ප්ලාස්ටික් සැත්කම් ගැන දැනගනිමු

ප්ලාස්ටික් සැත්කම් පසුගිය කාලයේදී වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වූයේ සමහර ප්ලාස්ටික් සැත්කම් වැරදී ජීවිත හානි හා වෙනත් සංකූලතා ඇතිවීම් වාර්තා වූ නිසයි. විශේෂයෙන් මෙරට කාන්තාවන් පැහැපත්වීමට, තරුණවීමට යැයි සිතා සිදුකරගන්නා ලද ප්ලාස්ටික් සැත්කම් හා ඖෂධ එන්නත් කර ගැනීම් වැඩිවීමේ සම්භාවිතාවක් පැවතීම සහ අනවබෝධයෙන් මෙවැනි ප්‍රතිකාරක්‍රම සඳහා යොමුවීම, ලංකාව පුරා හතු පිපෙන්නාක් මෙන් ප්ලාස්ටික් සැත්කම් සිදුකරන ස්ථාන බිහිවීම ඒවායේ නිත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු ඇතිවීමට හේතුවී තිබුණි.

ප්ලාස්ටික් සැත්කමක් පුළුල් පරාසයකට දිවෙන ශල්‍යකර්ම විෂයක්. මෙම සැත්කම් සිදුකළ යුත්තේ නිසි පුහුණුවලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් විසින්.  පිළිස්සුණ සම පිළිසකර කිරීම, පියයුරු විශාල කාන්තාවන් ඒ නිසා ආබාධ වලට ලක්වීම (කොන්දෙ කැක්කුම්, තනපටේ පටි වලට සිදුවන කැපීම්)නිසා හෝ පියයුරු විශාල පිරිමි පුද්ගලයකු නම් ඔහු සමාජීය වශයෙන් මුහුණ දෙන අපහසුතාවය හේතුවෙන් ප්ලාස්ටික් සැත්කම් සඳහා යොමවීම සුලබයි.

ප්ලාස්ටික් සැත්කම් විෂය අනුකොටස් කිහිපයකට බෙදා දැක්විය හැකියි. Hand Surgery යටතට අතේ සහ පර්යන්ත ස්නායු පද්ධතිය තිබෙන විවිධාකාරයේ රෝග තත්ත්වයන්වලට කරන ශල්‍යකර්ම ඇතුලත් වෙනවා. උපතේදී ඇතිවන විකෘතිතා සකස් කිරීම අනෙක් අනු කොටසයි. උදාහරණ තොල සහ තල්ල ඇලීම වැනි තත්ත්වයන් හා කන්පෙත්ත රහිතව ඉපදීම, අත්වල විකෘතිතා ඇතිව ඉපදෙන දරුවන්ට සිදුකරන ශල්‍යකර්ම මෙයට අයත්. මීළඟ අනු කොටස වන්නේ පිළිස්සුම් සහ විවිධාකාරයේ අනතුරුවලින් ඇතිවන විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත්කරන සැත්කම් වර්ගයයි. මෙහි අනෙක් අනු කොටස වන්නේ Micro vascular Surgery යන්නයි. එහිදී ශරීරයේ කොටසක යම් හේතුවක් නිසා ඇතිවන අඩුවක් (එය ව්‍යුහමය වශයෙන් හෝ කෘත්‍රිම වශයෙන් සිදුවිය හැකියි) පිරවීම දැක්විය හැකියි. උදාහරණ ලෙස  අනතුරකින් ශරීරයේ එක කොටසක් ගැලවී යාම, ශරීරයේ විශාල ගෙඩියක් ඉවත් කිරීම ගත හැකියි (පිළිකා නිසා/ පියයුරු පිළිකාව හේතුවෙන් සැත්කම් මගින් පියයුරු ඉවත් කිරීම). මෙවැනි අවස්ථාවක නැවත එම ව්‍යූහය සකස් කිරීම සිදුකෙරේ. එමෙන්ම ස්නායුවලට සිදුවන හානි වලදී ස්නායු යළි සකස් කිරීම සිදුකරනු ලබයි.

මීළඟට ප්ලාස්ටික් සැත්කම් බෙදෙන අනු කොටස වන්නේ Cosmetic/Aesthetic Surgery මේ වගේ සැත්කම් වලදී සිදුවන්නේ රෝගයක් නැති නමුත්, ශරීරයේ යම්කිසි තැනක වෙනසක් බලාපොරොත්තුවෙන් සිදුකරන සැත්කම්ය. උදාහරණ – වයසට යාමේදී සිදුවන වෙනස්කම්, මහත්වීම නිසා සිදුවන වෙනස්කම් මෙන්ම පියයුරු කුඩා කිරීම්, පියයුරු විශාල කිරීම්, බඩ අඩු කිරීම්, නහය, නිකට වෙනස් කිරීම් දැක්විය හැකියි. ප්ලාස්ටික් සැත්කම් අතර ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන්නේ මෙම අනුසැත්කම් අතරින් Cosmetic Surgery එහෙමත් නැත්නම් Aesthetic Surgery යටතට ගැනෙන සැත්කම්ය. මෙය ප්ලාස්ටික් සැත්කම්වල එක් කොටසක් පමණයි. ඒ නිසා සියලුම ප්ලාස්ටික් සැත්කම් Cosmetic Surgery වලට සමාන කිරීම සිදුකළ යුත්තක් නොවේ. Cosmetic Surgery වලට වඩා අනෙකුත් අනු කොටස් යටතේ තිබෙන ප්ලාස්ටික් සැත්කම් ඉතා සංකීර්ණයි. ප්ලාස්ටික් සැත්කම් යටතේ පුළුල් පරාසයක් කතා කළ හැකියි. ඇතැම් සැත්කම් හිරිවැට්ටවීම් පමණක් සිදුකර ශල්‍යකර්මයකට භාජනය කළ හැකි අතර, සිහි නැති කර පැය 3, 4 ක් පමණ ගතවන විශාල ශල්‍යකර්මත් පවතිනවා. ඒවා ලෝකයේ ඉතාම සාර්ථකව සිදුකරනු ලබන ශල්‍යකර්මයි.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles