1996 ජනවාරි 13 වෙනිදා හැන්දෑවේ තුනයි දහය විතර වෙද්දි ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන්වල ජීවත් වුණු ඇම්බර් හැබර්මන් හිටියේ එයාගේ අම්මයි, මල්ලි රිකීයි එක්ක ආච්චිලාගේ ගෙදර.
ඒ වෙලාවේ ඇම්බර්ටයි රිකීටයි හිතුණා සයිකල් පදින්න යන්න.
දෙන්නා එළියට යන්න ලෑස්ති වෙනකොට ඇම්බර්ගේ අම්මා එයාට කියන්නේ, “ගේ පේන මානෙන් එහාට යන්න එපා. මල්ලිත් එක්කම සයිකල් පදින්න” කියලා.
ඇම්බර්ත් වෙනදා වගේම “හරි මමී” කියලා මල්ලිත් එක්ක එළියට යනවා.
අම්මාට ඒ වෙලාවේ කිසිම විශේෂ බයක් තිබුණේ නැහැ තමන්ගෙ දරුවො ගැන. එයාට හිතන්නවත් හේතුවක් තිබුණේ නැහැ, ඒක තමන්ගේ දුවව අන්තිම වතාවට දකින මොහොත වෙයි කියලා.

බයිසිකල් පදින්න ගිය ගෑනු ළමයට මොකද වුණේ?
හැබැයි විනාඩි තුනක් විතර ගතවෙද්දි රිකී ආපහු ගෙදරට එනවා. එයා එන්නේ සයිකලේ පුළුවන් තරම් වේගෙන් පදින ගමන්. මූණ දිහා බැලුවම හොඳටම බය වෙලා කියලා පේනවා. රිකීගේ ඒ පෙනුම දැකපු ගමන්ම අම්මාට තේරෙනවා මොකක් හරි දෙයක් වෙලා කියලා. එයා රිකීගෙන් අහනවා, “ඇයි තනියම ආවේ? කෝ අක්කා?” කියලා. එතකොට රිකී කියන කතාව අහලා මේ අම්මා එකපාරටම විශ්වාස කරන්නේ නැහැ. මොකද රිකී කියන්නේ ඇම්බර් එයාගෙන් ටිකක් ඈතට සයිකලේ පදින්න ගිය බවත්, අම්මා වැඩි ඈතකට යන්න එපා කියපු නිසා තමන් එතන නතර වෙලා අක්කා ආපහු එනකන් බලාගෙන හිටපු බවත්.
ඒ වෙලාවේ තමයි එකපාරටම වාහනයක් එතනට ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. ඒකෙන් මිනිහෙක් බැහැලා ඇවිත් ඇම්බර්ව බලෙන් වාහනයට දාගෙන ගොඩක් වේගයෙන් එතනින් පැනලා ගිහින් තියෙනවා. රිකී මේක තමන්ගේ අම්මාට කියනවා. හැබැයි අම්මාට මුලින්ම හිතෙන්නේ මේක රිකීගේ විහිළුවක් වෙන්න ඕනේ කියලා. ඒ නිසා එයා ආයෙත් රිකීගෙන් අහනවා, “කොහෙදිද අක්කව අරගෙන ගියේ?” රිකී පෙන්නන්නේ ගෙදර ඉඳන් බ්ලොක් දෙකක් විතර ඈතින් තිබුණු පාර්කින් ලොට් එකක්.
ඒ තැන එච්චර සෙනඟ ගැවසෙන තැනක් නෙමෙයි. පාලුවට ගිය, අත්හැරලා දාපු වගේ පේන තැනක්. හැබැයි ඒ වෙලාවේ පාරේ මිනිස්සු ගැවසෙමින් හිටියා. ඒ නිසා ඇම්බර්ගේ අම්මාට තාමත් මේ කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න අමාරුයි. මෙච්චර මිනිස්සු ගැවසෙන තැනකට කවුරුහරි ඇවිල්ලා ළමයෙක්ව බලෙන් අරගෙන ගියා නම් කවුරුවත් ඒක දැකලා නැත්තේ කොහොමද? කියන ප්‍රශ්නය අම්මගෙ හිතේ තිබුණා.
ඒත් කෝකටත් කියලා අම්මා රිකී පෙන්නපු තැනට යනවා. එතන ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඇම්බර් පේන්න නැහැ. දැන් වෙද්දි ඇම්බර්ට ආපහු ගෙදර එන්නත් හොඳටම වෙලාව ගිහින්. ඒ නිසා අම්මා තවත් ටිකක් ඉස්සරහට යනවා. ඇම්බර්ගේ නම කියලා හයියෙන් කතා කරනවා. එක පාරක් නෙමෙයි, ආයෙ ආයෙත් කතා කරනවා. ඒත් කිසිම තැනකින් උත්තරයක් ලැබෙන්නේ නැහැ.
ඒ මොහොතේ තමයි අම්මගෙ හිතේ තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැති වෙන්නේ. රිකී කියපු කතාව විහිළුවක් නෙමෙයි. ඇම්බර් ඇත්තටම අතුරුදන් වෙලා. අම්මා පුළුවන් තරම් ඉක්මනට ගෙදරට දුවගෙන ඇවිත් පොලිසියට මේ ගැන දැනුම් දෙනවා. ඒත් එක්කම ඇම්බර්ව හොයන්න පොලිසිය විතරක් නෙමෙයි, අවට ඉන්න මිනිස්සුත් එකතු වෙනවා. හැමෝම එකතු වෙලා පාරවල්, වටපිටාව, හිස් ඉඩම් හැම තැනක්ම පීරලා බලන්න පටන් ගන්නවා.
ඒ අතරේ පොලිසියට තවත් වැදගත් තොරතුරක් ලැබෙනවා. ඇම්බර්ව පැහැරගෙන යන සිද්ධිය කෙනෙක් ඇස් දෙකෙන්ම දැකලා තිබුණා. ඒ සාක්ෂිකාරයා පොලිසියට කතා කරලා තමන් දැකපු දේ ගැන කියනවා. දැන් පොලිසියට ඇම්බර් අතුරුදන් වුණා කියන එක විතරක් නෙමෙයි, ඇම්බර්ව කවුරුහරි පැහැරගෙන ගියා කියන එක ගැනත් සාක්ෂියක් තිබුණා.
ඒත් පොලිසිය තාමත් නොදන්න එකම දේ තමයි.
ඇම්බර්ව අරගෙන ගියේ කොහෙටද?
ඒ මිනිහා කවුද?
ඒ වගේම ඇම්බර් තාමත් ජීවතුන් අතරද? කියන දේ
ජීමි තමයි මේ සිද්ධිය දකින්නේ. එයා පාර දිහා බලාගෙන ඉන්නකොට තමයි ටිකක් එහායින් පාර අයිනේ හිටපු ළමයෙක් ගාවට ඇවිත් තද පාට පිකප් ට්‍රක් එකක් ඇවිත් නතර වෙන්නේ. ට්‍රක් එක නතර කළා විතරයි ඒකේ ඩ්‍රයිවර් එකපාරටම එළියට බැහැලා ළමයා පැත්තට දුවගෙන යනවා. එයා ළඟට එන්නේ ළමයාගේ පිටිපස්සෙන් නිසා, මොකක් වෙන්න යනවද කියලා ළමයාටවත් හිතාගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ.
ඒ මිනිහා ළමයාව අල්ලගත්ත ගමන් ළමයා කෑ ගහන්නත්, බේරෙන්න දඟලන්නත් පටන් ගන්නවා. හැබැයි ඒ හැමදේම සිද්ධ වෙන්නේ තත්පර කීපයක් ඇතුළත. ඒ මිනිහා ළමයාව ඉක්මනටම ට්‍රක් එකට දාගෙන එතනින් පැනලා යනවා. මේ මුළු සිද්ධියම වෙන්නේ ජිමීට හරියට තේරුම් ගන්නවත් වෙලාවක් නැති තරම් වේගයෙන්.
ජිමී මේක දැකලා තියෙන්නේ එයාගේ බැක් යාඩ් එකේ ඉඳන්. පාරයි එයා හිටපු තැනයි අතර දුර ටිකක් වැඩි නිසා ඒ මිනිහගේ මූණවත් හරියට බලාගන්න එයාට බැරි වෙනවා. වාහනයේ නම්බර් ප්ලේට් එක බලාගන්නත් වෙලාවක් තිබිලා නැහැ. ඒ වුණත් සිද්ධිය දැකපු ගමන්ම ජිමී පොලිසියට කතා කරලා ඒ ගැන දැනුම් දෙනවා.
ඇම්බර්ගෙගේ පවුලේ අය ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. පස්සේ ඒගොල්ලොත් පොලිසියට කතා කරලා ඇම්බර් අතුරුදන් වෙලා තියෙනවා කියලා දැනුම් දුන්නම තමයි, මේ සිද්ධිය ගැන තවත් කෙනෙක් පොලිසියට කලින්ම කියලා තියෙන බව දැනගන්න ලැබෙන්නේ.
ඒත් එක්කම පොලිසියත් ඉක්මනටම වැඩ පටන් ගන්නවා. මුලින්ම ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ මේ වගේ තද පාට පිකප් ට්‍රක්වලට. ඒ ප්‍රදේශයට ඇතුළු වුණු සහ එතනින් පිටවුණු ට්‍රක් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. මොකද ගෙවිලා යන හැම තත්පරයක්ම වැදගත්. කාලය ගත වෙන තරමට ඇම්බර්ව හොයාගන්න තියෙන අවස්ථාවත් අඩු වෙනවා.
මේ අතරේ ඇම්බර්ගෙ අම්මයි එයාගේ පවුලේ අයයි දන්න කියන හැමෝටම වගේ මේ ගැන දැනුම් දෙන්න පටන් ගන්නවා. එයාලට ඕනේ මේ සිද්ධිය ගැන පුළුවන් තරම් ඉක්මනට මිනිස්සු අතරට ගෙනියන්න. ඒ වගේම ඇම්බර්ව හොයන වැඩේට පුළුවන් තරම් දෙනෙක් එකතු කරගන්න. ඒ නිසා වැඩි වෙලාවක් යන්න කලින්ම ඇම්බර්ව හොයන්න ලොකු පිරිසක් එකතු වෙනවා. එයාව පෞද්ගලිකව දන්නෙවත් නැති මිනිස්සු පවා මේ සෙවීම්වලට එකතු වෙනවා.
ටික වෙලාවක් යද්දි හැමතැනකම වගේ ඇම්බර්ගේ ෆ්ලයර්ස් බෙදාහැරෙනවා. ඒත් ඒ කිසිම දෙයක් ඇම්බර් ගැන හෝඩුවාවක් හොයාගන්න උදව්වක් වෙන්නේ නැහැ. කාලය ගත වෙන්න වෙන්න තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. ඒ ප්‍රදේශයේ මේ වගේ ට්‍රක් සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා, ඇම්බර්ව අරගෙන ගිය වාහනය මේ වෙද්දි සෑහෙන දුරක් ගිහින් ඇති කියලා පොලිසියටත් සැක හිතෙනවා.
ඒත් ඒ කිසිම දෙයක් නිසා ඇම්බර්ව හොයන එක නතර කරන්න කවුරුවත් සූදානම් නැහැ. පොලිසිය ඇම්බර්ව හොයන්න වෙනම විශේෂ කණ්ඩායමක් පවා යොදවනවා. ඒගොල්ලෝ දිවා රෑ නොබලා එයාව හොයන්න පටන් ගන්නවා. හැබැයි කොච්චර හෝඩුවාවල් ලැබුණත් ඒ එකකින්වත් ඇම්බර් ඉන්න තැනක් හොයාගන්න බැරි වෙනවා.
දුවගෙ අතුරුදහන් වීමට අම්මගෙ සම්බන්ධයක්?
මේ අතරේ පොලිසියේ අවධානය තවත් පැත්තකට යොමු වෙනවා. ඇම්බර් අතුරුදන් වෙන්න මාස එකහමාරකට විතර කලින් එයාගේ අම්මා රජයේ සහනාධාර වැඩසටහනක් ගැන කරන රූපවාහිනී වාර්තාමය වැඩසටහනකට සහභාගී වෙලා තිබුණා. ඒ වැඩසටහනේදී ඇම්බර්ගෙ පවුලේ ජීවිතය ගැනත් සෑහෙන තොරතුරු පෙන්වලා තිබුණා.
ඒ වැඩසටහන කරපු කණ්ඩායම ඇම්බර්ගේ පවුල වගේම තවත් පවුල් කිහිපයක් තෝරගෙන, රජයේ සහනාධාරවල වෙනස්කම් ඒ පවුල්වල ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලා රෙකෝඩ් කරලා තිබුණා. ඒ නිසා ඇම්බර්ගේ පවුලේ දෛනික ජීවිතය ගැන, ගෙදර තත්ත්වය ගැන, පවුලේ අය ගැන වගේ ගොඩක් තොරතුරු මේ කණ්ඩායම දැනගෙන හිටියා.
ඒකත් එක්ක පොලිසියට සැකයක් එනවා. ඇම්බර්ව පැහැරගත්තේ මේ වැඩසටහනට සම්බන්ධ කෙනෙක්ද? මොකද ඒගොල්ලන් ගාවඇම්බර්ගේ පවුල ගැන අනිත් අයට වඩා ගොඩක් තොරතුරු තිබුණා. ඒ නිසා අනිත් පැත්තෙන් පරීක්ෂණ යන අතරෙම පොලිසිය මේ කණ්ඩායම ගැනත් වෙනම පරීක්ෂණයක් පටන් ගන්නවා.
හැබැයි අන්තිමේදී ඒ සැකයත් බොරුවක් වෙනවා. මේ සිද්ධියට ඒගොල්ලන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා තහවුරු වෙනවා.
මේ වෙනකොට දවස් තුනක් ගෙවිලා ගිහින්. ඒත් ඇම්බර් ගැන තාමත් කිසිම තොරතුරක් නැහැ. දවසින් දවස එයාව හොයන්න එකතු වෙන මිනිස්සු ප්‍රමාණය අඩු වෙනවා. ලැබෙන හෝඩුවාවල් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා හැමෝගෙම හිතේ එකම ප්‍රශ්නයක් තියෙනවා. ඇම්බර්ට මොනවා වෙලා ඇතිද?
සමහරුන්ට හිතෙන්නේ මේ වෙද්දි ඇම්බර්ට ජීවිතය අහිමි වෙලා ඇති කියලා. තවත් අය හිතන්නේ එයාව පැහැරගත්ත කෙනා ඇයව ගොඩක් ඈතකට අරගෙන ගිහින් ඇති කියලා. ඒත් ඒ කිසිම අදහසක් තහවුරු කරන්න තරම් සාක්ෂියක් කාටවත් තිබුණේ නැහැ.
මොකද්ද ඒ කෝල් එකෙන් කිව්වෙ?
ඒ අතරේ ජනවාරි 17 වෙනිදා උදේ 11.40ට විතර ආලින්ටන් පොලිස් දෙපාර්තමේන්තුවට කෝල් එකක් එනවා. ඇම්බර්ව පැහැරගත්ත තැන ඉඳන් සැතපුම් හතරක් විතර ඈතින් තියෙන දියපාරක් ළඟින් එයාගෙ සිරුර හම්බවෙලා තිබුණා.
එතනින් යමින් හිටපු මිනිහෙක්ගේ බල්ලෙක් එකපාරටම අමුතු විදිහට හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා. බල්ලා කීප සැරයක්ම දියපාර පැත්තට දුවගෙන ගිහින් ආපහු එයා ළඟට ඇවිත් තියෙනවා. ඒක ගැන සැක හිතිලා තමයි එයා දියපාර ළඟට ගිහින් බලන්නේ. එතකොට තමයි එයා ඇම්බර්ගේ සිරුර දැකලා තියෙන්නේ.
ඩෝනාට, එහෙමත් නැත්තම් ඇම්බර්ගෙ අම්මට මේ ආරංචිය මුලින් විශ්වාස කරන්නවත් බැහැ. මෙච්චර වෙලාවක් තමන්ගේ දුව ආපහු ගෙදර එයි කියලා බලාගෙන හිටපු එයාට, ඇම්බර් මියගිහින් කියන එක පිළිගන්න අමාරු වෙනවා. ඒත් එක්කම එයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.
එයාට ඕනේ එකම දෙයයි. තමන්ගේ දුවව එක සැරයක්වත් දැකගන්න. ළඟට ගිහින් දුවව තුරුල් කරගන්න. ඒත් පොලිසිය ඩෝනාට එතනට යන්න අවසර දෙන්නේ නැහැ. මොකද ඇම්බර්ගේ සිරුර තිබුණු තත්ත්වය නිසා, එයාව දැකීම එයාගෙ මවට තවත් දරුණු කම්පනයක් වෙන්න පුළුවන් කියලා පොලිසිය තීරණය කරනවා.
ඇම්බර්ගේ ඝාතකයා එයාට කරලා තිබුණු දේවල් ඒ තරම්ම දරුණු නිසා, පොලිසිය ඩෝනට එයාගේ සිරුර පෙන්වන්නවත් ඉඩ දෙන්නේ නැහැ. එයාගේ මරණයට ප්‍රධාන හේතුව විදිහට හඳුනාගෙන තිබුණේ උගුර ප්‍රදේශයට සිදුකර තිබුණු කැපුම් කිහිපයක්. ඒ හැරුණුකොට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණු වෙනත් කරුණු පොලිසිය මාධ්‍යයට හෙළි කරන්නේ නැහැ.
ඒකට හේතුවත් වැදගත්. මොකද මේ වෙනකොටත් ඇම්බර්ගේ ඝාතකයා නිදැල්ලේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණු, මහජනතාව නොදන්න විශේෂ කරුණු පොලිසිය ළඟ තියාගන්නේ ඒ නිසයි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී ඝාතකයාත් ඒ අතර ඉන්න පුළුවන්. එහෙම අවස්ථාවක පොලිසිය හෙළි නොකළ කරුණක් එයාගේ කටින් අහම්බෙන් හරි පිටවුණොත්, ඒක ඝාතකයා හඳුනාගන්න ලොකු සාක්ෂියක් වෙන්න පුළුවන්.
ඝාතකයා තාම නිදැල්ලේ
ඇම්බර්ගේ මරණය ගැන මේ තොරතුරු එළියට එනවත් එක්කම මුළු ප්‍රදේශයේම මිනිස්සු සෑහෙන කම්පනයට පත්වෙනවා. මොකද මේ හැම දෙයක්ම කරපු කෙනා තාමත් නිදැල්ලේ. තමන්ගේම දරුවන්ටත් අනතුරක් වෙයිද කියන බය දෙමව්පියන්ගේ හිත්වලට දැනෙන්න පටන් ගන්නවා.
මේ අතරේ ඇම්බර්ගේ අවමංගල්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒකටත් විශාල පිරිසක් සහභාගී වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම අවසන් වුණාට පස්සේ ඩෝනට දැනෙන්නේ තමන්ගේ වේදනාව තවත් වැඩි වුණා වගේ. මොකද ආපහු ගෙදරට ආවම ගේ ඇතුළේ හැමතැනකම වගේ ඇම්බර්ගේ මතක තියෙනවා. මොන දෙයක් කරන්න ගියත් එයාව මතක් වෙනවා.
ඒත් ඩෝනට තමන්ගේ දුක ගැන විතරක් හිත හිත ඉන්න බැහැ. මොකද රිකී මේ වෙනකොට මානසිකවම හොඳටම කඩාගෙන වැටිලා. එයා කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. අක්කට වෙච්ච දේට තමන් වගකියන්න ඕනේ කියලා රිකී තමන්ටම දොස් පවරගන්නවා. අක්කව තනියම නොයැව්වා නම්, එයාව බේරගන්න තිබුණා කියලා එයා හිතනවා. ඒ නිසා තමන්ගේම වේදනාව ඇතුළේ තියාගෙන රිකී වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න ඩෝනට සිද්ධ වෙනවා.
මේ අතරේ පොලිස් පරීක්ෂණත් එක දිගටම කෙරීගෙන යනවා. හැබැයි තාමත් ඝාතකයා ගැන කිසිම පැහැදිලි තොරතුරක් ලැබිලා නැහැ. ඒ අතරේ පොලිසියට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා.
ඇම්බර්ගේ සිරුර හම්බවෙන්න දවසකට කලින් ඒ ප්‍රදේශයට තද වැස්සක් වැටිලා තිබුණා. ඒ නිසා ඇගේ සිරුර තිබුණු ස්ථානයේ තිබුණු සාක්ෂි විශාල ප්‍රමාණයක් වතුරට හේදිලා විනාශ වෙලා ගිහින් තිබුණා. ඇම්බර්ගේ බයිසිකලයෙවත් එකම ඇඟිලි සලකුණක්වත් හොයාගන්න පොලිසියට බැරි වෙනවා. ඒ මිනිහා ඇම්බර්ව බයිසිකලයෙන් අරගෙන ගිහින් තියෙන්නේ බයිසිකලයට අතක්වත් නොතියා.
සිද්ධිය වෙලා තියෙන්නේ හැන්දෑවේ තුනයි පහළොවට විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු පාරවල්වල ගැවසෙන වෙලාවක්. ඒ නිසා ජිමී සිද්ධිය දැකලා තිබුණා වගේම, තවත් කෙනෙක් මේ සිද්ධිය දැකලා ඇති කියලා පොලිසිය විශ්වාස කරනවා.
ඒ නිසා පොලිසිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සිද්ධිය දැකපු කෙනෙක් ඉන්නවා නම්, තමන් දන්න තොරතුරක් තියෙනවා නම්, ඒ ගැන පොලිසියට දැනුම් දෙන්න කියලා ඔවුන් ඉල්ලනවා. මොකද කෙනෙක් සිද්ධියක් දැක්කත්, අනවශ්‍ය කරදරයක පැටලෙන්න තියෙන බය නිසා ඒ ගැන පොලිසියට නොකියා ඉන්න පුළුවන් කියලා පොලිසිය හිතනවා.
ඇම්බර්ගේ සිරුර හම්බවුණු දියපාර තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුළට වෙන්න. වටේටම පඳුරුයි, ගස්වලින් වැහිලා තියෙන නිසා ඒක පිටින් බලන කෙනෙකුට ලේසියෙන් පේන්නේ නැහැ. ඒකට ළඟින් තියෙන පාරෙන් ගියත්, එතන දියපාරක් තියෙනවා කියලා හඳුනාගන්න අමාරුයි.
ඒ නිසා පොලිසියට දැන් සැකයක් ඇති වෙනවා. ඝාතකයා මේ දියපාර ගැන කලින් ඉඳන්ම දැනගෙන හිටපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා මේ ප්‍රදේශය ගැන හොඳින් දන්න, ඒ අවටම ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්.
මෙතනදි තවත් වැදගත් දෙයක් එළියට එනවා. ඇම්බර්ගේ ගෙදර ඉඳන් එයාගෙ සිරුර හම්බවුණු දියපාරට තියෙන්නේ සැතපුම් හතරක විතර දුරක්. එයා අතුරුදන් වෙලා තුන්වැනි දවස වෙනකම්ම පොලිසිය ප්‍රදේශයේ තිබුණු පිකප් ට්‍රක් එකින් එක පරීක්ෂා කරමින් හිටියා. ඒ නිසා ඝාතකයා එයාගෙ සිරුර පිකප් ට්‍රක් එකකින් අරගෙන දියපාර ළඟට ආවා නම්, ඒ ගැන පොලිසියට හසු නොවී ඉන්න එක ලේසි දෙයක් නෙමෙයි.
ඒ නිසා පොලිසියට සැකයක් ඇති වෙනවා. ඝාතකයා එයාගෙ සිරුර ගෙනියන්න පාවිච්චි කරලා තියෙන්නේ වෙනත් වාහනයක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ පොලිසියට තවත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මේ තරම් දැඩි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙද්දී, මිනිස්සු හැමතැනම එයාව හොයමින් ඉද්දි, කිසිම කෙනෙකුට නොපෙනී ඝාතකයා කොහොමද එයාගෙ සිරුර දියපාර ළඟට ගෙනත් දාලා තියෙන්නේ?
ඇම්බර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ ගැනත් වැදගත් තොරතුරක් හෙළි වෙනවා. එයාව පැහැරගෙන ගිය දවසේම එයාව ඝාතනය කරලා නැහැ. එආ අතුරුදන් වුණාට පස්සේ තවත් දවස් දෙකක් පමණ ජීවත් වෙලා තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වෙනවා. එයාව ඝාතනය කරලා තියෙන්නේ තුන්වැනි දවසේ. ඒ වගේම එදාම එයාගේ සිරුර දියපාර ළඟට ගෙනත් දාලා තිබුණා.
කාලය ගත වෙන්න වෙන්න මේ සිද්ධියේ අලුත් හෝඩුවාවක් ලැබෙන එකත් අඩු වෙනවා. ඇම්බර්ගේ අවසන් කටයුතු සිදු කරලා මාස හයක් විතර ගත වෙලා. ඒත් ඝාතකයා ගැන තාමත් කිසිම තොරතුරක් නැහැ. මේ වෙද්දි ඩෝනගේ හිතේ තිබුණු දුක ටිකෙන් ටික තරහක් බවට හැරෙන්න පටන් අරන්.
පොලිසියට ඝාතකයාව හොයාගන්න බැරි වීමත්, සිද්ධිය දැකපු කෙනෙක් ඉදිරියට ඇවිත් තොරතුරු නොදීමත් නිසා ඩෝනට දැනෙන්නේ තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ කියලා. ඒත් එක්කම එයාට ලොකු කේන්තියකුත් ඇති වෙනවා. මොකද මේ වෙනකොට ඇම්බර්ව පැහැරගෙන ඝාතනය කරපු කෙනා නිදැල්ලේ. ඕනෑම මොහොතක තවත් දරුවෙක් එයාගේ ගොදුරක් වෙන්න පුළුවන්.
ඩෝනාට නිතරම එකම දෙයක් හිතෙනවා. ඇම්බර්ට මැරෙන්න කලින් මොන තරම් බයක් දැනෙන්න ඇද්ද? මොන තරම් වේදනාවකට මුහුණ දෙන්න ඇද්ද? ඒ හැම මොහොතකම කී සැරයක් එයාට තමන්ගේ අම්මව මතක් වෙන්න ඇද්ද? මේ ප්‍රශ්නවලට උත්තරයක් ඩෝනට කවදාවත් ලැබෙන්නේ නැහැ.
කාලය ගත වෙනවත් එක්කම පොලිස් පරීක්ෂණත් ටිකෙන් ටික මන්දගාමී වෙනවා. ඒත් ඩෝනට තේරෙනවා තමන් නිකන් බලාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා. ඇම්බර්ගේ ජීවිතය නැතිවීම නිකන්ම සිද්ධ වුණු දෙයක් වෙන්න දෙන්න එයා කැමති නැහැ. ඒ නිසා තමන්ට පුළුවන් විදිහට මේ ගැන ජනතාව දැනුවත් කරන්න එයා පටන් ගන්නවා.
අම්මා කරන ඉල්ලීම
එයා එක එක රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වෙලා එකම ඉල්ලීමක් කරනවා. මේ වගේ අපරාධ කරන අයට මීට වඩා දැඩි දඬුවම් ලබාදෙන්න ඕනේ කියලා. ඒ වගේම දඬුවම් ලැබුණට පස්සේ ආපහු සමාව ඉල්ලලා නිදහස් වෙන්න බැරි විදිහේ නීති හදන්න ඕනේ කියලත් එයා කියනවා. ඩෝනට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දුවට සිද්ධ වුණු දේ තවත් කිසිම දරුවෙක්ට සිද්ධ නොවෙන ලෝකයක් හදන්න.
ඒ විදිහට දිගින් දිගටම මේ සිද්ධිය ගැන කතා කරද්දි ඩෝනට එක වැදගත් දෙයක් තේරෙනවා. ඇම්බර්ව හොයන මුල් අවස්ථාවේදී පොලිසිය මුහුණ දුන්න ලොකුම ගැටලුවක් තමයි, එයා අතුරුදන් වුණු බව ඉතා ඉක්මනින් විශාල පිරිසකට දැනුම් දෙන්න බැරි වීම. ඒක එදාම කළා නම්, ඝාතකයා ගමන් කරපු මාර්ගයේ හිටපු කෙනෙක්ට හරි ඒ වාහනය දැකලා මතක තියාගන්න තිබුණා.
මේ ගැන ඩෝනා රූපවාහිනී සාකච්ඡා කිහිපයකදීම කතා කරනවා. ඒවායින් එකක් දවසක් ධ්‍යානා කියන කාන්තාවක් අහගෙන ඉන්නවා. එයාට විශේෂයෙන්ම විකාශන කටයුතු ගැන දැනුමක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒත් ඒ වෙලාවේ එයාට එක අදහසක් එනවා.
එයා ඉක්මනින්ම තමන්ගේ ප්‍රදේශයේ රේඩියෝ ස්ටේෂන් එකකට කතා කරනවා. එතනින් තමයි පස්සේ ඇම්බර් ඇලර්ට් කියන ක්‍රමවේදයට මුල් පදනම වැටෙන්නේ.
ඇම්බර් ඇලර්ට් එක පටන් ගන්නෙ අන්න එහෙම
ඒ ක්‍රමය හරහා දරුවෙක් පැහැරගෙන ගිය බවට පොලිසියට තොරතුරු ලැබුණු වහාම, අදාළ ප්‍රදේශයේ රේඩියෝ සහ රූපවාහිනී විකාශනවලට ඒ තොරතුරු ඉක්මනින් ලබාදෙනවා. සාමාන්‍ය වැඩසටහන් අතරතුරදී වුණත් ඒවා නවත්වලා, පැහැරගත් දරුවාගේ විස්තර සහ සැකකරු හෝ වාහනය ගැන තිබෙන තොරතුරු ජනතාවට දැනුම් දෙනවා. ඒ නිසා තත්පර කිහිපයක් ඇතුළත විශාල පිරිසක් මේ ගැන දැනුවත් කරන්න පුළුවන් වෙනවා.
කාලයත් එක්ක මේ ක්‍රමය රූපවාහිනියට, අධිවේගී මාර්ගවල දැන්වීම් පුවරුවලට, පසුව ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය දැනුම්දීම්වලටත් ව්‍යාප්ත වෙනවා.
ඒත් ඇම්බර්ගේ සිද්ධියෙන් අවුරුදු විසිතුනක් ගත වෙනකම්ම එයාගේ ඝාතකයා හඳුනාගන්න පොලිසියට බැරි වෙනවා.
2019 මාර්තු 18 වෙනිදා, සාලම් සැබත් කියන පුංචි ගෑනු ළමයා තමන්ගේ අම්මා එක්ක එයාගෙ ගේ ළඟ පාරක ඇවිදගෙන යමින් ඉන්නවා. සාලම්ගේ ගෙදර ඉඳන් ඇම්බර්ගේ ගෙදරට තියෙන්නේ සැතපුම් පහළොවක විතර දුරක්.
වෙලාව හරියටම හැන්දෑවේ 6.38යි. මේ දෙන්නා පාර දිගේ ඉස්සරහට යමින් ඉද්දි එකපාරටම වාහනයක් ඒ දෙන්නා ළඟින් හෙමින් යන්න පටන් ගන්නවා. ඊළඟ මොහොතේ වාහනයේ හිටපු පුද්ගලයෙක් බැහැලා ඇවිත් සාලම්ගේ අම්මව තල්ලු කරලා, එයා අතේ හිටපු දරුවාව වාහනය ඇතුළට ඇදගෙන යනවා. ඒ එක්කම වාහනය වේගයෙන් එතනින් පිටවෙලා යනවා.
සාලම්ගේ අම්මා උදව් ඉල්ලමින් කෑගහගෙන වාහනය පස්සේ දුවන්න පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම අහම්බෙන් වගේ එතන තිබුණු නිවසක දොරකඩ සවිකරලා තිබුණු කැමරාවක සටහන් වෙනවා.
නිවසේ හිටපු කෙනා සිද්ධිය දැකලා ඉක්මනින්ම පොලිසියට දැනුම් දෙනවා. ඒ වගේම කැමරා පටිගත කිරීමත් පොලිසියට ලබාදෙනවා. මේ වීඩියෝව පොලිසියට ඉතාම වැදගත් වෙනවා. වාහනයේ අංක තහඩුව පැහැදිලිව පේන්නේ නැති වුණත්, වාහනයේ වර්ගය සහ අනෙකුත් ලක්ෂණ හොඳින් හඳුනාගන්න පුළුවන්.
ඒ තොරතුරුත් එක්ක පොලිසිය තවත් පොලිස් දෙපාර්තමේන්තු කිහිපයක් එකතු කරගෙන විශාල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනවා. වීඩියෝ පටයත් ඒ ප්‍රදේශවල පොලිස් ස්ථාන අතර ඉක්මනින් හුවමාරු කරනවා.
ඒ අතරේ, එදාම රෑ හතට විතර පොලිසියට තවත් කැමරා පටයක් ලැබෙනවා. මේ පාර නම් ඒ වාහනය තරමක් පැහැදිලිවම පේනවා.
ඇම්බර් ඇලර්ට් එක නිකුත් වෙනවත් එක්කම සාමාන්‍ය ජනතාවත් විශාල සෝදිසි මෙහෙයුමකට එකතු වෙනවා. ඒ වෙනකොට විවිධ ප්‍රදේශවලින් සෑහෙන පිරිසක් මේකට සම්බන්ධ වෙලා. තමන්ගේ සාමාන්‍ය වැඩ රාජකාරි පවා පැත්තකට දාලා, හැමෝම උත්සාහ කරන්නේ කොහොමහරි සාලම්ව හොයාගන්න.
ඒ අතරේ මේ සෙවීම් මෙහෙයුමට එකතු වෙන කෙනෙක් තමයි පාස්ටර්වරයෙක් වන ජෙෆ් කිං. එයාත් මේ සිද්ධිය ගැන දැනගත්ත ගමන්ම වාහනය හොයන්න පිටත් වෙනවා. විශේෂයෙන්ම එයාගේ අවධානය යොමු වෙන්නේ හෝටල්වල තියෙන වාහන නැවැත්වීමේ ස්ථානවලට. මොකද දරුවාව පැහැරගත්ත කෙනා පොලිසියෙන් බේරෙන්න කොහේ හරි වාහනය නවත්වලා ඉන්න පුළුවන් කියලා එයා හිතනවා.
එදා රෑම එක්තරා හෝටලයක පාර්කින් ලොට් එකකදී ජෙෆ්ට සැක සහිත ඒ වාහනය හම්බවෙනවා. එයාට වැඩි වෙලාවක් කල්පනා කරන්නවත් ඉඩක් නැහැ. වහාම පොලිසියට කතා කරලා ඒ ගැන දැනුම් දෙනවා. ඒ වෙද්දි පාන්දර දෙකයි විසි දෙකයි.
තොරතුර ලැබුණු ගමන්ම පොලිසිය ක්‍රියාත්මක වෙනවා. ඒ හෝටලය වට කරලා, ඇතුළේ ඉන්න පුද්ගලයාට එළියට එන්න කියලා නියෝග කරනවා. ටික වෙලාවකින් පොලිසියට සාලම්ව සොයාගන්න පුළුවන් වෙනවා.
ඒ කියන්නේ ඇම්බර් ඇලර්ට් ක්‍රමය නිසා ජීවිතය බේරගත්ත දහස් ගණනක් දරුවන් අතර තවත් එක් දරුවෙක් බවට සාලම් පත්වෙනවා.
කාලය ගත වෙද්දි ඇම්බර් ඇලර්ට් ක්‍රමය ඇමරිකාවෙන් පිටතත් වෙනත් නම් සහ ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇමරිකාව තුළ විතරක් වුණත් මේ ක්‍රමය හරහා බේරාගත් දරුවන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් දක්වා ඉහළ යනවා.
හැම වෙලාවකම ඇම්බර් ඇලර්ට් එකක් නිකුත් වෙලා, ඒ හරහා දරුවෙක් ආරක්ෂිතව හොයාගන්න ලැබෙනකොට ඩෝනට ඇම්බව මතක් වෙනවා. ඒ වෙලාවට එයාට හිතෙන්නේ ඇම්බර්ත් ඒ දරුවන් එක්කම ඉන්නවා වගේ. තමන්ට අහිමි වුණු දුව වෙනුවෙන් තවත් දරුවන්ට උදව් කරනවා වගේ.
ඒ නිසා ඇම්බගේ ජීවිතය අහිමි වීම සම්පූර්ණයෙන්ම නිරර්ථක දෙයක් වෙලා නැහැ කියන හැඟීමක් ඩෝනගේ හිතේ තියෙනවා. තමන්ගේ දුවව ආපහු ගන්න බැරි වුණත්, එයාගෙ නම නිසා තවත් දරුවන් ගණනාවකට ජීවිතය ලැබෙනවා.
හැබැයි ඩෝනා එතනින් නතර වෙන්නේ නැහැ. ඇම්බර්ගේ ඝාතකයා කවුද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න එයා තාමත් උත්සාහ කරනවා. මේ වෙනකොට පොලිසියටත් ඒ ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා.
මොකද ඇම්බර්ගේ සිරුර සොයාගත් මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලදී, පිටස්තර පුද්ගලයෙකුට අයත් විය හැකි ඉතා සුළු DNA සාම්පලයක් හමුවෙලා තිබුණා. ඒ ප්‍රමාණය ඒ වෙලාවේ පරීක්ෂණයක් කරන්නවත් ප්‍රමාණවත් තරම් විශාල එකක් නෙමෙයි. ඒත් පොලිසිය ඒ සාම්පලය ආරක්ෂිතව ගබඩා කරලා තියාගෙන ඉන්නවා.
එයාලගෙ බලාපොරොත්තුව තියෙන්නේ ඉදිරියේදී තාක්ෂණය තවත් දියුණු වෙනවත් එක්ක, මේ පුංචි DNA සාම්පලයෙන් වුණත් ඇම්බගේ ඝාතකයා කවුද කියලා හඳුනාගන්න පුළුවන් වෙයි කියලා.
ඩෝනාගේ එකම බලාපොරොත්තුවත් ඒකයි. තමන් ජීවත්ව ඉන්න කාලය ඇතුළත ඇම්බර්ගේ ඝාතකයා හඳුනාගෙන, තමන්ගේ දුවට සාධාරණයක් ඉටු වෙනවා දකින්න.












