විසි හය වැනි නෙත් සැරිය
අවිශ්ක අමතා ප්‍රමාද වන බව පවසන්නට අයත්මාට සිහි වුවද, ඇය ඒ සඳහා කලබල නොවි උන්නාය. ඇතැම්විට මේ එතරම් වෙලා ගත නොවන කතා බහක්ද විය හැක. අයත්මා එලෙසින් සිතුවද චත්‍රට සැලසුම් තිබුනේය.
” මචං.. මට මගදී අයත්මාව මුණ ගැහිලා මම ලිෆ්ට් එකක් දෙන්න නග්ගවගත්තා. මට හදිසියේ ටව්න් එකට පොඩ්ඩක් යන්න වෙනවා පාර්සල් එකක් ගන්න. පැය බාගෙන් ගෙනල්ලා ඇරලවන්නම් …”
චත්‍රගේ ඇමතුම අවිශ්කට බව වැටහෙද්දී අයත්මා බෑගය තවත් තරයේ අල්ලා ගත්තාය. ඔහුට මෙතරම් නිර්භය බවක් දැනෙන්නේ කෙලෙසද? තිස්ස වැව වටා වූ මාර්ගයේ මද දුරක් කැබ් රිය ධාවනය කල චත්‍ර පිරිස නොවූ තැනක කැබ් රිය නවතාලූවේය.
ඉන් පසුව ජංගම දුරකතනය ගෙන යමක් කලේය. අයත්මා උන්නේ ඔහු දෙස බලන්නටවත් හදිසි නොවීය. ඉන් පසුව ඇයට කිසිත් නොපවසා කැබ් රියෙන් බැස ගත් ඔහු විනාඩි පහක් පමණැම එලෙස උන්නේය. අයත්මාට කැබ් රියෙන් බිමට බහින්නට තරම් ධෛර්‍යයක් වූයේ නැත. ඕ එහෙමම උන්නාය. චත්‍ර පවසන්නට යන්නේ කුමක්දැයි සිතන්නට උත්සාහ කලාය. එහෙත් හිත එහෙමට සන්සුන් නැත.
එක්වරම අයත්මා තිගැස්සී ගියේ කැබ් රියේ දොර විවෘතවී චත්‍ර අසුනට ගොඩ වූ හඬත් එක්කය. ඔහුගේ එක් අතක වූ පාර්සලය ඔහු අයත්මා වෙත පෑවේය. අයත්මා එය ගත්තාය. අනෙක් පාර්සලයෙන් ප්ලාස්ටික් කෝප්ප දෙකක් ගත් චත්‍ර ඉන් එකක් අයත්මාට පෑවේය.
” එළියට ගිහින් මොනවා හරි කමු කිව්වා නම් එන්නේ නෑනේ. මං ගෙන්නගත්තා…”
චත්‍ර ඌණ පූරණ තිව්වේය. එලෙස කතා කලානම් තමා පැමිණෙන වග කියාගන්නට නොහැකිව අයත්මා ගොලු වූවාය.
“කන්න ..”
චත්‍ර ඔහු අතේ තිබූ පානය සූදානම් කරගනිමින් කීවේය. අයත්මා ආහාර සහිතව තිබූ බෑගය ඉදිරියෙන් තැබුවාය. ඔහු මෙන්ම අතෙහි වූ පානය දෙස බැලුවේය.
චත්‍ර හිස සැළුවා පමනි. දෙදෙනාම නිහඬව චොකලට් මිල්ක් ශේක් පානයන් දෙකක් අවසන් කරමින් උන් හ.
” මට ඔයත් එක්ක කතා කරන්න ඔනි …”
” කි….. කියන්න ..”
දෙදෙනාම උන්නේ ඉදිරිය බලාගෙනය. එකිනෙකා වෙනුවෙන් පැන නැඟෙන සිතුවිලි යටපත් කරගෙන, ආයාසයෙන් වූ මවා ගැනීමක් එක්කය.
” අද නෙවෙයි …”
” එහෙනම්?…”
” සෙනසුරාදා ට අපේ නංගිත් එක්ක එන්න පුලුවන්ද එළියට?… නිදහස් තැනකට ..”
” කොහෙටද?..”
” කොහේ හරි තැනක් බලන්නම් මම ..”
” හරි මොකටද ඒත් ?…”
අයත්මා එලෙස යලි විමසද්දී චත්‍ර ඇය දෙස බැලුවේය. ඇයටද ඔහු දෙස නොබලා සිටින්නට හැකි වූයේ නැත. අයත්මා හිස සැලුවාය. චත්‍ර එය පිළිගත්තේය. ඉන් පසුව කිසිත් නොපවසාම චත්‍ර කැබ් රිය යළි පණ ගනවා ගත්තේය. අයත්මාට කෙතරම් අවැසි වුවද, තව වේලා හිඳිමුයැයි ඔහුට කියාගන්නට ඇයට හැකි වූයේ නැත. ඕ යළි බෑගය එක් අතකින් තරයේ අල්ලා ගත්තාය.
” ඊලඟ ඩ්‍රාමා කම්පිටිශන් එක කවදද?..”
චත්‍ර විමසුවේ සෑහෙන දුරකට ගියාට පසුවය.
” දවසක් නෑ තවම ..”
” වැඩ පටන් අරගෙනද?..”
” ඔව් .. කරගෙන යනව…කලණ සර් තමා බලන්නේ..”
එලෙස පවසද්දීම චත්‍ර අයත්මා දෙස බැලුවේය. ඇය උන්නේ ඉදිරිය බලාගෙන ගනනකට නැතිවය. චත්‍රද ඇගෙන් දෑස් ගලවාගතේය. අයත්මාව නිවෙස අසලින් ඇරලවූ චත්‍ර ආපසු යන්නට සූදානම් වෙද්දී අවිශ්ක ඔහු හමුවන්නට ආවේය.
” පලාත් සභා තියන්න කලින් පාර්ලිමන්ට් ඉලෙක්ෂන් තියේවිලු නේ බං …?”
චත්‍ර හිස සලමින් කැබ් රියෙන් බැස්සේය.
” එහෙනම් ඉතින් අනාගත මිනිස්ටර් කෙනෙක් මේ….”
” මං පාර්ලිමන්ට් ඉල්ලනේ නෑ බං … ඉස්සෙල්ලා පලාත් සභා ඉල්ලලා ඉන්නවා… දැන් මට පාර්ලිමන්ට් නොමිනේශන් ලැබුනත් ළැබෙන්නේ අප්පච්චීට තියෙන රෙස්පෙක්ට් එකත් එක්කනේ බං ..ඒක තේරුමක් නෑ… තව කට්ට කාලා, වැඩක් කරලා ඒක මමම අර්න් කරගන්න ඕනි කියලා හිතුවා… සබන් බෝලේ වගේ උඩ යන්න ලේසියි බං .. පවතින්න බැහැනේ …”
අවිශ්ක චත්‍ර දෙස බලා උන්නේ විමතියෙනි. ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනය සඳහා චත්‍ර අතුකෝරලට නාම යෝජනා ලැබෙන බව ප්‍රසිද්ධ රහසක් විය. අතුකෝරල මහතා ඒ වෙනුවෙන් යම් සාකච්චා වට කිහිපයක් සඳහාද සහභාගී වී ඇති බව දැනගන්නට තිබුණි. එලෙසම චත්‍රද මේ ගැන කට කියවමින් උන් අවස්තා කිහිපයකම අවිශ්කද ළැඟ පහත සිට තිබුනේය. එහෙත් දැන් චත්‍ර දරන්නේ වෙනස්ම මතකයකි. ඔහුගේ වර්තමාන දේශපානය නැමියාවේ යම් වෙනසක් ඇති බව මිතුරෙකු පැවසූ බවද අවිශ්කට සිහිපත් විය.
” උබ හොඳ විදියක් බලලා කරපං ඉතින්,. මට නම් පොලිටික්ස් ගැන නෝ ඉන්ටරෙස්ට් මචං.. ඒත් උබට කෙරෙන්න දෙයක් තිබුනොත් කියහං … ඕනි වෙලාවක කොල්ලෝ ටික එක්ක සප් එක දෙන්නම් ..”
චත්‍ර අවිශ්කගේ උරහිසට අත තියා හිතවත්කම දරාගත් බව පෙන්වූයේය. එහෙත්, චත්‍රගේ අභ්‍යන්තරයෙන් යම් ගින්නක් ඇවිලෙන්නට ගෙන තිබුණි. ඒ ගින්න පැතිරීමට පෙර ව්‍යාජ කලබලයක් මවාගෙන ඔහු වහා අවිශ්කට සමුදුන්නේය.
කැබ් රියේ හඬ නෑසී යනතුරුම අයත්මා කාමරයේ ඇඳ මතට වී අසා උන්නාය. ඇය උන්නේ සිහිනයක පාවෙමිනි. සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. චත්‍ර, ඔහු සමඟ පහුගිය අඩ හෝරාවකට වැඩි කාලයක් ගෙවා දැමූ බව විශ්වාස කර ගත නොහැකිවය.
එහෙත් ඇසිල්ලෙන් පෙර දිනයක මතක මතු විය. ඔහු තමා නොතකා, නොසලකමින් උන් මතක සිහි විය. සුන්දර නන්නාදුනන යුවතියගේ සිනහව චත්‍රගේ සිනහව සමඟින් හා වෙමින් තිබූ අපූරුව සිහි විය.
අයත්මා සාරිය පිටින්ම යහනේ පෙරලුනාය. මෙතරම් වේදනා දැනෙන්නට හේතුව චත්‍ර නමින් තමාට ඇති කිනම් වූ බන්ධනයක්දැයි සිතුවාය. ඔහු අත් හැර දමා ඇතියැයි සිතා සිටිමින් අන් අය හා බැඳෙන්නට සිතූ සිතුවිලි වලට පවා ඔච්චම් කලාය. නොතේරෙන පාසැල් කාලයේ හා හා පුරා කියා දැණුණු කිරිකෝඩු හැඟීම් කිසිදිනෙක කල් ඉකුත්ව නොමැති වග විශ්වාස කරන්නට උත්සාහ කලාය.
නිමලා අම්මා කාමරයට එබෙන විටත් අයත්මා උන්නේ සාරිය පිටිනි. එහෙත් නින්දේ නොවේය. ඕ අයත්මාට බැණ වැඳෙමින් කාමරය තුලට එද්දි අයත්මා නැගිට්ටාය
” උදේට කිරිබත් කමුද නිමලම්මා ?..”
ඕ ඒ බැණුම් වගක් නැතිව ඇසුවාය. ලේසියකට කිරිබත් උයන්නට ඉල්ලන්නේ නැති යුවතිය දෙස නිමල අම්මා විමතියෙන් බැලුවාය. ඒ ඇස් වල ඇති කාන්තිය හැඳුනා ගන්නට ඇයට අපහසු වූයේ නැත.
” කෝකටත් සුදු බබා ගැන ඇහ ගහගෙන ඉන්න වෙයි සුදු මහත්තයෝ …”
” ඇයි නිමලම්මා?….”
අවිශ්ක විමසුවේ දියණිය සමඟි කරමින් උන් සෙල්ලම මඳකට නවතාලමිනි.
” තාම සාරිය පිටින් ඇඳට වෙලා හීන බලනවා. අර මන්ත්‍රී මහත්තයා එක්කනේ ආවෙත්. අපිට විස්සාස කොරන්න ඇහැකි උන් නෙවෙයි ඔය…”
” චත්‍ර මෙහෙ නාව කෙනෙක් යැ නිමලම්මා..?..”
“ඒක හැබෑව . ඒත් පහුගිය දවස් දෙකක්ම පිට පිට මං දැක්කා රූපසුන්දරියක් වගේ නෝනා කෙනෙක් එක්ක ටව්මේ ඉන්නවා… පුදුම හිනාවකින් දෙන්නම උන්නේ. මන්ත්‍රී මහත්තයාගේ වෙනසක් නොවුනත් සුදු බබා සිතුවිල්ලක් හදාගත්තොත් ඒකත් හොඳක් නෙවෙයිනේ.. නිකන් විඳවිල්ලක් නේ ..
අවිශ්ක දියනිය වෙත තම අතේ තිබූ බෝලය දැම්මේය. නිමලම්මා පවසන්නේ කුමක්දැයි ඔහුටද වැටහෙන්නේය.
” සුදු බබාට කටයුත්තක් හොයලා මේවා පිළිවෙල කරන්න කල් හරි සුදු මහත්තයෝ .. මං තුන්දෙනාගේ කේන්දර බලපු වෙලෙත් කිව්වේ ඒකමයි .. මං මේ නොකියා උන්නට කපු නෝනාටත් මම විස්තරේ කියලා තිබුණේ.’….”
අවිශ්ක හිස සැලුවේය. චත්‍ර කොහොමටත් අයත්මාට දරා ගන්නට පහසු අයෙකු නොවන වග ඔහුද කල්පනා කලේය. ඔහු ගැන් ඇති වුන ඇඟෑලුම්කමට හේතුව ඇය අයත්මා වෙනුවෙන් පෙන්වූ උන්මාදනීය හැඟීමට එහා ගිය යමක් ඔහු විසින් අයත්මා වෙනුවෙන් සිදු කිරීම බවද අවිශ්ක කල්පනා කලේය. එසේ නොවන්නට තමාට චත්‍ර පිළිබඳව විශේෂ හිතව්ටහ්කමක් නොවූ වගද ඔහු කල්පනා කලේය.
| අපේක්ෂා ගුණරත්න |