ඩස්ට්බින්

“මට ඔයාලාට වඩා එයාව විශ්වාසයි. මට බය නැතුව එයාව ඕනම ක්ලයන්ට් මීටින්ග් එකකට යවන්න පුලුවන්. ඔයාලව මට එහෙම යවන්න බෑනෙ. අනික ඔයාලට කරන්න බැරි ගොඩක් දේවල් එයාට පුලුවන්”

මෝනින් මීටින් එකකදි තමන්ගෙ බොස් කෙනෙක්ගෙන් ඔහොම අහන්න වෙන එක තරම් දවස පටන් ගන්න මූසල විදියක් තව නෑ කියලමයි වින්දනාට හිතුනෙ. වින්දනා ග්ලෝබ් ටෙක් එකේ වැඩට ඇවිත් දැන් අවුරුදු හතකට කිට්ටුයි. කොච්චර හොඳට වැඩ කරත්, කොච්චර හොඳ ක්ලයන්ට්ස්ලව රිටේන් කරගත්තත්, අලුත් අයව අරගෙන ආවත් හොඳක් නම් අහන්න ලැබුනෙම නැති තරම්. හැබැයි කාලෙන් කාලෙට ඇවිල්ල යන එක එක අයව නම් ලොකු කරගෙන “ඔයාලට වඩා එයා හොඳයි” කියන කතා නම් හැම මාසෙම වගේ අලුත් වෙවී ඇහුණා.

“එයාලා ඔයාව ඇප්‍රිශියේට් කරන්නෙ නෑ කියල තේරෙනවනම් මම කියන්නෙ ඔතනින් අස්වෙලා වෙන තැනකට යන්න” කියල බෝඩිමේ යාලුවා වෙච්ච මන්දාරා කොච්චර කිව්වත් වින්දනාට ඒකට නම් කියන්න උත්තරයක් තිබ්බා.

“මගේ පෝස්ට් එකට වෙන තැනක මෙච්චර සැලරි එකක් ගෙවන්නෙ නෑ බං. ඒකයි මට අර මෙතන දාලා යන්න බැරි මොන කතාව කිව්වත්. අනික අවුරුදු ගාණක් වැඩ කරපු තැන හන්දා මට දැන් අර අපේ ටීම් එක එහෙම මාරම කම්ෆටබල්”

“කම්ෆටබල් කිව්වට ටීම් මීටින් එකකින් පස්සෙ ඔයාට ඔලුව අවුල් වගේ දැනෙනවනම්, ඔයාටම තේරෙනවනම් ඔයා ඩිමෝටිවේට් වෙනවා කියල අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද ඔතන ඉන්න එක?”

“මම ඉස්සර තරම් දැන් ඕව හිතන්නෙ නෑ. වැඩ කරනවා පඩි ගන්නවා සීන් එකේ තමා මං ඉන්නෙ” කියල වින්දනා ඉතින් කිව්වට ඒක එහෙමම නෑ. බොස් කෙනෙක් හොඳට මහන්සිවෙලා වැඩ කරන කෙනෙක්ට ඔහොම කියද්දි ඕනම කෙනෙක්ගෙ හිත රිදෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නෙවෙයිනෙ.

දැන් ඔය “මාර හොඳයි, ඔයාලට වඩා හොඳයි” කියල කියන්නෙ ලඟඳි ආව අලුත් කෙල්ලෙක් ගැන. බොස් කියන්නෙ කුකුලෙක් නෙවෙයි හන්ද ඔච්චර වර්ණනා කරන්නෙ එහෙම දේකට නෙවෙයි කියල දැනගත්තට ඇත්තටම කට්ටියට හිතාගන්න බැරුව හිටියෙ බොස් ඔච්චරම නාඩියාව උඩ තියන්නෙ ඇයි කියල.

“ඇයි අනේ අපි විනාඩි දහයක් විතර පරක්කු උනොත් තමා මෙතන වෝනින් මීටින් එහෙම තියන්නෙ.ඒ ගෑණි එන්නෙ නිකන් දහයට එකොලහට. හදිසියේ හරි එලියෙ මීටින් එකකට ගිහින් ඒක නිකන් තුනට වගේ ඉවර උනොත් අනිත් අය ඔෆිස් ආවත් ඒ ගෑණි ගෙදර යනවා.

අපි දන්නෙ නැතුව එයා මෙතන ඩිරෙක්ටර් බෝඩ් එකටත් බැඳිලද?” කියල කට්ටියට ඉතින් ලන්ච් අවර් එකේ නම් නාඩියා ගැන කතා කරන්න ඕන තරම් දේවල් තිබ්බා.

“ඒ විතරක් නෙවෙයි එයා අනිත් අයට බෝලෙ පාස් කර කර ඉන්නව මිසක් මට නම් ඇත්තටම එයා වැඩක් කරනවා පේන්නෙ නෑ. ලැප්ටොප් එක ඔන් කරගන්නෙ ගෙදර යන්න ඔන්න මෙන්න තියල. අර ක්ලැසික් රෙස්ටුරන්ට් එකේ වැඩේ ඒ මිනිස්සු ප්ලෑන් එක ඉල්ලල දැන් මාසයක් විතර. මේ ගෑණි තාම ඒක යවල නෑනෙ”

“වෙනදා නම් මම ගිහින් බොස්ට කියනවා. හැබැයි මේ පාර නම් මම එහෙම කියන්න ගියේ නෑ. ඕන මගුලක් කරගනින් කියල කටවහගෙන හිටියා”

“අනේ ඔව් ඔච්චර මේ පර්ෆෙක්ට් එක්කෙනාගෙ අතින් ඉතින් වැඩ වැරදෙන්න බෑනෙ”

ඔහොම ඉද්දි තමා දවසක් උදේ ටීම් මීටින් එකක් ඉවරවෙලා කට්ටියක් බොස්ගෙ කාමරේ ඉඳල එලියට එද්දි වින්දනා එලියෙ මේසයක් උඩ තියල ගිය එයාගෙ බෑග් එකයි කෑම පාර්සලෙයි මේසෙ උඩ තිබ්බෙ නැත්තෙ.

“මං මෙතනනෙ බං තියල ගියේ” කියල වින්දනා කියද්දි කට්ටියම බෑග් එකටයි කෑම එකටයි වෙච්ච දේ හොයන්න මහන්සි උනා. ඇයි ඉතින් මොකෝ බෑග් එකක් වාශ්ප වෙන්නය.

“ඒ බං මේ ඩස්ට්බින් එකේ තියෙන්නෙ උඹෙ බෑග් එකද?” කියල මධුරංග අහද්දි තමයි කට්ටියම දැක්කෙ වින්දනාගෙ බෑග් එකයි කෑම එකයි කවුරුහරි ඩස්ට්බින් එකට දාලා තියෙනව.

“කවුද බං මේ වගේ බලු වැඩ කරන්නෙ ඔෆිස් එකේ?”

“ගෙදර ඉඳල එද්දි අම්මා උදේ නැගිටල හදල දුන්න කෑම එක බං”

“මේක නම් මේ සද්ද නැතුව ඉන්න ඕන එකක් නෙවෙයි, සීසීටීවි බලන්න පුලුවන් බොස්ටනෙ. අපි ගිහින් අහමු කවුද මේ වගේ බලු වැඩ කරන කෙනෙක්ට ඉන්නෙ ඔෆිස් එකේ කියල” කට්ටියම ගියාම බොස් නම් සීසීටීව් බලන්න දුන්න.

හැබැයි දකින්න ලැබිච්ච දර්ශනේ නම් උන්නෙ කවුරුවත් දකින්න බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි.

“ඇයි නාඩියා ඔයා ඒ වගෙ බලු වැඩක් කරේ?” කියල කට්ටියම අහද්දි නාඩියා නම් “මගෙ මේසෙ උඩ ඔය එක එක්කෙනාගෙ ඒව තියන්න එන්න එපා, මම ඩස්ට්බින් දානවා තමයි” කියල කිව්වෙ කිසි ගාණක් නැතුව.

තප්පරයක් විතර සද්ද නැතුව උන්න වින්දනාට නම් ඒක ඇහුවම කියන්න දෙයක් තිබ්බා.

“ඇත්තනෙ බං ඉතින්, එයා කරන්නෙ අපිට කරන්න බැරි වැඩනෙ. අපිට ඉතින් ඔය වගේ බලු වැඩ බෑනෙ” කියල කිව්ව වින්දනා එලියට ආවෙ තමන් ඇත්තටම මේ වගේ තැනක ඉන්න ඕනද කියල ආයෙ හිතන ගමන්!

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles