“තිහස් රණතුංග”
ඉන්ස්ටග්‍රෑම් එකේ ඒ නම සර්ච් කරාට පස්සෙ ආව පලවෙනි අකවුන්ට් එක ඇතුලට ගිහිල්ල පින්තූරවල සටහන් වෙලා තිබ්බ තිහස් ගෙ ලස්සන, උත්තුංග දේහදාරී කඩවසම් ශරීරය දිහා බලාගෙන හිතන්න, හීන මවන්න කොච්චර නම් දේවල් මන්දානාට තිබ්බා.
මන්දානාට තිහස්ව හම්බුනේ ප්ලෑන් කරල උනත් අහම්බෙන් වගේ කිව්වොත් තමයි හරි. මන්දානා වැඩ කරේ ඇඩ්වටයිසින් ඒජන්සි එකක. තිහස් මන්දානාගෙ ඇඩ්වටයිසින් ඒජන්සි එකට ආවෙ මන්දානා හැන්ඩ්ල් කරපු බ්‍රෑන්ඩ් එකක ටීවී කමර්ශල් එකක් ශූට් කරන්න.
කොහොමත් මිස්ට ශ්‍රී ලංකා වෙලා තිබ්බ තිහස්ගෙ රූපෙ ලඟ හිත හෙල්ලුනේ මන්දානාගෙ විතරක් නෙවෙයි, ඔෆිස් එකේ හිටපු හැම කෙල්ලම වගේ ඒ ශූට් එකෙන් සතියක් දෙකක් යනතුරු කතා කරේ තිහස් ගැන විතරමයි. ඒ කෙල්ලන් සතියෙන් දෙකෙන් තිහස්ව අමතක කරලා තම තමන්ගෙ ලෝකවල කාර්‍යබහුල උනාට මන්දානාට නම් තිහස්ව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.
අන්න ඒ විදියට තමා මන්දානා තිහස්ව ඉන්ස්ටග්‍රැම් එකේ ෆලෝ කරන ගමන් තිහස් අප්ලෝඩ් කරන ෆොටෝස් වලට එහෙම ලයික් කරන්න, ස්ටෝරි වලට රිඇක්ට් කරන්න ගත්තෙ. මුල් දවස්වල නම් තිහස්ට ඕක එච්චර ගාණක් උනේ නැති උනාට එකම එක දවසක තමන්ගෙ හැම ස්ටෝරි එකටම රිඇක්ට් කරල තිබ්බ මේ කෙල්ලව අහම්බෙන් වගේ ඉන්ස්ටග්‍රෑම් එකේ දැක්කා.
“හායි” කියල ආව ඒ මැසේජ් එක සෑහෙන දුර ගියේ දෙන්නට දෙන්න හැමදවසකම වගේ චැට් කරන්න පටන් අරගෙන.
“ගුඩ් මෝනින් අද මොකද කරන්නෙ?” කියල මන්දානා දාන මැසේජ් වලට තිහස් හැමදාම පුරුදු විදියට “අද ශූටින්” “අද රිහර්සල්” කියල කිව්වා.
සමහරවෙලාවට මන්දානා අද දාන මැසේජ් එකට තිහස්ට රිප්ලයි කරන්න පුලුවන් වුනේ පස්සෙන්දා වගේ.හැබැයි තවම වචනයෙන් ආදරේ ගැන කතාවක්වත් කරල නොතිබ්බට මන්දානා ඒ වෙද්දිත් උන්නෙ තිහස් එක්ක වෙඩින් එක ගන්න විදිය, හනිමූන් එක, බබාලා කීයක් හදනවද කියන ඔක්කොම ගැන හිතන්න පුලුවන් උපරිම දුර හිතලා. ඒ නිසා පරක්කු වෙන මැසේජ් ලඟ මන්දානා තේරුම්ගන්න පෙම්වතියක් වගෙ ඉවසුවා.
කතාව දුරම දුර ගියයින් පස්සෙ දවසක තමා තිහස් දවසක් මන්දානා මග බල බල උන්නු කාරණාව ඇහුවෙ.
“මේ අපි දවසක සෙට් වෙමුකො, මොනවහරි කාලා චැට් එකක් දාන්න” කියල තිහස් එව්ව ඒ මැසේජ් එක දැකලා මන්දානා උඩ පැන්නෙ නැති ටික විතරයි.
කොහෙදිද මීට් වෙන්නෙ, ඒ කවදද කීයටද කියල ඩිසයිඩ් කරන්න මන්දානා තිහස්ට බාරදුන්නෙ තිහස්ගෙ රස්සාවෙ වැඩ එක්ක එයාට මේ මේ වෙලාවට ඕෆ් වෙනව, මේ වෙලාවට එන්න පුලුවන් අරකයි මේකයි කියන්න බැරි හන්දා.
තිහස්ව හම්බෙන්න ප්ලෑන් කරන් ඉඳපු දවසෙ ඒ වෙලාව එනකම් මන්දානා උන්නෙ හිත ඇතුලෙන් පුදුමාකාර සන්තෝසෙන්. තිහස් එයාගෙ වාහනේ එතනට එන බව කිව්ව හන්ද මන්දානා පික් මී එකක් දාගෙන එතනට ගියා. හැමදාමත් කොහොමත් ලස්සන තිහස්, දාහක් කෙල්ලන්ගෙ ඇස් තමන් දිහාවට හැරිල තියෙද්දි උනත් තමන්ගෙ ඇස් මන්දානා දිහාවටම හරවගෙන හිනාවෙලා උන්නා.
“මම සීරියස් අෆෙයාර්ස්වලට ආස නෑ මන්දානා, මම ආස කෙල්ල ඉන්නෝන මම ආස වෙලාවට මගෙ ලඟ. කමිටඩ් රිලේශන්ශිප්ස් වලින් වෙන්නෙ අපේ නිදහස සීමා වෙන එක. ඒ නිසා මට ඔය මැරි කරන ප්ලෑන්ස් එහෙමත් නෑ” කිව්ව තිහස් එකක් ඉවර වෙන්න එකක් පත්තු කරගත්ත සිගරට් ලඟ මෙච්චර දවසක් මන්දානා හිත අස්සෙන් ගොඩ ගහං උන්නු හීන මාලිගා පිච්චිලා අලුවෙලා ගියා.
ආදර සම්බන්දයක් බ්‍රේක් අප් වීමක් නොවුනට මන්දානා එදා ගෙදර ආවේ ඒ හා සමානම දුකකින්. තමන් තිහස් ගැන කොච්චර හීන මැව්වද? ඒව තිහස් බිඳල දැම්මෙ කොච්චර ලේසියෙන්ද කියල හිතලා මන්දානා දුක් උනා.
ඒත් කල්පනා කරලා බලද්දි තමා මන්දානාට වෙච්ච හැමදේකම ඇත්ත තේරුණේ. තිහස් රණතුංගගෙ ලස්සන පිටකවරෙට හිත ගියයින් ඒ පිටකවරෙ ඇතුලෙ ඉන්න කෙනා මෙන්න මේ වගේ වෙන්න ඕන කියල මවාගත්තෙ තමන් නෙ. එහෙම නැතුව තිහස් කවදාවත් තමන් එහෙම කෙනෙක් කියල කිව්ව මිනිහෙක් නෙවෙයි.
එහෙම එකේ ඇත්තටම විනාශ වෙලා ගියේ තමන් හිතෙන් මවාගෙන උන්න තිහස් රණතුංගව සහ එයාව සෙන්ටර් කරගෙන තමන් ගොඩනගපු හීන මාළිගාව විතරයි.
මන්දානා හිත හදාගත්තෙ එහෙම හිතලා.
සමහර වෙලාවට අපි කෙනෙක්ට ආදරේ වෙන්නෙ, කැමතිවෙන්නෙ එයාගෙ මතුපිටින් දකින රූපෙට. ඒ රූපෙත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා එයා මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. හැබැයි හැම පොතකම අන්තර්ගතය අපිට ඒ පොතේ පිටකවරෙන් තේරුම් ගන්න බෑනෙ.
ඉතින් පිටකවරෙ දිහා බලලා කිසිම දෙයක් ගැන ඕනවට වඩා හීන දකින්න එපා.
සමහර හීන තියෙනව ඇත්ත ජීවිතේට වඩා අපි ඇත්ත කියල හිතන, විශ්වාස කරනව. ඒ හීන බිඳ වැටුනම අපිට විඳවන්න වෙන්නෙ ඇත්තටම.
ඉතින් හීන දකින්න ඕන පරිස්සමට!