නුඹ තරම් ප්‍රේමයක් – 24

විසි හතර වැනි නෙත් සැරිය

අයත්මා සහ චත්‍ර දෙදෙනාම එකිනෙකාට ගලපා ගන්නට නොහැකි  වූ සිතුවිලි සමඟින් අපහසු දවස් ගෙවමින් උන්නහ. සැන්ඩ්‍රා පිටව යන්නට පෙර යම් හදිසියේම පාසැලටද පැමිණියේ සිහිනිට සමු දී යන්නටය. එවෙලෙහි පන්ති මාරු වීමට යමින්  උන් අයත්මා චත්‍ර සහ සැන්ඩ්‍රා ගේට්ටුව අසල නවතා තිබූ කැබ් රියට ගොඩ වෙනු දුටුවාය. 

ඇය අවසාන කාලච්ඡේදදෙකෙහි ඉගැන්වීම් කටයුතු සිදු කලේ කඩා වැටුණු හිතක් එක්කය. යලි වතාවක් උපදේශකවරිය මුන ගැසී මේවායේ අඩු තැන් ගලපා පුරවා ගනිම්දැයි සිතන තරමටම ඕ වියවුල්ව යමින් උන්නාය. අයත්මා කලණ සමඟ පාසැලින් පිටත් වීම හැකි තරම් අඩු කරමින් උන්නාය. කලණටද එහි එතරම් ගන්නක් තිබුනේ නැත.

නාට්‍ය තරඟාවලියේ ඊළඟ අදියර ලෙස කලාප තරඟ සඳහා නාට්‍යයක් ඉදිරිපත් කිරීම සඳහා වන කටයුතුද ඇරඹිය යුතුව තිබුණි. එහෙත් අයත්මාට ඒ සඳහා වන ආශාව සකසා ගත හැකි වූයේ නැත. එනිසා කලණ විසින් ලියන පිටපතකට නාට්‍ය කිරීම  වඩා සුදුසු බව පවසමින් ඕඔ හීන් නූලෙන් ලිස්සා ගියාය.

අවිශ්කට අයත්මාගේ වෙනස හඳුනාගත හැකි වුවේය. එහි අගක චත්‍රද සිටිය යුතු වග ඔහු නිකමට උපකල්පනය කලේය.

“එදා ඌ නංගී වෙනුවෙන් කල දේට පස්සේ, නංගීට ආදරයක් දැනෙන්න ඇති …”

අවිශ්ක රැයක තනිව බියර් කෑනයක් පානය කරන අතරේ සිතුවේය.

“ඒත් චත්‍ර ගේ හිතේ දැන් එහෙම දෙයක් නැහැ වගේ… එදා ඌ කෙල්ලෙක් එක්ක රෙස්ටෝරන්ට් එකේ ඉන්නවත් මම හොඳටම දැක්කා .. ඒ නිසා මේ නොවෙන දේකට නංගීගේ හිත කොහෙත්තම පටලවන්න ඕනි නැහැ…”

අවිශ්ක තමාට එලෙසින්ද අවධාරණය කර ගත්තේය. 

අතුකෝරල මහතා සිටියේඑ චත්‍රගේ වෙනස්වීම ගැන සැලකිලිමත් වෙමිනි. පොලිස් ස්ථානාධිපතිවරයා මුන ගැසී ඔහු සමාව ඉල්ලා ඇති බව දැනගත් දිනයේ පටන් අතුකෝරල මහතා චත්‍ර දෙස විමසිල්ලෙන් බලා උන්නේය.

” අර කෙල්ල ලොකූගේ ජීවිතේට කලේ සුලුපටු වෙනසක් නම් නෙවෙයි සන්ධ්‍යා ….”

” අපේ මහත්තයා ඇයි එහෙම කියන්නේ?..”

” සන්ධ්‍යාට තේරෙන්නේ නැද්ද චත්‍රගේ වෙනස ?…”

” තේරෙනවා .. ඒත් කොල්ලා ඉන්නේ හිතේ සැනසීමෙන් නෙවෙයි අපේ මහත්තයා .. ඒ මගේ අත් දෙකට ඉස් ඉස්සෙල්ලම ගත්ත දරුවානේ මහත්තයා .. මට දරුවා හැරෙනකොට හිතාගන්න පුලුවන් …. කොච්චර වැඩ කරත් ලොකූ ඉන්නේ මහ හිස්කමක් එක්ක ..”

” ඒ හිස්කමට හේතුව මොකද්ද කියලා ඔයයි මමයි දෙන්නම දනන්වනේ සන්ධ්‍යා  .. දැන්  ඒ දේවල් ගැන කතා කරන එකවත් තේරුමක් නෑ… ඒ කෙල්ල අපේ ජීවීත වෙනුවෙන් මහ පුදුමාකාර කැපකිරීමක් කලා.. අපි මැරෙනකල් ඒ ණය පියවන්න බෑ අපිට..”

” ඇත්තටම මහත්තයා… අයත්මාට මම අකමැති වෙලා හිටියා තමයි .. ඒත් දැන් මට ඒ දරුවා ගැන මහ පුරෝ දාන ආදරයක් දැනෙනවා මහත්තයා… කෙල්ල හිනා වෙනකොට මගේ පපුව පිච්චෙනවා…”

” මට නොතේරෙනවා නෙවෙයි .. ඒත් මේ වෙලාවේ අපිට ලොකූව අතාරින්න බෑ…”

“එහෙම නෙවෙයි මහත්තයා .. අපි ඒ ගෙදර ලොකු ලමයා එක්ක කතා කරලා අයත්මාට යෝජනාවක් ගෙනිච්චොත් …”

සන්ධ්‍යාගේ කතා බහ ඉන් එහාට ගෙනයන්නට හැකි වූයේ නැත. අතුකෝරල මහතා මහ හඬින් කෑ ගැසුවේය. අයත්මාගේ ජීවිතය ඇයට සැහැලුවෙන් ගෙවන්නට නම් චත්‍ර ඇයට පෙනෙන මානයක හෝ නොසිටිය යුතු බව නොවැටහෙන්නේ දැයි ඇසුවේය. ඒ හඬට කාමරවලින් එලියට ආ චත්‍ර සහ සිහිනි දෙදෙනාම යලි කාමර තුලට ගියේ බර වූ සිතුව්ලි සමඟය.

සිහිනි කාමරයෙන් පිටතට ආවේය. චත්‍රගේ කාමරය තුලට ගියේය.

” අයියේ … මට හිතෙනවා ඔයා ඒ අවධානම ගන්න ඕනි…”

” මොන ?..”

චත්‍ර වගකට නැති ලෙසකින් විමසුවේය. ඔහු උන්නේ ඇය ගනණකට නොගත් ලෙසිනි. අතුකෝරල මහතාගේ කතාව නිසා පාරවා ගත් සිතිනි.

” අයත්මාට ඔයා තවම ආදරෙයිද?..”

සිහිනි එවර විමසුවාය. ඒ චත්‍රගේ ඉදිරියටම  විත් සිටගනිමිනි. චත්‍ර ඇඳ ඇතිරිල්ල දෑතින්ම ගුලි කරගෙන දෑතට බරවී උන් ඉරියව්වේම උන්නේය.

 සිහිනි මෙලෙස ප්‍රශ්න කිරීම තමාට දරාගන්නට නොහැකි වන බව ඔහුට දැනෙමින් තිබුණි. තමා අයත්මාට ප්‍රේම කරන්නේ කවදා ඉඳන්දැයි කීමට පවා චත්‍රට මතකය. එකොලහ ශ්‍රේණියේදී අහම්බෙන් ඇය හා යුග ගීයක් ගයන්නට ලැබුන අවස්තාව ඒ දිනයය. 

එදින පටන් අයත්මා දෙස බලා උන් තත්පරයක් ගානේ විස්තර කිරීම පවා චත්‍රට උදාසීන නැත. මිතුරියක ලෙසින් උන් ඕ පෙම්බරිය කර ගැනීමේ හීන ඉළන්දාරී ඔහු කෙරෙන් පලා ගියේම නැති වග ඔහුට මතකය. කාලය කෙතරමින් දෙදෙනා දුරට විසි කලද, තමා තවමත් ඒ තරමින්ම , එක්කෝ එයට වැඩිපුර ඇයට ප්‍රේම කරන බව චත්‍රට විශ්වාසය. ඇය රිදවීම වෙනුවට තමාගේ රිදවා ගැනීම තෝරාගෙන පසෙකට වෙන්නට තීරණය කලේ ඒ ප්‍රේමයෙන් ලැබුණ හයියෙනි.

“අයියේ ?…”

සිහිනි චත්‍රගේ උරිස්සෙන් අත තබා ඇසුවාය. චත්‍ර ඇයට කෑ ගසා බැණ වැදුනේය. එහෙත් සිහිනි අඩියක්වත් සෙලවුනේ නැත. කාමරයෙන් පිටව යන්නටයැයි කෑ ගසද්දී ඕ කලේ දොර වසා යලි විත් ඔහු ඉදිරියේම සිට ගැනීමය.

” ඔයා අයත්මාට ආදරේ කරනවද තවම ?..”

” ගිහිල්ලා වැඩක් කරගන්නවා චූටි … මට මගේ ප්‍රශ්න බලා ගන්න දීලා දෙය්යන්ගේ නාමෙන් තමුසේගේ වැඩක් බලාගන්නවකෝ … මගේ ප්‍රශ්න ගැන තමුසේ වොරි වෙන්න ඕනි නෑ…”

සිහිනි අවඥා සහගත සිනහවක් පාමින් චත්‍රගේ පසෙකින් හිඳ ගත්තාය.

” මං ඔයාගේ ප්‍රශ්න විසඳන්න යනවා නෙවෙයි අයියේ .. මං නිකන් ප්‍රශ්නයක් ඇහුවේ…ඔයා තවම ඉස්සර වගේම අයත්මාට ආදරේද?…”

” ආදරෙයි ඕයි.. ආදරෙයි … එහෙම උගුලලා මරලා දාන්න පුලුවන් තරමින් නෙවෙයි මම ආදරේ කලේ…. ඒකිගෙන් ඈතට වෙලා උන්න කාලේත් මට අමතක කරගන්න බැරි වුනා… වෙන ගෑණියෙක් මට නැහීගෙන ආදරේ කරලාත් මට අයූ අමතක කරගන්න බැරි වුනා…. 

මට ඒකිව අමතක කරන්න බෑ ඕයි …උදේට නැගිටිනකොට, රෑට ඇඳට වැටුනම මට ඇඬෙනවා චූටි …  මං.. මං එදා ඒ විකාරේ නොකලානම් මැරෙන්න මොහොතක් වෙනකල් හරි මට අයත්මාගේ ආදරේ වෙනුවෙන් එයා පේන මානෙන් ඉන්න තිබුනා නේද කියලා හිතෙනවා… ඒත් .. ඒත් දැන් මට එයාට පේන්නවත් යන්න බෑ ඕයි .. මේ පිච්චිල්ල තමුසෙට තේරෙන්නේ නෑ …”

සිහිනි චත්‍රගේ දෑතින්ම අල්ලා ගත්තාය.

“එච්චරක් ආදරේ නම් සටන් කරන්න අයියේ..”

චත්‍ර සිහිනි දෙස විමතියෙන් බැලුවේය.

“අයත්මා මේ ඔයාට පෙන්නන විශේෂ හැඟීම එයාගේ සැලැස්මක් නම්, එයා ඒකෙන් ඔයාව විනාශ කරන්න හදනවා නම්.. ඒ අවධානම අරගෙන එක තත්පරේකට හරි එයාට ආදරේ බව කියලා ඉන්න අයියේ .. ඒ නපුරු දවස වෙනුවෙන් ඔයා විඳවන තරම කියන්න … ඒ හැම නපුරක්ම අමතක වෙන තරමට ඔයාට එයාට ආදරේ කරන්න පුලුවන් බව කියන්න .. එක වතාවක් උත්සාහ කරන්න අයියේ …”

චත්‍ර නැගණිය දෙස බලාගෙන විනාඩි කිහිපයක්ම උන්නේය. ඉන් පසුව නැගණිය වැලඳගත්තේය. සිහිනිද පෙරලා අයියා වැලඳගත්තාය.

”   ඔයා වෙනස් වෙලා අයියේ … මේ ලෝකේ තියෙනවා විශ්ව  ශක්තිය කියලා දෙයක් . සමහරවිට ඇත්තටම ඔයාගේ ඒ වෙනස අයත්මාට දැනිලා වෙන්නත් පුලුවන් … මට විශ්වාසයි, අයත්මාට දැන් ඔයාව විශේෂයි. එදා රෑ එයා අඬාගෙන කෝල් කරේ ඒ විශ්වාසේ එක්ක … ඉස්සෙල්ලාම ඒ ඇඬිල්ලට හේතුව හොයාගන්න … ඊට පස්සේ වෙන්න ඕනි දේවල් ඔයා කරාවි …”

” තමුසේ මගේ අක්කා වගේ දැනෙන්නේ චූටි..”

සිහිනි චත්‍රගෙන් මිදී නැගිට්ටාය. ඔහු වෙත අමුතු බැල්මක් හෙලුවේය

” මේ මට අලි එක්ප්‍රෙස් එකෙන් බඩු ටිකක් ගෙන්නගන්න ඕනි .. සල්ලි ටිකක් දෙන්නකෝ …”

චත්‍ර මුව අයාගෙන බලා උන්නේය. ඇයගේ වැටුපට කුමක් කරන්නේදැයි විමසුවේය

” පඩිය තියෙනවා ඉතින්.. මං මේ කරපු උදව්වට මොකක් හරි කරන්න හිතෙනවා නම් කියලා මම කිව්වේ….”

” කාර්ඩ් එක ඇති පර්ස් එකේ ,.. ඕනි මඟුලක් කරගන්නවා…”

චත්‍ර සිහිනි කාමරයෙන් පිටතට යන තුරු උන්නේය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles