාතනය කරනවා නම් ඒ මොන තරම් ඛේදනීය තත්ත්වයක් ද? Honor Killing ලෙස රහසිගතව සිදු කරන මේ අපරාධ ගැන ලෝකය පුරා නිර්මාණ සහ සාහිත්‍ය තුල අප්‍රමාණ ලෙස කතාබහට ලක් වෙන නිසා ඒවා කල්පිත ලෙස සමහරුන්ට හිතෙන්න පුළුවන්.

නමුත් එවැනි දේවල් මේ ලෝකයේ සිදු වෙනවා!

මැදපෙරදිග රටවල ලාබාල යුවතියන් පවුලේ ගෞරවයේ නාමයෙන් මෙසේ මිය යනවා.බොහෝවිට පවුලට නොගැලපෙන තරුණයකු සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම නැති නම් දූෂණයට ලක් වීම ඔවුන් මෙසේ පවුලේ ගෞරවය හානි කරන අවස්ථා ලෙස සැලකෙනවා.

ලෝකය පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ Burned Alive කෘතිය මෙවැනි ඛේදනීය තත්ත්වයකට පත්වූ පලස්තීන යුවතියක ගැන සත්‍ය කතාවක්.සෞඩ් නම් වූ ඇය දාහත් හැවිරිදි  වියේදී අසල්වැසි තරුණයෙකු සමඟ ප්‍රේමයක් ඇති කර ගන්නවා.ඔහු සමග ඇති කර ගන්නා ලිංගික සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස සෞඩ් ගැබ් ගන්නවා.විවාහයක් නොකරගෙන ගැබ්ගත් දියණියගේ ජීවිතයේ ඊළඟට සිදුවිය යුතු දේ තීරණය කිරීම වෙනුවට ඇගේ පවුලේ උදවිය ගන්නෙ වෙනත් තීරණයක්.සෞඩ් පවුලේ ගෞරවයට හානි කර අවසන්.ඒ නිසා එය මරා දැමිය යුතුයි.පවුලේ සියල්ලන්ම පිටතට ගිය මොහොතකදී සෞඩ් ඇගේ ඥාති සහෝදරයෙකු පණපිටින් පුළුස්සා දමනවා.ඉන්පසුව ඇය රෝහලකට ගෙනගොස් දමන්නට ඔවුන් ක්‍රියා කරනවා.පවුලේ ගෞරවය කෙළෙසූ දියණියට ලැබෙන දඬුවම එබඳු එකක්.මාස ගණනක් තිස්සේ රෝහල් ඇඳක් මත දුක් විඳින සෞඩ්ගේ ඇඟේ සියයට හැත්තෑවක් පමණ කොටසක් සම්පූර්ණයෙන්ම පිළිස්සුණු බව සඳහන්.ඇගේ දරුවා ලැබෙන්නේ ද ඒ රෝහල් සයනය මතමයි.කුමක්දෝ වාසනාවකට රතු කුරුස සංවිධානයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියකට මුණගැසෙනවා.ඇය සෞඩ් සහ දරුවා යුරෝපා රටකට ගෙන යනවා.ජීවිතය අසීරුවෙන් හෝ යළි අරඹන සෞඩ් දැන් සුරක්ෂිත ගැහැනියක්.වෙනත් නිදහස් මිනිසෙකු සහ විවාහ වී දියණියන් දෙදෙනෙකු ලැබූ මවක්.

නමුත් මැදපෙරදිග රටවල පවුලේ ගෞරවය වෙනුවෙන්  මරණයට කැප කරන හැම යුවතියක්ම ඒ තරම් වාසනාවන්ත නැහැ.සෞඩ්ට මෙන් මරණය අබියසට ගොස් යළි පැමිණෙන්නට තරම් වාසනාවන්ත නැහැ.

Honor Killing  හැඳින්වෙන මේ ඝාතන සියල්ලම සිදු කරන්නේ පවුලේම පිරිමියෙකු වීම විශේෂත්වයක්.සමහරවිටෙක පවුලේම අයෙකු අතින් දූෂණයට ලක්වන දියණියන් ඒ තත්වයට ඇද වැටෙන්නේ ඔවුන්ගේ වරදින් බව පවසන්නට තරම් ඇගේ පවුල කුරිරු වෙනවා.පවුලේ පිරිමියෙකුගේ සීලය බිඳ දැමු වරදට පිහි ඇනුමක් ගිනි තැබීමක් වැනි කෲර ක්‍රියාවක් හරහා මරණය වැලඳ ගන්නට ඇයට සිදු වෙනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ ගැන ප්‍රබල හඬක් නගමින් සිටිනවා.නමුත් සමහර වෙලාවට බොහෝ පවුල් මෙයට පෙළඹෙන්නේ අසල්වැසියන්ගේ සහ ඥාතීන්ගෙන් එල්ල වන දැඩි පීඩනය නිසා.පවුලට නොගැළපෙන තරුණයකු සමඟ හාදකමක් ඇතිකරගන්නා දියණිය මරා නොදමන්නට තරම් මුල පිරිමින් සතු බියගුලුකම ගැන ඔවුන් ප්‍රශ්න කරනවා.තමන්ගේ ගමට සදාචාරාත්මක කැළලක් බව පවසමින් ගම් නායකයන් මරණය සම්බන්ධයෙන් පවුලේ පිරිමින්ට බලපෑම් එල්ල කරන අවස්ථා පවා ගන්නට ලැබෙනවා.සරලවම කිවහොත් මේ සමාජයේ විචාරාත්මක සම්මත සම්මතයන් උල්ලංඝනය කර තිබෙන්නේ දූෂණයට ලක් වූ ගැහැනිය දූෂකයා නොවේ.එනිසා අසරණ ගැහැණිය ට අයත් වන්නේ මරණයයි. පවුලේ සාමාජිකාවගේ ජීවිතය නැති වීමට වඩා තමන්ගේ පවුල සමාජයෙන් කොන් වීම ප්‍රබල ගැටලුවක් ලෙස දකින මේ මිනිසුන් වින්දිත ගැහැනිය මරා දමනවා.

honor-killing.

සමහර වෙලාවට අනියම් සම්බන්ධතා පැවැත්වීම,දික්කසාදය ඉල්ලා සිටීම,සම ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ සංස්කෘතියට සහ ඔවුන්ගේ සදාචාරයට නොගැළපෙන බවට සම්මත ඇඳුම් සහ ආභරණ පැළඳීම,වෙනත් ආගම් ඇදහීම ගැහැණු පිරිමි භේදයකින් තොරව Honor Killing වලට ලක්වීමට හේතුවක්.

සෞඩ් දියුණු රටකට පලා විත් ජීවිතය බේරා ගත් නිසා මේ සම්බන්ධයෙන් දිගු කාලයක් හඬ නැගුවා.ඇගේ කතාව නවකතාවක් බවට පත්කර ලෝකයට මේ ම්ලේච්ඡත්වය පිළිබඳ වැටහීමක් ලබා දුන්නා.නමුත් කිසිදු වාසනාවක් ඉතිරි නොවී මිය යන්නට සිදු වූ දැරියන් ඕනෑ තරම් ඇති.එවැනි දැරියන් නැවත බිහි නොවන තැනට සාධාරණත්වය ඉටුවන ලෝකයක් ඉක්මනින් උදා නොවන්නේ නම් එය මහත් ඛේදවාචකයක්.

වින්දිතයාට වැරදිකරු වී දරුණු මරණයක් අයත් වීම ම ලෝකයේ කෲරත්වය කියාපාන හොඳ නිදසුනක්.හැම කාන්තාවකටම නිදහස් ලෝකයක් උදාවීම තවමත් ප්‍රාර්ථනාවක් පමණක් වීම ම ඛේදවාචකයක්.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles