අතීතයේ නවතින්න එපා.

“ගායනා..අපි යමුද?”

නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ ඇඳුම් තෝරමින් ඉන්න ගමන් නෙත්මි එකපාරටම කලබල වුණා.ඒ කලබලය චාරුනීටත් බෝ වෙද්දී ගායනා ඔවුන් දිහා බැලුවේ පුදුමයෙන්.

“ඇයි අනේ..අපි ගන්න හිතාගෙන ආපුවා ගත්තෙත් නෑනෙ..”

ගායනා එහෙම කියද්දී හදිසි ඇමතුමක් ගන්න තියෙන බවත් ඒ සඳහා මෙතන නොගැළපෙන බවත් කියපු නෙත්මි මිතුරිය ඇදගෙන ඒ මහලෙන් පිට වෙන්න සූදානම් වුණා.ඒත් නෙත්මිට හැදුණු කලබලය ගායනා දුටුවේ අහම්බෙන්.ඇය හුන්තැනම නතර වෙලා අත වනලා හිනා වෙනකොට නිසල් ඔවුන් ළඟට ආවේ හරිම සුහදව හිනා වෙන ගමන්.

“හායි ගායනා..කොහොමද? ෂොපින් ආවද?”

නිසල් එහෙම අහනකොට මිතුරියකගේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් ඇඳුම් දඩයමක ආපු බව ගායනා කීවෙත් හරිම සුහදව.

“ආ..ඔයාට මතකත් ඇති.අපේ ඔෆිස් එකේ චරනි.එයා මැරි කරන්නෙ.බ්‍රයිඩ් ටු බී පාටියි වෙඩින් ඇඳුනුයි අපිට හරියට වැඩ..”

ගායනා එහෙම කියද්දි නිසල් හිනාවක් පා කළා.ඒ හිනාවේ පසුතැවීමක් දුකක් තියෙනවද බලන්න හිතුණේ නෙත්මිට.

“ඔයා ඉතින් පාටීස් වලට බැහැල වැඩ කරන කෙල්ලනෙ.එහෙනම් මං ගිහින් එන්නම්..”

නිසල් එහෙම කියලා යන්න හදන් ගමන් අම්මා තාත්තා වගේම ගායනාගේ සැමියා වුණු ජීවකත් හොඳින්ද අහන්න අමතක කළේ නෑ.ගායනා ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් හරිම මිත්‍රශීලි හඬකින්.නිසල් ඇඳුම් අතරින් ඈතට යනකොට නෙත්මිත් චාරුනිත් ගායනා දිහා බලාගෙන හිටියේ කටත් ඇරගෙන.

“ඔයා කොහොමද අනේ එහෙම කළේ..”

නිසල්ව අහකින් තියලා ඇඳුම් තෝරාගෙන ආවට හිතේ හොල්මන් කරපු ප්‍රශ්නේ ගායනාගෙන් අහන්න නෙත්මි වගබලා ගත්තේ ආපහු යන්න මෝටර් රථයට නැගපු හැටියේ.

“කොහොමද?”

ගායනා අහන්නේ හිනා වෙන ගමන්.නෙත්මිත් චාරුනීත් මුහුණට මුහුණ බලා ගනිද්දී ගායනා කතාබහක් නැතුවම මෝටර් රථය පාරට දැම්මා.

ගායනාගෙත් නිසල්ගෙත් ආදර කතාව ඒ කාලේ නෙත්මිලා බලාගෙන හිටියේ හරිම ආදරයකින්,ආශාවකින්.පිටතින් පෙනෙන හැටියට දෙන්නා රන්වීර් දීපිකා වගේ ගැළපෙනවා කියලා ඔෆිස් එකේ හැමෝම කිව්වේ.කවදාවත් රණ්ඩු නොවෙන,බොහොම ආදරෙන් ඉන්න නිසල් ගායනා යුවලගේ විවාහය එන දවස වෙනකන් ඔෆිස් එකේ කෙල්ලෝ හීන දැක්කා.ඒත් හදිසියේ නිසල් වෙනත් ආයතනයකට යන්න ගියා.ගායනා මිතුරියන්ව කම්පනයට පත් වෙන පණිවිඩයක් අරන් ආවා.

“අපි බ්‍රේකප් වුණා..”

ගායනා ඒකට කිසිම හේතුවක් නොකීවත් හේතුව දැනගන්න හැමෝටම ඕනෑ වුණා.

“ඇයි ගායනා ඒ..”

ගායනා එහෙම අහන කා එක්කත් සුහදව හිනා වෙලා කිව්වේ එකම එක දෙයයි.

“ඒක අපි දෙන්නගෙ පෞද්ගලික හේතුවක්.අපි හුඟාක් ආදරෙන් හිටියනෙ.ඒ නිසා වෙන් වුණු හේතුව කාටවත් කියලා මඩ ගහගන්නෙ නැතුව ඉන්න අපි හිතා ගත්තා..”

ඒත් ඉතින් හේතුව නොසොයා ඉන්න අපහසු සමහරු ඒ හේතුව නිසල්ගෙන් අහන්නත් තීරණය කළා.ගායනා ඔහොම කියන්නේ අනිවාර්යයෙන් එයාගේ වරදක් නිසා කියලා සාස්තර කිව්ව අය ඔෆිස් එකේ ඕනෑ තරම් හිටියා.ඒත් නිසල් දුන්නෙත් ගායනාගේ උත්තරේම තමයි.කාලය රිදවුම් සුව කරමින් ඉදිරියට ගලාගෙන යනවා.නිසල්ගෙත් ගායනාගෙත් විවාහ උත්සව එකම අවුරුද්දක පැවැත්වුණා.ඒත් අර ලස්සන ප්‍රේම කතාව තාමත් අමතක කරන්න නෙත්මිලා ලෑස්ති නෑ.

“ඇයි ඔයාලා බ්‍රේකප් වුණේ..”

නෙත්මි ආයේ එහෙම අහනකොට ගායනා හරි සද්දෙට හිනා වුණා.

“නිසල්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලත් ඉන්නේ..බලන්නකො තාමත් ඔයාලට තියන ප්‍රශ්න..”

ගායනා එහෙම කියද්දී චාරුනීට කියන්න තිබුණේ වෙනම කතාවක්

“කොතනකදී හරි හේමන්තව දකිනකොට මාව ගැස්සෙනවා.එයා සෙනඟ මැද්දෙ මට අපහාස කරයි,බනියි කියලා මාව ගැහෙන්න ගන්නවා.ඒ මනුස්සයගෙ කරදරකාර අෆෙයා එක නවත්තලා මං කොච්චර කාලයක් ඩිප්‍රෙෂන්වලට බේත් බිව්වද? මට පුදුම ඔයාට කොහොමද නිසල්ව දැක්කම රිදෙන්නේ නැත්තෙ කියලා විතරයි.”

හේමන්ත නිසා චාරුනී ගෙවපු දුක හිතෙන දින මතක් වුණු ගායනා කතා කළේ හරි ආදරණීය හඬකින්.

“මෙහෙමනෙ චාරු,හේමන්ත කියන මිනිහගෙන් ඈත් වෙලා පස්ස නොබලා දුවන්න කියලා ඒ කාලේ අපි ඔයාට කියනව මතකද? ඒ වගේ මිනිහෙක් නම් මේ පාරක තොටක වැටිලා හිටියත් අහක බලන් ගියාට කමක් නෑ.ඒත් ඔයා වුණත් මොන දුක් වින්දත් හේමන්තට අපහාස කරන්නේ නෑනෙ.ඔයා දුක් විඳලා අයින් වුණා කියන්න අපි දන්නෙත් ඔයා වින්ද දුක් අපට ඇස් දෙකටම පෙනුණු නිසානෙ..”

ගායනා එහෙම කියන ගමන් පිටුපසින් ආපු වේගවත් වාහනයට පාරේ ඉඩ දුන්නා.ආයෙත් කතාව පටන් ගත්තා.

“මටයි නිසල්ටයි එහෙම ප්‍රශ්නයක් නෑ.අපි වෙන් වුණේ අපිට අපේ නොගැලපීම් තේරුම් ගිහින්.ලෝකෙට ලස්සන ආදරයක් වුණාට අපේ කතාව ඇතුළේ අපිට අපිව නොගැළපෙනවා නම් කසාදෙට යන එක හරිම භයානකයි කියලා අපි හිතුවා.ඒක අපිට සදාකාලික හතුරෝ වෙන්න හේතුවක් නෙවෙයිනෙ.අපි මුණ ගැහුණම අහිතක් නැතුව කතා කරන්නේ ඒකයි..”

හැම වෙන්වීමක් අමනාපයකින් කෙළවර වෙන්න උවමනා නැති බව චාරුනීට හිතුණේ ඊටපස්සෙ.ඇත්තටම තරහ වෙවී වෛර කර කර මේ කෙටි ජීවිතය ගෙවන්නේ මොකටද? ආයේ හේමන්තට වෛර නොකර එහෙම මනුස්සයෙක් ජීවිතේ නොහිටිය ගාණට අමතක කරන්න චාරුනී හිතා ගත්තා.හැම පැරණි ආදරවන්තයෙක්ම නිසල් වගේ ගෞරවාන්විත පිරිමි වෙන්නේ නෑ.ඒ නිසා හැමෝටම ආයේ සුහද වෙන්න අමාරුයි.ඒත් අමතක කර දැමීම රිදුම් සුව වෙන්න හේතුවක්.

“මටත් තාරකගේ මූණ බලලා කතා කරන්න නම් අමාරුයි.ඒ වුණාට තාරකව සැක කරල රණ්ඩු වෙලා අපි බ්‍රේකප් වුණේ.තාරක දැන් වෙන රටකට වෙලා සැනසීමෙන් ඉද්දී මං තාම එයාට බැන බැන ඉන්නවා..”

නෙත්මිගේ හඬ මතු වුණේ මහා වේදනාවකින්.

“අතීතය තියෙන්නේ එක්කෝ උපේක්ෂාවෙන් බලන්න.නැත්නම් අමතක කරන්න.මතක් කර කර අඬන්නයි කේන්ති ගන්නයි අතීතයවත් ඒ කාලෙ අපි ළඟ හිටිය දැන් නැති අයවත් හේතු කර ගන්න එපා නෙතූ..”

ගායනා එහෙම කියද්දී නෙත්මිත් චාරුනිත් මුහුණට මුහුණ බලා ගත්තෙ අමුතු සැනසීමකින්.ජීවිතේ ගැනත් බැඳීම් ගැනත් තේරුම් ගැනීමම ජීවත් වෙන්න මොනතරම් පහසුවක්ද කියලා ඒ දෙන්නටම හිතෙන්න ඇති.

More Stories

Don't Miss


Latest Articles