“උඹ විල්සන්වත් රවට්ටල මගුල් නටපු මිනිහට උඹ ඔච්චර ආදරේ කරානං උඹෙයි උගෙයි දරුවව මෙහෙම අනාත කරල උඹ රටකට තොලොංජි උනේ ඇයි?”
“ඒ ක්ලීටස්ගෙ ලමේක් උනානම් අම්මා හිතනවද මම ඒ දරුවව ඔහේ තනියම පිට උන් එක්ක දාලා ඒවි කියල? මං දාලා ආවෙ ඒකි විල්සන්ගෙ ලමේක් හන්දා. මං විල්සන්ව බැඳල වරදක් කරගත්ත එක ඇත්ත. ඒ මිනිහගෙ ලමේක්වත් ලඟ තියන් හදලා මුලු ජීවිත කාලෙම මගෙ වැරදිවල ප්‍රතිඵල දැක දැක දුක් විඳින්න මට උවමනාවක් තිබ්බේ නෑ.
අම්මා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක. ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මොකද කියල මං අහන්නෙ නෑ. මොකෝ මට ඔය ප්‍රශ්න දැන් එච්චර වැදගත් නෑ. මං මෝඩකම් කරපු බව ඇත්ත. ඒ මෝඩකම් වල ප්‍රතිඵල හන්ද විල්සන් වගේ මිනිහෙක්ගෙ දරුවෙක්ව බඩට ගන්න වෙච්ච එක ඇත්ත. මගෙ බඩෙන් වැදුවට නදීගේ ඇඟේ දුවන්නෙ විල්සන්ගෙ ලේ. මං කොහොමද නොහිත ඉන්නෙ නදීත් නදීගේ තාත්තා වගේම වෙන්නැති කියල. විල්සන් එක්ක මං මගේ ජීවිතේ හොඳම කාලෙ නිකන් විනාස කරගත්තා. හැබැයි මට නදීව මගෙ ජීවිතේ අස්සෙ තියාගෙන ජීවිතේ ඉතිරි කාලෙත් මං කරපු මෝඩකම් දිහා බල බල දුක් විඳින්න බෑ. අම්මා මොන විදියට කිව්වත්, මොනව කිව්වත් මට ඒක කාරන්න බෑ’
වසන්තාගේ කට හඬෙන් ඇහිච්ච ඒ කතාව හරිනම් තමාව සන්තෝස කරන්න හේතුවක් වන්නට තිබුණ නමුත් චන්ද්‍රකාන්ති උන්නේ ඒ සතුට සම්පූර්ණයෙන්ම විඳ දරාගන්න බැරුවය. තමනුත් අම්මා කෙනෙකි. වසන්තා කියන්නේ අම්මා කෙනෙකුගේ හිත රිද්දන්න හැකි දේවල් කල දරුවෙක් උනත් අම්මා කෙනෙකු විදියට තමා මේ දුරකතන ඇමතුම ගන්නා මොහොත තෙක් වසන්තාට ආදරය කලාය. එහෙත් තමන් වැනිම දුවෙක්ම ලද අම්මා කෙනෙකුට තමන් අම්මා කෙනෙකු බව අමතක කර, තමන්ට දුවෙක් ඉන්නා බව අමතක කර ඔහොම කතාකරන්න පුලුවන් ද කියා හිතෙද්දී චන්ද්‍රකාන්ති ඇත්තටම දුක්වුණාය.
“උඹට උඹ අම්මා කෙනෙක් බව අමතක කරන්න පුලුවන් උනාට, මම මේ ජීවිතේ දෙපාරක් අම්මා කෙනෙක් වෙච්ච ගෑණියෙක් මට අමතක කරන්න බෑ. මං උඹට අම්මා වෙලා උඹව පරිස්සම් කරන්න මට බැරි වුණා කොච්චර දහිරිය දැම්මත්. උඹෙ ඒ මුරණ්ඩුකම් හින්දා අසරණ වෙච්ච උඹේ කෙල්ලට අම්මා උනෙත් මම. මට ඒකි වැඩි නෑ වසන්තා. සමහරවිට උඹ මං ගිය ආත්මෙ කල මොකක් හරි පවක් වෙන්නැති. ඒ පව මේ ආත්මෙ ගෙවල ඉවර කරන්න උඹේ කෙල්ලට ඉස්සරහට අම්මා වෙන්නත් මට බැරිකමක් නෑ”
එදා ඒ කතාව කියා චන්ද්‍රකාන්ති දුරකතන ඇමතුම විසන්ධි කරනවාත් එක්කම වසන්තා සමග තිබූ සියලුම සබඳතාද අවහිර කරාය. චන්ද්‍රකාන්ති උන්නේ නදී එක්ක මේ දැනගත් විස්තරය කතාකරන්නෙ කොහොමද කියා සිතමින් ය.
ඇරුණු දොරෙන් එහා පැත්තේ උන් අමයුරු රදන්පොලව එක බැල්මකින් හඳුනගන්න නදීට අපහසු වූයේ නැත. අනන්ත වාරයක් මියුරු ආදරයෙන් කතා කර තිබෙන ඔහුව, මියුරු පෙන්වූ ජායාරූප වලින් දැක තිබූ ඔහුව, මියුරුගේ සංසුන් දෙනයනම උරුම කරගෙන උන් ඔහුව අඳුරගන්න නදීට අලුත් හඳුන්වාදීම් අවශ්‍ය උනේ නැත.
“අමයුරු සර්”
“අයියා කියලා කතා කරමු නේද?” කියා අමයුරු උත්සහ කරේ මේ හමුවීම වඩා සැහැල්ලු කරන්නටය. ඒ වදන්වලට මද සිනාවක් පාමින් අමයුරුගේ හිසට එහයින් දෙනෙත යොමා නදී බැලුවේ අමයුරු එක්ක මියුරු ආවද කියා දැනගන්නටය.
“මල්ලි ආවෙ නෑ නදී. මං විතරක් ආවෙ ඔයා එක්ක මට කතා කරන්න දෙයක් තියෙන හන්දා. මං ඇතුලට ආවට කමක් නැද්ද?” අමයුරු කතාකරන්නේ මියුරුටත් වඩා සුමුදු ස්වරයෙන් බව තේරිච්ච තැන මේ වනාහී තමාට හඬන්න, නිවෙන්න, සැනසෙන්න පුලුවන් පපුවක් බව නදීට හැඟුණාය. දොර වඩාත් හොඳින් විවර වී අමයුරු රදන්පොලට ගෙට එන්නට ඉඩකඩ සැලසුණේ එපරිද්දෙනි.
“මං හිතුවෙ මට ආයෙ කවදාවත්ම ඔයාලගෙ පවුලෙ කිසිම කෙනෙක් හම්බෙන්න පුලුවන් වෙන එකක් නෑ කියල” කියමින් නදී පුටුවකට අත පා අමයුරුට වාඩිවෙන්න යැයි කිව්වාය.
“ඔයාට ඕන වෙලා තිබ්බෙ ඒකද? මං ඇත්තටම ආවෙ ඒ ගැන කතාකරන්න නංගි”
“මංහිතුවෙ අයියෙ ඒ ගැන කතාකරන්න තිබුණ හැමදේම මම ක්ලීටස් සර් එක්ක කතා කරල ඉවර කරා කියල. මං ඒත් හිතුවෙ නෑ මාව මියුරුගෙන් ඈත් කරන්න හදපු විදියට ඒ මනුස්සය අයියටවත් කියාවි කියල මං ඉන්න තැන”
නදී කී ඒ වචන අමයුරුගේ හිසටත් හිතටත් වැදුනේ අකුණු සැරයක වේගයෙනි. මේ කතාවේ කිසිම තැනකට තමන්ගේ තාත්තා සම්බන්ධ වී ඇතැයි තමන් තබා මල්ලිවත් හිතා නොතිබ්බ බව අමයුරුට විශ්වාසය. ඒ නිසාම මේ ඇසෙන්නේ විශ්වාස කරන්න අපහසු වචන කිහිපයක් බව අමයුරුට හිතුණී.
“මට කිව්ව දේ තේරුණේ නෑ. තාත්තව කොහොමද ඔයා දන්නෙ? තාත්තද ඔයාව ගෙනැල්ලා මෙතන නතර කලේ? ඇයි ඒ?”
“අයියා මෙහෙ ආවෙ ක්ලීටස් සර් නෙවෙයිද මෙහෙට එන්න පාර කිව්වෙ?”
“නෑ නංගි ඔයා දන්නෙ නෑ මල්ලි මාර පිස්සුවක් නැටුවෙ ඔයා එකපාර මිසින් උනාම. මිනිහව දැක්ක නම් ඔයා අඬනවා නංගි. රැවුල කොන්ඩෙ වවන් ඔෆිස් නොයා, අඬ අඬ, පාරවල් ගානෙ රස්තියාදු ගහ ගහ ඔයාව හෙව්වෙ මිනිහා. බලන් ඉන්න බැරිම තැන මමමයි කිව්වෙ කොහොමහරි මම ඔයාව හොයාගන්නම් මිනිහට පොඩ්ඩක් සෙට්ල් වෙන්න කියලා. ඔයාව හොයාගන්න මටත් සපෝට් එක දුන්නෙ මගෙ පොලිසියෙ ඉන්න යාලුවෙක්. ඒකටත් අපිට සෑහෙන කල් ගියා. මමවත් මල්ලිවත් දැනන් ඉඳියෙ නෑ මේකෙ කිසිම තැනකට අපේ තාත්තා ලින්ක් වෙලා ඇති කියලා.
ඇයි තාත්තා මෙහෙම දෙයක් කරේ කියලයි මට හිතාගන්න බැරි?”
“මං ඒකයි කල්පනා කරේ ඇයි අයියා එකපාර මෙහෙම ආවෙ සහ ක්ලීටස් සර් ඇයි කාටවත් කියන්න බෑ කියලා කිව්ව කතාව අයියා එක්ක කිව්වෙ කියලා.” නදී උන්නේද මේ වෙන්නෙ මොකද්ද කියා හිතාගන්න බැරුවය. මියුරු පිස්සු නටනවා කිව්ව වචන කලින් උන් ප්‍රේමයෙන් බර වූ නදීට ඇසුණානම් හඬා වැළපෙන බව දන්නවා නමුත් ඔහු තමන්ගේ සහෝදරයාය කියන ඇත්ත නදීගේ දෙනෙතින් ඒ කඳුලු ඈත්කර තබන්නට හේතු වුණි.
නදී කුමන දේ කිව්වත් කැළඹෙන්නෙ නැතැයි කියා හිතුවද හිත ඇතුලෙන් නදී විසින් කියන්නට යෙදුණ කතාව අහද්දී නොකැළඹී ඉන්නට හැකියාවක් අමයුරුට තිබ්බේ නැත. ඒ වනාහී දරුවෙක්ට අහන්න පුළුවන් කතාවක් නොවේ.
කාමරයේ දවල් නින්දකට වැටී උන් චන්ද්‍රකාන්ති ඇහැරුනේ නදීගේත් අමයුරුගෙත් මේ කතාව ඇසීය. නදීත් අමයුරුත් වෙච්ච සියල්ලම ගැන කතාකරමින් ඉද්දී තමන් තවදුරටත් නිහඬව ඉන්න එක තේරුමක් නැති බවත් වැඩිහිටියන් විසින් කල වැරදි වලට දරුවන් වන්දි නොගෙවිය යුතු බවත් හිතුවාය. කාමරයේ හිඳ තමන්ගේ වියපත් හිතටත් දෙපාවලටත් හැකි උපරිම හයිය අරගෙන චන්ද්‍රකාන්ති අමයුරුත් නදීත් කතා කරමින් උන් තැනට ආවේ ඒ අනුවය.
“මේ අපේ ආච්චි, ආච්චි තමයි මාව බලාගත්තෙ මෙච්චරකල්” කියා නදී තමන් උන් කැළඹීම් දහරාවෙන් මදක් එළියට අවුත් අමයුරුට චන්ද්‍රකාන්තිව අඳුන්වා දුන්නාය. අමයුරු ඇයට වැන්දේය. චන්ද්‍රකාන්ති ඔහුගේ හිසට අත තබා බුදු සරණයි කියා කිව්වේ දෙනෙත අස්සේ කඳුලු පුරවාගෙනය.
“දරුවො වරදක් කරාම අම්මල තාත්තල බැණුම් අහන එකට වඩා වේදනයි දරුවො අම්මල තාත්තල කරන වැරදි වලට දරුවන්ට වන්දි ගෙවන්න උනාම” චන්ද්‍රකාන්ති කතාව පටන් ගත්තේ තවත් මේ කතාව පමා කරන්න හේතුවන් නැති බව හිතමිනි.
“සමහර වෙලාවට මුලින්ම දකින දේ, මුලින්ම ඇහෙන දේ ඇත්ත කියල අපි හිතාගෙන උන්නට ඒක එහෙමම වෙන්නෙ නෑ. සමහර දේවල්වල ඇත්ත හැංගිලා තියෙන්නෙ අපි ඒ ඇත්ත හොයාගෙන ගැඹුරට ගියාම”
ඒ වනාහී ලොකුම ලොකු කතාවක් සැඟවිච්ච වචන පේළියක් බව දන්න හන්දාම වේගයෙන් ගැහුණු නදීගේ හදවතේ රිද්මය අමයුරුටත් අමයුරුගේ හදේ රිද්මය නදීටත් ඇහෙන තරම් එතන තිබූ නිහඬ බව ගැඹුරු වූහ.